ඈරෙන වෑරෙන කල්ප හා විශ්වය
විශ්වයේ හතර මායිම හා බුදුදහම ලිපිය කියවු කිහිප දෙනකු ඒ ගැන යම් යම් ප්‍රශ්න අසා තිබුණා. විශ්වය ගැන ඉගෙනීමට මටත් කලක් උනන්දුවක් තිබුණා. දැනුත් නැතුවා ම නොවෙයි. එහෙත් එහි කතන්දර සංස්කරණය කිරීමට (ගෙතීමට) තරම් මට හැකියාවක් නැති බව අවුරුදු පනහකට පමණ පෙර අවබෝධ වුණා. ඒ මා එතරම් දුරකට බටහිර ක්‍රිස්තියානි නූතනත්ව චින්තනයේ කිඳා බැස නොතිබූ බෑවින්. එමෙන් ම වියුක්ත චින්තනයත් අවශ්‍ය ප්‍රමාණයට මට නැහැ.
ඒ අසා ඇති ප්‍රශ්න එකිනෙක ගෙන පිළිතුරු දෙනවාට
වඩා සමස්තයක් ලෙස විශ්වය ගැන ප්‍රශ්න විචාරකයන්ට ප්‍රයෝජනවත් වන ආකාරයෙන් කෙටි
සටහනක් ලිවීම හොඳය කියා හිතුවා. එහෙත් මෙහි කියැවෙන්නේ බටහිර විශ්වවේදයේ විශ්වය
ගැන කියන දේ ම නො වෙයි. මෙහි ඇත්තේ මගේ විශ්වයයි. එය බෞද්ධ සාහිත්‍යයේ ඇති
විශ්වයත් නො වෙයි. බෞද්ධ සාහිත්‍යය වුවත් මා බලන්නේ මට පෙනෙන ආකාරයෙනුුයි.
විශ්වය කියන්නේ සියල්ල. සතා සර්පයා ඉර හඳ තාරකා
වැනි පංචෙන්ද්‍රිය ගෝචර වස්තු පමණක් නොව අමනුෂ්‍ය ප්‍රාණීන් ද විශ්වයට අයත්.
ඇතැමුනට අභිඥා උපදවා ගෙන මේ ඇතැම් දේ බලන්න පුළුවන්. විශ්වයේ තතු හොයන්න ඈතට වැඩම
කිරීමට මුගලන් මහා රහතන් වහන්සේට අවශ්‍ය වූ විට බුදුහාමුදුරුවන් ඒ වැළැක් වූ බව
අපේ සාහිත්‍යයේ සඳහන් වෙනවා. විශ්වයේ හතර මායිම දැන ගන්න බැහැ කියන එකයි එහි
තේරුම.
බෞද්ධ සාහිත්‍යයේ විශ්වය අනන්තයි අපරිමිතයි
කියා සඳහන් වෙනවා. ඒ කියන්නේ හතර මායිම හොයන්න බැහැ කියන එකයි. එය හොඳ කතාවක්.
විශ්වය නිරීක්‍ෂණය කරන්නේ කොහොම ද? එය නිරීක්‍ෂණය කරන්න වෙන්නේ ඇතුළෙන්මයි.
විශ්වයේ පිට කියා එකක් තියෙන්න බැහැ. විශ්වයෙන් පිට නිරීක්‍ෂකයකු ඉන්න බැහැ. ඒ නිරීක්‍ෂකයාත් විශ්වයට ම අයත් වෙනවා. සමහර
විට දෙවියන් වහන්සේ විශ්වයෙන් පිට ඉන්නවා වෙන්න පුළුවන්. විශ්වය මවන්න ඇත්තේ
විශ්වයෙන් පිට ඉඳගෙන වෙන්න ඇති. මවන්න කලින් විශ්වයක් නැහැ. දෙවියන් වහන්සේ කොහේ
හරි ඉන්න ඇති. බ්‍රහ්මන් නම් විශ්වයට ම
අයත් කියා කියැවෙනවා. බ්‍රහ්මන් විශ්වය මවන්නේ මකුළුවකු දැළ වියන්නාක් මෙන්. තමා
දැළට ම අයත් වන ලෙස. බ්‍රහ්මන්ගේ දෙවියන් වහනසේගේ මැවීමේ වෙනස් කම් තියෙනවා.
