Main Logo

Thursday 4 August 2022

රනිල්ගෙ කතාව

 

රනිල්ගෙ කතාව

 

රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තවත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් පමණයි. කලක දි මේ කතා රාජාසන කතා කියා හැඳින්නුවා. වල්මත් වී හසරක් දැක නැති පඬි නැටි වමාලාට දැන් ප්‍රශ්නයක් වී ඇත්තේ ජනාධිපති ද රාෂ්ට්‍රපති ද වගේ කතා.  ජනතාවට අධිපති කෙනෙකු නැතිලු. එහෙනම් රටට හරි රාජ්‍යයට හරි අධිපති කෙනකු ඉන්නත් බැහැ. අපි ඔහුට රාෂ්ට්‍ර භාරකරු කියමු.

 

ඒ කුමක් වෙතත් ඔවැනි කතා අසුවක් පමණ දැන් කෙරිලා ඇති. ඒ කතාවලින් කීයක් ක්‍රියාත්මක වුණා ද? රනිල්ගෙ කතාවටත් ඒ ඉරණම  අත්වේවි. ඒත් එහි ඇති භයානක කරුණක් දෙකක් ගැන කියන්න ඕන. ඊට පළමුව මා ඊයේ (අගෝස්තු 3) ලියු දෙයක් නැවත ලියනවා.

 

පරගලයට එකතු වුණෙ සිංහල බෞද්ධ විරෝධීන්. ඔවුන් එදා රනිල්ට පක්‍ෂ වුණා. ඔවුන් කියන්නෙ රනිල් එදා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙක්ලු. අද වෙනස් වෙලාලු. 1987-– 90 කාලෙ ජූලි වැඩ වර්ජනය කාලෙත් රනිල් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඇති. රනිල් බලයට පත්කෙරුණෙ පරගලය විසින්. අද රනිල්ට සිද්ධ වෙලා ප්‍රජාතන්ත්‍රවාදී වීමට. අපට නම් අද රනිල් ප්‍රජාතන්ත්‍රවදී වීම අවශ්‍යයි.

 

අපේ කණගාටුව ගෝඨාභය ප්‍රජාතන්ත්‍රවාදී නො වීමයි. ඒ දරුවන් සන්දා කරනෙම් මෙබන්දා කතාවක්. ඒත් අවසානයේ දී ගෝඨාභයට තමන්ට යෑමට අවශ්‍ය වූ රටවලට යන්න බැරි වුණා.”

 

මෙයින් කියැවෙන දෙය පැහැදිලි නැති වෙන්න පුළුවන්. ඔවුන් එදා රනිල්ට පක්‍ෂ වුණා කියන එක ඔවුන්ගෙන් සමහරකු එදා රනිල්ට පක්‍ෂ වුණා කියා සංශෝධනය වෙන්න ඕන. රනිල්ට එදා පක්‍ෂ වුණු සිංහල බෞද්ධ විරෝධීන් මූලික වශයෙන් එ ජා ප හිතවතුන්. ඔවුන් කියන විධියට එකල රනිල් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙක්. එහෙත් දැන් පරගලය පරාජය කරන බැවින් අද ඔහු වෙනස් වෙලාලු. මා මතක් කර සිටියෙ 87-90 කාලෙ හා ජූලි වැඩ වර්ජනය කාලෙ ඔහු ඇමතිවරයකු ලෙස ආණ්ඩුව කළ සියලු දේ අනුමත කරා කියන එක. එය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ලෙස ඒ එ ජා ප හිතවතුන් සලකනව නම් අදත් ඔහු ප්‍රජාතන්ත්‍රවාදියෙක්.

 

පරංගි පරගලය පරාද කළ යුතුව තිබුණ. එය බටහිරයන් ගෝඨාභය ඉවත් කර රනිල් ජනාධිපති කිරීමට කළ සැලසුමක අවසාන පියවර පමණයි. එතැන දි රනිල්ට සිද්ධ වුණා අවසානයේ පරගලය පරාජය කරන්න. ඒ පරගලයේ සමහර නායකයන් (ජෙප්පන් නොවෙයි) රනිල් පළවා හැරීමටත් උද්ඝෝෂණය කළ බැවින්. රනිල් අද කරන්නෙත් අර සමහරුන්ට එකල ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියා වූ රනිල් කරපු දේ ම තමයි. අද ඒ ප්‍රජාතන්ත්‍රවාදය අපට අවශ්‍යයි. ඒ පරංගි පරගලය පරාජය කිරීමට. අපේ කණගාටුව ගෝඨාභය එසේ ප්‍රජාතන්ත්‍රවාදී නොවීම ගැනයි. ගෝඨාභයට ඔය පරංගි පරගලය දින දෙකකින් පරාද කරන්න තිබුණා. එහෙත් එසේ කළා නම් බටහිර රටවල් ඔහුට විරුද්ධ වෙනවා. ගෝඨාභයට දරුවන් සන්දා බටහිර රටවල් විරුද්ධ කරගන්න අවශ්‍ය වුණේ නැහැ.

