Main Logo

Tuesday, 2 August 2022

සර්ව පාක්‍ෂික බහුබූතය

 

සර්ව පාක්‍ෂික බහුබූතය

 

ඒ ගමන හැමෝ ම සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් ගැන කියවනවා. ඒක කෝකටත් තෛලයක් හැටියට නොවෙයි කතා කෙරෙන්නෙ. ආර්ථික අර්බුදයට තෛලයක් හැටියට. ඒත් ඔය තෛලය වැඩකට ඇති තෛලයක් නොවෙයි. සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් කියන්නෙ දැනට තියෙන දේශපාලන පක්‍ෂවල ආණ්ඩුවක්. මා දන්නේ නැහැ ලංකාවේ දේශපාලන පක්‍ෂ කීයක් තියෙනව ද කියා. ලියා පදිංචි පක්‍ෂ කීයක් තියෙනවා ද කියා දන්නේ නැහැ. පරගලකාරයන් පක්‍ෂයක් පිහිටෙවුව ද? එහෙම පක්‍ෂයක් ලියා පදිංචි කළෙ නැති බව නම් දන්නවා. 

 

අද සර්ව පාක්‍ෂික ආණ්ඩුව ගැන චම්පක විමල් සම්බන්ධන් ආදීන් ද කතා කරනවා. ඔය සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් ගැන කතා කරන සියලු ම පක්‍ෂ වගේ මෙරට ආණ්ඩු කරල තියෙනවා. ඒ කියන්නෙ ඔය හැම පක්‍ෂයක් ම මොකක් හරි ආණ්ඩුවකට සම්බන්ධ වෙලා තියෙනවා. ඇමති ධුරත් දරා තියෙනවා.

 

රනිල් වික්‍රමසිංහ කියා තිබුණා ආර්ථික අර්බුදයට හේතු කිය කිය ඉන්න ඕන නැහැ. අර්බුදය විසඳන්න හැමෝට ම එකතු වෙන්න කියා. හේතු හොයන්න ගියොත් එක එක පක්‍ෂ අනෙක් පක්‍ෂවලට ඇඟිලි දික්කරන එක පමණයි සිද්ධ වෙන්නෙ කියා. ඒක හොඳ කියමනක්. ඒක පරමාදර්ශි කියමනක් හැටියට හිතන අයත් ඉන්නවා. ඒත් මා නම් හිතන්නෙ ඒක තම තමන්ගෙ වැරදි වහගන්න කියපු දෙයක් හැටියට.

 

ඔය ඇඟිලි දික්කරන එකෙන් පැහැදිලි වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි සියලු පක්‍ෂ ආර්ථික අර්බුදයට වග කියන්න ඕනෙ එක. ඒ කියන්නෙ හැම පක්‍ෂයක් ම අඩු වැඩි වශයෙන් ආර්ථික අර්බුදයට වග කියන්න ඕනෙ. රජ කියන එකේ තේරුමක් තමයි මිනිසුන් රංජනය කරන්නා කියන එක. අද ඉන්න දේශපාලනඥයන් හැකි තාක් උත්සාහ කරන්නෙ හැකි තාක් මිනිසුන් සතුටු කරන්න පොරොන්දු දෙන්න. ඒ අනෙකකට නොවෙයි ඡන්දෙ ගන්න. ඡන්දෙ ගත්තට පස්සෙ ඒ හැම පොරොන්දුවක් ම ඉටු කරන්න බැහැ. එතකොට ප්‍රශ්න. අනෙක් පක්‍ෂය ඊට වඩා හොඳ පොරොන්දු දෙනවා.

 

සිංහල මිනිසුන්ගේ අධිපරිභොජනය, බොරු ෂෝක්, බොරු උගත්කම් පවත්වා ගැනීම සඳහා එවැනි ම අපේක්‍ෂා ඇති දේශපාලනඥයන් ණය අරගෙන රට ප්‍රපාතයට හෙළුවා. අද රනිල් නැවතත් බලාපොරොත්තු වන්නේ ණය ගැනීමට. එයින් වන්නේ රට තව තවත් ණය කිරීම පමණයි. ඒ ණය කවුරු හරි කවදා හරි ගෙවන්න ඕන.

