Main Logo

Tuesday 30 August 2022

රනිල්ගෙ පුංචි අයවැය

 

රනිල්ගෙ පුංචි අයවැය

 

රනිල් වික්‍රමසිංහ අතුරු අයවැයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ආර්ථික අර්බුදයේ තරම ඇතැමුනට නොතේරෙන බවයි. ඒක ඇත්ත. ඒත් ප්‍රශ්නය එයට වඩා බරපතළයි. අපට වුවමනා මොකක් ද කියල අප වටහා ගෙන තිබෙන්නේ වැරදි දෙයක්. අපේ අය නිතර ම කතා කරන්නේ දියුණු රටවල්වල මෙහෙමයි, අරෙහෙමයි ආදී වශයෙන්. වයස අවුරුදු තිස්පහක් පමණ වන තෙක් මගේ ද මූලික කතාව වුණේ එයයි. අප උත්සාහ කෙළේ පුංචි දියුණු රටක් වෙන්න.

 

මෙහි පුංචි කියන එකෙන් අදහස් කරන්නේ විශාලත්වයෙන් පුංචි කියන එක නොවෙයි. ඊනියා දියුණුවෙන් පුංචි කියන එකයි. එය ධනවාදී ක්‍රමයට වෙන්න ඕන කියල සමහරු හිතුව. අප සමහරු හිතුවෙ එය ඊනියා සමාජවාදී ක්‍රමයට වෙන්න ඕන කියල. අපට අවශ්‍ය වුණෙ එක්කො පුංචි එංගලන්තයක් හරි ඇමරිකාවක් හරි වෙන්න, එහෙම නැත්නම් පුංචි රුසියාවක් හරි චීනයක් හරි කියුබාවක් හරි වෙන්න. ඒත් ඒ එකක්වත් හරි ගියේ නැහැ. අන්තිමට සිදු වුණේ පුංචි අම්මා පුංචි වීම පමණයි.

 

අපේ සියල්ල ම පාහේ පුංචි පුංචි අනුකරණ. අපේ විශ්වවිද්‍යාල කියන්නෙ පුංචි පුංචි ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් මෑතක දි නම් හාවඩ් ප්‍රින්ස්ටන් වෙන්න ගිහින් ඇණගත්ත (කොට්ටෝරුවා ඇණගත් ආකාරයෙන්) ආයතන. ඒවයෙ ඇති ඔක්ස්බ්‍රිජ් තත්වයක් නැහැ. අපේ ආචාර්ය මහාචාර්යවරු ගැන ද කියන්න ඇත්තෙ එවැනි කතාවක්. ඒත් අපි අපේ කියන විශ්වවිද්‍යාල ගැන ලොකුවට හිතන් ඉන්නවා.

 

මේක තමයි අපේ ප්‍රශ්නය. අප අර බටහිර රටක පුංචි ආකෘතියක් බවට පත්වෙන්න යමින් ඒ පුංචිකම ගැන ලොකුවට හිතීම.  අප ඊනියා ජාත්‍යන්තර කීර්තියට පත්වුවන් ගැන කියනවා. ඊනියා ප්‍රාමාණික උගතුන් ගැන කියනවා. ඒත් අපේ කිසිවකු නිකන් ආශාවට එක පුංචි සංකල්පයක් හරි ප්‍රවාදයක් හරි නිර්මාණය කරල නැහැ. අප නිර්මාණ හැටියට දකින්නෙ එක්කො ඊනියා කලා නිර්මාණයක්  එහෙමත් නැත්නම් බටහිර දැනුමක් මෙරට මුලින් ම කීම පමණයි.

 

රනිල් ඉදිරිපත් කළ අයවැයෙන් බලාපොරොත්තු වෙන්නෙ නැවතත් අර පුංචි එංගලන්තයක් කිරීම. එංගලන්තය ධනවාදී රටක්. එහි හිඟන්නන් සිටිනවා. එංගලන්තයට ගිය අලුත මට හිතාගන්න බැරි වුණා උමං දුම්රියපොළවල හිඟාකන මිනිසුන් ඉන්නෙ කොහොමද කියල. එංගලන්තය හා අප අතර තියෙන වෙනස අප රටක් හැටියටත් හිඟාකෑමයි. රනිල් තවමත් බලාපොරොත්තු වෙන්නෙ හිඟාකෑමට. ජාමුලට ගිහින් හිඟාකෑම නවත්තන්න බැහැ.

 

බටහිර රටවල් අපට ණය දෙන්න සූදානම් නැහැ. ඔවුන් කියන්නෙ ජාමුලෙන් හරි කියල කිවුවොත් ණය දෙන්න කල්පනා කරනවා කියල. ජාමුලෙට රනිල් පනවල තියෙන කොන්දේසි මදි. රාජ්‍ය සේවය අවුරුදු හැටට සීමා කිරීම පමණක් මදි. සුභසාධන කටයුතු තව බොහොමයක් කපන්න කියල ඔවුන් යෝජනා කරාවි. චීනය අපට ණය දෙන්නෙ නැහැ. ඔවුන් අප්‍රිකා රටවලට ණය දේවි. අප තවමත් බටහිර ඉත්තන් බවත් ඔවුන්ගේ ඉත්තකු නොවන බවත් ඔවුන් දන්නවා. අපට වෙන්නෙ අවුලෙන් අවුලට යන එක විතරයි. රනිල් අයවැයෙන් කරන්නෙ අර පුංචි එංගලන්ත ආකෘතියෙ අතනින් මුදල් ටිකක් අරගෙන මෙතනට දැමීම පමණයි. ඒ අතර සජබ රනිල්ගේ අතුරු අයවැය පතුරු ගහවි. අන්තරේ කඳුළු ගෑස් කාවි.  පඬි නැට්ටන් එළොවටත් මෙළොවටත් නැති කතා කියාවි.