විශ්වයේ හතර මායිම හා බුදුදහම
විශ්වයේ ප්‍රසාරණය ගැන මා කෙටි සටහනක් පළ කෙළේ කලක් තිස්සේ මගේ හිතේ (මනසේ - ඔළුවක නොවේ) වද දුන් කතාවක් නිරවුල් කර ගැනීමට හා පහත දැක්වෙන කරුණකට මිස බුදුහාමුදුරුවන් දෙසුවා යැයි සඳහන් වන දෙයක් බටහිර විද්‍යාව සමග සංසන්දනය කර ගැලැප්පීමට නො වෙයි. බුදුහාමුදුරුවන් දෙසුවා යැයි කෙළේ යැයි පැවසෙන ඇතැම් දේ පසුව එකතු කරන ලද දේ විය යුතු ය. මට බුදුහාමුදුරුවන් ගැන යම් අදහසක් තියෙනවා. උන්වහන්සේ සියල්ල අත්හැරි බව තමයි මා පිළිගන්නේ. උන්වහන්සේ ඊනියා සත්‍යයක් දේශනා කළ බවක් මා පිළිගන්නේ නැහැ. කිං සච්ච ගවේෂි බමුණන්ගේ වැඩක් මිස බුදුහාමුදුරුවන්ගේ වැඩක් නො වෙයි.
බුදුහාමුදුරුවන් ලංකාවට වැඩම කරල යක්‍ෂයන්
ගිරිදිවයිනට එළෙවුවා කියන එකත් මා පිළිගන්නේ නැහැ. බුදුහාමුදුරුවන් එවැන්නක් කරයි
ද? එය අපේ ඉතිහාසයෙන් යක්‍ෂයන් හා යක්‍ෂ සංස්කෘතිය
තුරන් කිරීමට ගොතන ලද කතාවක් පමණක් විය යුතුයි. මගේ බුදුහාමුදුරුවන් බොහෝ දෙනාගේ
බුදුහාමුදුරුවරුන්ගෙන් වෙනස් බවට මට සැකයක් නැහැ. මෙය කියවු වහාම කෙනකු කියන්න
පුළුවන් වැඩ හිටියේ එක බුදුහාමුදුරුවන් වහන්සේ නමක් පමණයි කියා. මට ඔවුන් සමග වාද
කරන්න අවශ්‍ය නැහැ. කොහොමටත් මා උගතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. අප එක් එක්කෙනාගේ
බුදුහාමුදුරුවරුන් පමණක් නොව බුද්ධ ධර්ම ද වෙනස්.
මා පිළිගන්නවා අප දැනුම ද අත්හරින්න ඕන බව. ඒ
අර ගඟ තරණය කිරීමෙන් පසු පාරුව අත්හරිනව වගේ වැඩක්. එහෙත් ඒ උපමාව සසරින් එතරවීම
සමග සසඳන්න බැහැ. සසර කියන්නේ යළි යළිත් ඉපදීම. ඉපදීම නවත්වන්න ඕන. ඒක සසර තරණය
කරනවා කියන එකෙන් පැහැදිලි වෙන්නෙ නැහැ. සසර තරණය කරල අපි එගොඩහ යන්නෙ නැහැ. ඕනෑම
උපමාවක සීමාකම් තියෙනවා. සසරින් එතරවීමට වඩා සසර නතර කිරීමයි උචිත.
බුදුහාමුදුරුවන් සසර නතර කිරීමට අපට ක්‍රමයක්
මාර්ගයක් කියල දීල තියෙනවා. හැකි අයුරින් අපට තේරෙන අයුරින් ඒ මග යෑමයි අප එකිනෙකා
කළ යුත්තේ. නිවන් සැපක් සමහරු බලාපොරොත්තු වෙනවා. මා නම් නිවන් සැපක් බලාපොරොත්තු
වන්නේ නැහැ. දුක නැති කිරීම කියන්නෙ සැපක් ලබා ගැනීම නො වෙයි. මා කියන මේ දේ ගැන
බොහෝ දෙනා එකඟ නොවන බව මා දන්නවා. ඒත් එය මට ප්‍රශ්නයක් නො වෙයි.