 

සිංහල මිනිසුන් රංජනය කිරීම කෙසේ වෙතත් සිහින ලෝකයක  ජීවත් කරවීම සඳහා ණය ගැනීමට ඔය සියලු දේශපාලන පක්‍ෂ අඩු වැඩියෙන් දායක වුණා. දැන් ඔය පක්‍ෂ එකතු වෙලා කරන්නෙ මොකක් ද? තව තවත් ණය ගැනීම පමණයි. රනිල් පක්‍ෂ අතර ඊනියා සාම කතා කිවුවත් ඒ පක්‍ෂවලට ආරථික අර්බුදයට විසඳුම් නැහැ.

 

කතාවක් තියෙනවා අදහස් ගැටෙන විට අලුත් අදහස් බිහි වෙන්න පුළුවන් කියලා. පක්‍ෂ සංඛ්‍යාව වැඩි වෙන විට ගුණාත්මක බව වැඩි වෙනවා කියල කතාවකුත් තියෙනවා.අර කසිකබල් අපෝහකයෙ ඒක ප්‍රමාණාත්මක හා ගුණාත්මක වෙනස්කම් අතර සම්බන්ධයක් හැටියටත් කියැවෙනවා. එක ම අදහස් ගැටෙන විට සිදු වන්නෙ ගැටීමක් පමණයි. ඔය හැම පක්‍ෂයක් ම දඟලන්නෙ බටහිර ක්‍රමයෙ ඊනියා දියුණුවක් අත් කර ගන්න. ඒ සඳහා තමයි සිංහලයන් වෙහෙසෙන්නෙත්. සිංහලයන් සතුටු කරන්න ණය ගන්න ඕන.

 

සිංහලයන්ට යාපනේ දෙමළ කතා කරන වැසියන්ගෙන් ඉගෙන ගන්න පාඩමක් තියෙනවා. ඔවුනට මේ ආර්ථික අර්බුදය සිංහලයන්ට තරම් දැනෙන්නෙ නැත්තෙ ඇයි?  ඔවුන් සරල ජීවිතයකට පුරුදු වෙලා. ඒත් සිංහලයන් තමන්ට ඔරොත්තු නොදෙන ජීවිතයකට පුරුදු වෙලා. අප තෙල් බොන ජාතියක් බවට පත්වෙලා. අද හැමෝ ම බලන්නෙ තෙල් වැඩි වැඩියෙන් ගන්න.

 

නිවනට යොමු වුණු පැවැත්මක් ඊනියා සිංහල බෞද්ධයනටවත් දේශපාලනඥයන්ටවත් තේරුම් ගන්න බැහැ. ඊනියා සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. විසඳුමක් නැති දේශපාලනඥයන් සිංහලයන් තව තවත් සතුටු කිරීම සඳහා ණය ගන්න කතා කරනවා. සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් ගැන කතා කිරීම එක්තරා ආකාරයකට නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් හොයනවා වගේ කියල කාට හරි හිතෙන්න පුළුවන්.

 

ඒත් මේක තරමක් වෙනස්. වෙදකමක් ඇත්තෙත් නැහැ. ඒ නිසා කෙරෙන වෙදකමකුත් නැහැ. කෝඳුරු තෙල් ඇත්තෙත් නැහැ. පරගල පරාද වෙලා. ආතල්ගම සරසවි මඬුව අකුලා ගෙන. සෝවියට් සභා ගැන කියෙවුව පඬියො දැන් වෙන වෙන කතා කියවනවා. ජම්බුද්වීප පාලකයන් මොකද කියන්නෙ. මේ සමග ඇති සබැඳියෙන් ජම්බුද්වීපය පේනවා. ජම්බුද්වීපයෙ උඩ යට මාරුවෙලා ද?   ඉස්සර බැලුවෙ කොහොම ද? එතකොට පෙනුණෙ කොහොමද?

 

https://drive.google.com/file/d/1MdxurJRPeCamGx2vd3iagoW7_gV2pJLr/view?usp=drivesdk