 

සටන්, විමුක්ති සටන් ද කැරළි ද වෙන එකක් ද කියා තීරණය වන්නෙ සාපේක්‍ෂව. කැප්පෙටිපොළ නිළමෙ මෙහෙය වූ  උඩරට නිිදහස් සටන මට නම් විමුක්ති සටනක්. ඒත් ඉංගිරිසින්ට එය කැරැල්ලක්. පරගලය බටහිරයන්ට ඉන්දියාවට වමාලාට සහ තවත් අයට විමුක්ති සටනක්. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව. මට එය පරාජය කළ යුතුව තිබූ සටනක්. ගෝඨාභය එය නොකළ එකයි ප්‍රශ්නය වුණෙ.

 

රනිල් තම කතාවෙ දි කිවුව දෙමළ ජනයාට ඇති ප්‍රශ්නවලට දේශපාලන විසඳුම් දෙන්න ඕන කියා. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නයක් නැහැ. මා හිතන්නෙ දිස්ත්‍රික්කයක් ලෙස ගත්ත ම වැඩියෙන්ම ප්‍රශ්න තියෙන්නෙ මොනරාගල දිස්ත්‍රික්කයේ වැසියන්ට කියා. රනිල්ට කියන්න පුළුවන් ද ඔය දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් තියෙන ප්‍රශ්න මොනවා ද කියා. ඔහු පාවිච්චි කළ වචනය දේශපාලන විසඳුම් කියන එක. එහි විශේෂිත වූ දේශපාලන අරුතක් තියෙනවා.

 

රනිල් පැහැදිලිව ම කිවුවා පරගල තරුණයන් සමග සිංහල දෙමළ මුස්ලිම් සියල්ලන්ට සමානව සැලකීම පිළිබඳ ව එකඟ වන බව. අදත් සමානව සැලකීම සිද්ධ වෙනවා. බොහෝ සිංහල බෞද්ධ නොවන්නන් සිංහල බෞද්ධ සංස්කෘතියට ඇති විශේෂත්වය පිළිගන්නෙ නැති එකයි ප්‍රශ්නය. ඔබාමා එක්සත් ජනපදවල ජනාධිපති වුණා. ඒ ඔහු ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ විශේෂත්වය නොව ආධිපත්‍යය පිළිගත් නිසා. අද එංගලන්තයෙ කොන්සර්වෙටිව් පක්‍ෂ නායකත්වයට තරග කරන ඉන්දීය සම්භවයක් ඇති රිෂි සුනක් ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආධිපත්‍යය පිළිගන්නවා. රනිල් පරගල තරුණයන් සමග ඒ කරුණෙදි එකඟ වීමෙන් ම පෙන්නුම් කරන්නෙ රනිල් මෙන් ම පරගල තරුණයන් ද ප්‍රශ්නය තේරුම් නොගැනීම.

 

රනිල් එතැනිනුත් එහාට ගිහින් විදේශයන්හි වෙසෙන දෙමළ ජනයා රට සංවර්ධනය කරන්න සහභාගි කරව ගන්න සුදානම්. විදේශයන්හි වෙසෙන සිංහල ජනයා සහභාගි කරව ගන්නෙ නැද්ද? රනිල් එන්නෙ මොකාටද කියන එක පැහැදිලියි. ඔහු පරගලය පරාජය කරන්නෙ ඔවුන්ගෙන් සමහරකු ඔහුට අකමැති වීම නිසා පමණයි. ඔහුගෙ සිංහල බෞද්ධ විරෝධී ප්‍රතිපත්ති බුදුන් වහන්සේගේ දේශනයක් ගෙන හැර දැක්වීමෙන් නැති වෙන්නෙ නැහැ.