විද්‍යාඥයකු වීමට පිය නැගීම
ක්‍රිස්ටි ගුණසේකර මහතා අපෙන් අර්ථදැක්වීම තේරුම් කරන්න, තේරුම් කිරීම අර්ථදක්වන්න කියපු එක අවුරුදු දහහතරෙ සිටි මට යම් කිසි අලුත් වැදගත් කතාවක් වුවත් අපේ පන්තියේ හිටි අය ඒ ගැන එතරම් තැකීමක් කෙළේ නැති බව මට අවුරුදු ගණනාවකට පස්සේ තේරුම් ගියා. ඔවුන්ට ඒ කතාව ගැන මතකයක් තිබුණෙ නැහැ. එහෙත් ඒ කතාව මගේ හිතේ රැඳුනා. එය මට තේරුම් ගියේ ඊට අවුරුදු විසිපහකට පමණ පස්සෙ. මා හිතන්නෙ නැහැ ක්‍රිස්ටි ගුණසේකර මහතා ඒ කතාව මා තේරුම් ගත් ආකාරයෙන් කියන්න ඇති කියා. ඔහු ඒ කියන්න ඇත්තේ අපට තේරුම් ගැනීම අර්ථදැක්වීම ආදිය ගැන කීමට වෙන්න පුළුවන්. මා කර ඇත්තේ එයට වෙන ම අර්ථකථනයක් දීමයි. ඒ කුමක් වුවත් ඒ කතාව මට මතක හිිටියේ එහි කුමක් හරි වදගත්කමක් ඇති බව වැටහුණු නිසා වෙන්න ඕන.
කෙසේ වෙතත් අරසරත්නම් හා ගුණසේකර මහතුන් මගේ ජීවිතයට බලපෑ ගුරුතුමන් දෙදෙනෙක්. මා විද්‍යාඥයකු වීමට සිතා ගැනීමට බලපෑ ප්‍රධාන ම දෙදෙනා ඔවුන් කියා මා හිතනවා. අප ව්‍යවහාරික ගණිතයේ දී හා භෞතික විද්‍යාවේ දී නොයෙකුත් භෞතික විද්‍යාඥයන් ගැන ඉගෙන ගත්තා. මගේ හිතේ පලපැදියම් වුණෙ ඔවුනුයි. අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය පාසලේ නූගැන්වුවත් ඔහු කළ කී දේ පොතපතින් දැන ගත්තා.
මා සාමාන්‍ය පෙළ පරීක්‍ෂණයට පෙනී සිටියේ මගේ ජීවිතය ගැන තීරණයක් අරගෙන. මට අවශ්‍ය වුණෙ විද්‍යාඥයෙක් වීමට. ඒ අතර මගේ හිතේ තිබුණේ ලංකා විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ගණිතය ඉගැන්වීමට. විශ්වවිද්‍යාල ප්‍රවේශ පංතිවලට මා ගියේ ඉංජිනේරුවකු වීමටවත් වෙනත් රැකියාවක් සඳහාවත් ඉගෙන ගැනීමට නො වෙයි. එකල විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට ඉංජිනේරු හා භෞතිය විද්‍යා පීඨවලට ඇතුල්වීමට විෂය හතරක් නියම වී තිබුණා. ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය, භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව. පළමු වසරේ රසායන විද්‍යාව ඉගැන්නුවෙ ක්‍රිස්ටි ගුණසේකර මහතා. භෞතික විද්‍යාව ඉගැන්නුවෙ ගනේෂලිංගම් මහතා. ගුණසේකර මහතාගේ නිරවුල් සිතීම මගේ සිත් ගත් නමුත් රසායන විද්‍යාව මට ප්‍රිය වුණේ නැහැ. එහි මූලධර්මවලට වඩා විස්තර තිබූ බවයි මට හැඟී ගියේ.
විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටීමේ දී එකල ඉල්ලුම් පත්‍රයේ තමා ඇතුල්වීමට බලාපොරොත්තුවන පාඨමාලාව/ධාරාව/පීඨය සඳහන් කිරීමට තිබුණා. අපට ඒ ඉල්ලුම් පත්‍ර අත්සන් කිරීමට තිබුණෙ ක්‍රිස්ටි ගුණසේකර මහතා ඉදිරිපිට. මා සඳහන් කෙළේ භෞතිය විද්‍යා කියා. මා පසුපසින් සිටි මගේ මිතුරකු කියා සිටියේ එය ඉංජිනේරු විය යුතු බව (you have to say Engineering) එය ඇසුණු ගුණසේකර මහතා ඔහුට සුපුරුදු ශෛලියෙන් මගේ මිතුරාට යු ෂට් අප් කිවුවා. ගුරුවරු දැන සිටියා මට අවශ්‍ය කුමක් ද කියා.
එහෙත් මට තරමක් අසීරු වුණේ මගේ දෙමවුපියන්ට මා ඉංජිනේරූ පීඨයට ඇතුල් නොවන බව කීමට. ඔවුන් එයට විරුද්ධ වුණා. මා ඉල්ලුම් පත්‍ර දැමීමෙන් පසුවයි ඔවුන්ට මගේ කැමැත්ත කිවුවෙ. විරුද්ධ වුණත් මා ඉල්ලුම් පත්‍රය අත්සන් කරලා ඉවරයි. අවසාන වශයෙන් මගේ පියා කියා සිටියේ මා එසේ නම් සිවිල් සේවා පරීක්‍ෂණයට පෙනී සිටිය යුතු බවයි. ඔවුන් විද්‍යාඥයකුගේ වැදගත්කම දැන සිටියේ නැහැ. අද මෙටාවේ (මුහුණු පොතේ) කුරුටු ගාන්නන් ඔවුන් පමණවත් ඒ බව දන්නේ නැහැ.
භෞතිය විද්‍යා පාඨමාලාවට ඉල්ලුම් කළ අයට ගණිත ප්‍රශ්න පත්‍ර තිබුණේ ශාන්ත පීතර පාඨශාලාවේ. භෞතික විද්‍යා හා රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර තිබුණේ ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ පිහිටි ජෝ්ර්ජ් රාජ ශාලාවේ. මා සාමාන්‍ය පෙළෙන් පසු ගණිත ප්‍රශ්න පත්‍රවලට හරි භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රවලට හරි පිළිතුරු දීමට පැය එකහමාරකට වඩා අරගෙන නැහැ. මට විශ්වවිද්‍යාල ගුරුවරු සකස්කරන ප්‍රශ්නයක් විශ්ලේෂණය කර එයට පිළිතුර සකස් කර ගන්න වැඩි කාලයක් ගත වෙන්නෙ නැහැ.
මා භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දී අල්ලපු වැටේ තිබූ පාසලට ගියා. මට හමු වුණෙ දෙවැනි වසරේ භෞතික විද්‍යාව ඉගැන් වූ සැමුවෙල් ගුරුතුමා. ඔහු මගෙන් ඇසුවේ මා එහි කුමක් කරන්නේ ද කියා. (Son, what are you doing here). මා ඔහුට කිවුවා මා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දී පෑමිණි බව. ඔහු මා බදාගෙන සතුට කඳුළු වගුරන්න පටන් ගත්තා.