බටහිර විද්‍යාව නම් කියන්නේ මහා පිපිරුම ගැන. මහා
පිපිරුමත් ආරම්භයක්. මහා පිපිරුමට පෙර විශ්වය තිබුණා ද කියා අහන්න එපා කියනවා. පෙර
කියන සංකල්පය විශ්වයේ ආරම්භයට පෙර තියෙන්න බැහැ කිවුවම කතාව ඉවරයි. පෙර පසු කාලය
මේ සියල්ල විශ්වයත් සමග ඇති වූ දේ. ඒත් මේ මහා පිපිරුම කියන්නෙ එක ලක්‍ෂ්‍යයකින්
පටන් ගෙන ඇති වූ විහිදීමක් (ප්‍රසාරණයක්)
නො වෙයි. ප්‍රශ්නය වන්නේ විහිදෙන්නේ කොහාට ද යන්නයි. ඒ විශ්වයෙන් පිටට
වෙන්න බැහැ. ඒ අවකාශයත් නිර්මාණය කරගෙන විශ්වය
විහිදෙනවා කියා ප්‍රශ්නයෙන් ගැලවෙන්න පුළුවන්. බටහිර විශ්වවේදයට අනුව ඒ
විහිදීමේ (ඈරීමේ) කෙළවරක් නැහැ. වෑරෙන්නෙ නැහැ. ඈරෙනවා පමණයි. ඒත් මේ ඈරෙන්නේ
කුමක් ද? විශ්වය ද?
අවකාශය ද?
බෞද්ධ සාහිත්‍යයේ නම් තියෙන්නෙ සංවට්ට කප්ප
විවට්ට කප්ප කතාව. ඈරෙනවා වෑරෙනවා. කල්පය විනාශ වෙනවා. කල්පය නැති වෙනවා. වෙනත්
කල්පයක් ඇති වෙනවා. මෙහි කල්පය කියන්නෙ විශ්වය නොවෙයි. අපි මේ ඉන්නෙ මහා භද්‍ර
කල්පයෙ. හොඳ ම කල්පය වෙන්නත් බැරි නැහැ. බුදුහාමුදුරුවරූ පස්නමක් ම පහළ වෙනවා.
දැනට හතර නමක් පහළ වෙලා පිරිනිවන් පාලා. අපට ඒත් සසර කෙළවර කරගන්න බැරි වෙලා. දැනට
නාථ දෙවියන් බලන් ඉන්නවා මෛත්‍රි බුදුහාමුදුරුවන් ලෙස බුදු වෙන්න. පඬි නැට්ටන්
බලන් ඉන්නවා නාථ දෙවියන්ට හිනහවෙන්න.
දැන් කල්ප විනාශයෙ දි සත්වයන් ආභස්සර බ්‍රහ්ම
ලෝකෙට යනවලු. ඒකෙන් කියන්නෙ කල්පය විනාශ වුණාට විශ්වය විනාශ වෙන්නෙ නැහැ කියන එක.
ඊට පස්සෙ නැවත විවට්ට කප්පයෙ දි ඒ සත්වයන් පොළෙවට පැමිණ විකාශය වෙන හැටි සඳහන්
වෙනවා. ඒ ඒ කල්පයත් සමග සත්වයන් අලුතෙන් ඇති වන බවක් කියන්නෙ නැහැ. සත්වයන් සියල්ල
නැති වෙන්නෙත් නැහැ. එහෙම වුණොත් නිවන් සම්මාබෝධය සමග පටලැවිල්ලක් ඇති වෙනවා.
සත්වයන්ගෙන් කොටසක් ඒ ඒ කල්පවල දී නිවන සම්මාබෝධ කරනවා. ඒත් සත්වයන් අඩුවෙන්නෙ නැහැ. අනන්ත සත්වයන්ගෙන් කෝටියක්
නිවන් සම්මාබෝධ කළත් තවත් අනන්තයක් ඉන්නවා. අනන්තයෙන් කොච්චර අඩු කළත් අනන්තයක්
ඉතිරියි. රාමනුජන්ගෙන් අහන්න.