අද විශ්වය ගැන ලියූ සටහනට යම් පිරිසක් ප්‍රතිචාර
දක්වා තිබුණා. ඒ ප්‍රතිචාරවලින් එතරම් වැඩක් නොවූ බව කණගාටුවෙන් වුවත් කියන්න ඕන.
මේ ලිපිය පළවීමත් සමග කලින් ලිපියට ප්‍රතිචාර දැක්වීමත් නතර කරනවා. ප්‍රතිචාර
දැක්වුවන්ගෙන් කී දෙනකු විශ්වවේදය (Cosmology) හදාරා තියෙනවා ද කියා මා දන්නේ නැහැ. මා ඒ ගැන
ටිකක් දන්නවා. සම්මත විශ්වවේදයට අනුව විශ්වය ප්‍රසාරණය වෙනවා. එය මහා පිපිරුමකින්
පටන් ගත් බව කියනවා. මේ මහා පිපිරුම කුමක් ද?
එය ආරම්භයක් බව පැහැදිලියි. බටහිර ක්‍රිස්තියානි
නූතනත්වයට ආරම්භ නැතුව බැහැ. ඇරිස්ටෝටල්ටත් ආරම්භ තියෙනවා. එහෙත් ඒ ආරම්භ ලැබෙන්නේ
කෙසේ දැයි ඇරිස් පැහැදිලි කරන්නේ නැහැ.
මහා පිපිරුමෙන් පටන්ගන්නා විශ්වය එක් ලක්‍ෂ්‍යයකින්
ඇරඹුණා ද? මුළු විශ්වය ම එක් මොහොතක එක් ලක්‍ෂ්‍යයකින්
ඇරඹී ප්‍රසාරණය වෙන්න පටන් ගත්තා ද? එවිට විශ්වය ප්‍රසාරණය වන්නේ කිනම්
අවකාශයකට ද? ඒ අවකාශය කලින් තිබුණා ද? එසේ
නම් ඒ අවකාශය විශ්වයට අයත් වන්නේ ද නැත් ද?
මේ ප්‍රශ්නවලට පිළිතුරක් හැටියට කියන්න
පුළුවන් විශ්වයෙන් පිට කිසිවක් නැහැ. විශ්වය ප්‍රසාරණය වනවාත් සමග අවකාශය ද
නිර්මාණය කර ගන්නවා කියා. ඒ පිළිතුරෙන් සෑහීමකට පත්වෙන්න බැහැ. ප්‍රශ්නයෙන්
ගැලවෙන්න නම් පුළුවන්.
අයින්ස්ටයින්ගෙන් පසු කාලය හා අවකාශය එක්
කෙරෙනවා. කාලය හා දුර මැනීම තවදුරටත් නිරපේක්‍ෂ වන්නේ නැහැ. සිද්ධි දෙකක් අතර ඔබේ
කාල ප්‍රාන්තරය මගේ කාල ප්‍රාන්තරයෙන් වෙනස්. දුර ගැනත් එසේමයි. අර බෞද්ධ සාහිත්‍යයේ
තියෙන්නෙ මෙලොව සියක් අවුරුදු එහි එක දවස කියා. මා එයින් අදහස් කරන්නේ බෞද්ධයන් ඒ
සියල්ල දැන සිටි බව නො වෙයි. බෞද්ධ චින්තනය බටහිර නූතනත්ව ක්‍රිස්තියානි
චින්තනයෙන් වෙනස්.
කාලයට අනන්ත අගයන් ගන්න පුළුවන්. අවකාශයටත් එසේ
ගන්න පුළුවන් කියා සිතීම සාධාරණයි. එවිට අවකාශ කාලය එහෙමත් නැත්නම් විශ්වය අනන්ත
අපරිමිත වෙනවා. එහෙත් ඒ සමග විශ්වය ප්‍රසාරණය වෙනවා කියන අදහස අවශ්‍ය වන්නේ නැහැ.
එසේ නම් සිදුවන්නේ කුමක් ද? ඒ ඒ මන්දාකිණි අනෙක් මන්දාකිණිවලින්
ඉවතට යැමයි. එසේ මන්දාකිණි තල්ලු කර දමන්නේ ආකාශ ශක්තියෙන්. බටහිර ආපෝ තේජෝ වායෝ
පඨවි භූතයන්ට පමණක් සීමා වෙන විට පෙරදිග චින්තනවල ආකාශ කියාත් භූතයක් තියෙනවා. ඒ
ආකාශ සමහර විට ආපෝ තේජෝ වායෝ පඨවි බවටත් පත් වෙන්න පුළුවන්. ඒ පිළිබඳ මා කතාවක්
ගොඩනගා තියෙනවා. ඒ මත පදනම් වී කැලණි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයන්
පිරිසක් ප්‍රසාරණය හා සංකෝචනය වන විශ්ව පිළිබඳ ආකෘති ගොඩනගා තියෙනවා.
මේ ප්‍රසාරණය හා සංකෝචනය විශ්වයේ ගුණයක් නොව ද්‍රව්‍යයේ
හා ආකාශයේ ගුණයක් ලෙසයි මා දැන් සිතන්නේ. ආකාශ විසින් අනෙක් භූත තල්ලු කිරීමක්
මෙහි දී කෙරෙනවා. ආකාශ්ට සෘණ පීඩනයක් තිබීම නිසයි එසේ සිදුවන්නේ. එක් එක්
මන්දාකිණිය අනෙක් මන්දාකිණිවලින් ඉවතට තල්ලු කෙරෙනවා. එහෙත් යම් අවස්ථාවකට පසු ආකාශ්ට
ඒ ශක්තිය නැති වෙනවා. එවිට මන්දාකිණි නැවතත් එකිනෙකා කරා ආකර්ෂණය වෙන්න පටන්
ගන්නවා. විශ්වයේ ප්‍රසාරණය හා සංකෝචනය යනු මෙයයි.
අවකාශය නොව මන්දාකිණි අතර දුර වෙනස්වීම නිසා
විශ්වවේදී රක්ත වික්‍ෂිප්තයට (cosmological red shift) ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රක්ත වික්‍ෂිප්තය රඳා
පවතින්නේ විශ්වය පිළිබඳ ඇති විසඳුම්වල R ලෙස හැඳින්වෙන එක්තරා විචල්‍යයක අගය මතයි.
වස්තුවකින් ආලෝකය පිටවීම හා ඒ ආලෝකය යම් නිරීක්‍ෂකයකු විසින් උරාගැනීම කිනම් කාලවල
දී සිදු වන්නේ ද යන්න මත එකී විචල්‍යයේ අගය වෙනස් වෙනවා. පිටකිරීමේ දී හා
උරාගැනීමේ දී ඒ අගය වෙනස්වීම නිසයි විශ්වවේදී රක්ත වික්‍ෂිප්තය ඇති වන්නේ.
මේ අදහස් විශ්වය අනන්ත හා අපරිමිත යන්න සමගත්
සංවට්ට කප්ප හා විවට්ට කප්ප සමගත් එකඟ වෙනවා. මා අදහස් කරන්නේ බුදුහාමුදුරුවන් මේ
සියල්ල අවුරුදු දෙදහස් හයසියකට පෙර දේශනා කර ඇති බව කීම නොවයි.මා කරන්නේ වත්මන්
බටහිර නිරීක්‍ෂණ සිංහල බෞද්ධ චින්තනයට අවශෝෂණය කිරීමත් ඒ චින්තනය මත පදනම් වී
කතන්දර ගොඩනැගීමත් පමණයි.