දැන් බටහිර විශ්වවේදයෙ මේ ගැන කියන්න පටන්
ගත්තෙ අයින්ස්ටයින්. ඔහු තම සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් (General Theory of
Relativity) පස්සෙ ඒ ඇසුරෙන් විශ්වයට සමීකරණ
ලිවුවා. ඒ සමීකරණවලට විසඳූම් රාශියක් තියෙනවා. අනන්‍ය විසඳුමක් නැහැ. ඒක හොඳයි.
දැන් ඒ විසඳුම් පදනම් වෙන්නෙ කරුණු
කිහිපයක් මත. ඒවා එතරම් හරි නැහැ. එත් ඒ උපකල්පනය කෙරෙනවා. මා කලින් කිවුවා විශ්වය
බලන්නෙ, නිරීක්‍ෂණය කරන්නෙ ඇතුළෙන්. අප විශ්වයේ එක තැනක
ඉඳගෙන අනෙක් ග්‍රහලෝක ඉර හඳ තාරකා මන්දාකිණි ආදිය නිරීක්‍ෂණය කරනවා. එවට සමීකරණ
ලියනවා අප කේන්ද්‍ර කරගෙන.
සමහරු දුරේක්‍ෂ යොදා ගන්නවා. දැන් ජේම්ස් වෙබ්
අවකාශ දුරේක්‍ෂය කියා එකක් ගුවන්ගත කරලා. ඒකෙන් එක එක ඡායාරූප ලැබෙනවා. අපට ඒ
දුරේක්‍ෂයෙන් බලන්න බැහැ. අප ඒ දුරේක්‍ෂය පාවිච්චි කරන්න දන්නෙ නැහැ. ඒත් බටහිර
විද්‍යාඥයන් තමන්ට පේන ඒව කිවුවම අපි විශ්වාස කරනවා. ඔවුන් කියනවා සත්ව වාසය සහිත
ලෝක තියෙනවා කියල. අපි විශ්වාස කරනවා. ඒත් බුදුුහාමුදුරුවන් සක්වළින් පිට (අප
පිටසක්වළ කියන වචනය පාවිච්චි කරන්නෙ බටහිර තාරකා විද්‍යාඥයන්ගෙන් පස්සෙ නොවෙයි)
ලෝකවල සත්වයන් ඉන්න බව දේශනා කරල තියෙනවා. අර කවුද බමුණන් යුවළක් ආත්ම සිය ගණනක්
තමන්ගේ දෙමවුපියන් ලෙස පිටසක්වළ ලෝකයක හිටිය කියල උන්වහන්සේ දේශනා කරල තියෙනවා.
අපි ඒක විශ්වාස කරන්නෙ නැහැ. අපට පේන්නෙ නැතිලු. හරියට අර වෙබ් දුරේක්‍ෂයෙන් බලල
කියන ඒව අපට පේනව වගේ.
අපට අභිඥා නැහැ. අපි අභිඥා උපදවන්න උත්සාහ
කරන්නෙත් නැහැ. අර දුරේක්‍ෂයෙන් බලන්නෙත් නැහැ. ඒත් කියනවා ඉගෙන ගත්තොත් ඒ දුරේක්‍ෂයෙන්
බලන්න පුළුවන් කියල. ඉතින් අභිඥා උපදව ගන්නත් පුළුවන්. හිතන්න එපා ඔය විද්‍යාඥයන්
කියන හැම දෙයක් ම වැඩ කරනවා කියා. ඒත් අපට ඒ විශ්වාසයි. අපට උගන්නල තියෙන්නෙ ඒවා
විශ්වාස කරන්න. අභිඥා අවිශ්වාස කරන්න. අපට ලෝකය (විශ්වය) පේන්නෙ අපි බලන ආකාරයට.
අපි බලන්නෙ පෙනෙන ආකාරයට. (ඉතිරි කොටස පසුවට)