නිවටයන්ගේ පාරාදීස වූ විශ්වවිද්‍යාල
පේරාදෙණිය හා කොළඹ එක ම විශ්වවිද්‍යාලයක් ලෙස 1969 වන තුරූ පැවතුණා. ඒ අවුරුද්දේ කොළඹ වෙන ම විශ්වවිද්‍යාලයක් බවට පත් කෙරුණා කොළඹ විශ්වවිද්‍යාලය නමින්. පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලය ලෙස පැවතුණා. කොළඹ වෛද්‍ය පීඨයෙන් එයට දැඩි විරුද්ධතාවක් පැන නැගුණා. ඔවුන් කියා සිටියේ ජාත්‍යන්තර ව පිළිගත් උපාධිය ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිය බැවින් විශේෂයෙන් ම එංගලන්තයේ හා ස්කොට්ලන්තයේ වෛද්‍ය ආයතනවල (විද්‍යාලවල) පරීක්‍ෂණවලට පෙනී සිටීමේ දී ඔවුන්ට පාඩුවක් වන බවයි. ඔවුන්ද ලංකා විශ්වවිද්‍යාල නම ඉල්ලා සිටියා. පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ නම ලංකා විශ්වවිද්‍යාලය, කොළඹ ලෙස වෙනස් කෙරුණා.
මේ අපේ ජාත්‍යන්තර පිළිගැනීම් බොරුවේ තවත්
උදාහරණයක් පමණයි. අපට අවශ්‍ය ඊනියා ජාත්‍යන්තර පිළිගැනීම් ලබා ගැනීමට. මෙහි ජාත්‍යන්තර
කියන්නේ බටහිර රටවල් කිහිපයකට පමණයි. අපට අවශ්‍ය බටහිර රටවල් අපේ උපාධි පිළිගන්නවා
කියන්න. එදා නම වෙනුවෙන් ලොකු අරගලයක් කළත් අද කෙළඹ විශ්වවිිද්‍යාලයට පේරාදෙණිය
විශ්වවිද්‍යාලයට පමණක් නොව වෙනත් විශ්වවිද්‍යාලවලට ද වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ ඊනියා
ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙනවා වෙන්න ඕන. අද ලංකා විශ්වවිද්‍යාලය කියා එකක් නැහැ.
අපට උපාධි ලැබුණු විශ්වවිද්‍යාලය මිහිපිටින් තුරන් වෙලා. ඒක ඊනියා මහපොළොවේ
යථාර්ථය වෙන්න ඇති.
මා කොළඹට පැමිණි පළමු වසරේ දී එනම් විශ්වවිද්‍යාලයේ
දෙවැනි වසරේදි පේරාදෙණියේ චෛත්‍යය පුද පූජා සඳහා විවෘත කෙරුණා. ඒ පිංකමට සහභාගි
වීමට මා ද පේරාදෙණි ගියා. චෛත්‍යය පිහිටා තිබුණේ ගලහ පාරේ අරුණාශලම් ශාලාව හා
ශාස්ත්‍ර පීඨය අතර දොළෙන් දොළුව පැත්තට වෙන්න. එය චෛත්‍යයකට අනගි බිම් කඩක්. එයට
අමතර ව විශ්වවිිද්‍යාල භූමියේ හින්දු කෝවිලක් හා ක්‍රිස්තියානි පල්ලියක් තිබුණා.
මගේ දැනුම අනුව ක්‍රිස්තියානි පල්ලිය කලක සිට තිබුණා. එය පිහිටියේ රාමනාදන් ශාලාව
අසල.
වැඩිකල් යෑමට පෙර චෛත්‍යය තිබූ තැනින් ඉවත්
කෙරුණා. එයට හේතුව කුමක් ද කියා මට හරියට ම කියන්න බැහැ. කොහොම නමුත් අද ගලහ පාරේ
යන අයට චෛත්‍යය පෙනෙන්නේ නැහැ. ඒත් මුස්ලිම් පල්ලිය හා ක්‍රිස්තියානි පල්ලිය
පේනවා. ගලහ පාරේයන අයකුට බලන්න ඇම්බැක්කේ කැටයම් නම් විදුලි පහන් කණුවල තියෙනවා.
ඒත් චෛත්‍යයට කණුව තියලා.චෛත්‍යයට කණු තියන්න කලින් විශ්වවිද්‍යාලය මට කණුව
තිබ්බා.
මා කැලණියේ ඉන්න විට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ
ඵල රුකක් කැලණියේ රෝපණය කිරීමට අවස්ථාව ලැබුණා. එයට සකලවිධ අනුකාරකයන් විරුද්ධ
වුණා. විශ්වවිද්‍යාලය නිරාගමික තැනක් කිවුවා. ඒ සියලු විශ්වවිද්‍යාලවල උගන්වන්නේ
ක්‍රිස්තියානි සංස්කෘතියේ නිමැවුණු දැනුම් පද්ධතීන් ව තිබියදී. අප අර අනුකාරකයන්ගේ
විරුද්ධතාව තුට්ටුවකට මායිම් කෙළේ නැහැ. බෝධීන් වහන්සේ සුදුසු ම ස්ථානයේ රෝපණය
කළා.
මේ සමග ඇති ඡායාරූපය කැලිෆෝනියා ප්‍රාන්තයේ
ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පල්ලියේ. එය පිහිටා ඇත්තේ කාටවත් නොපෙනෙන තැනක නො
වෙයි. විශ්වවිද්‍යාලයේ ප්‍රධාන චතුරස්‍රයේ. කිසිවකු එයට විරුද්ධ වන්නේ නැහැ.
විශ්වවිද්‍යාලය නිරාගමික කියන්නෙත් නැහැ. එමෙන් ම වෙනත් ආගමික සිද්ධස්ථාන ඇත්තෙත්
නැහැ. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට යන එන අයට එය ක්‍රිස්තියානි බව පේන්න තියෙනවා.
එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ගියත් ක්‍රිස්තියානි සංස්කෘතිය ඕනෑම අයකුට
දැනෙනවා.
සසෙක්ස් විශ්වවිද්‍යාලයේත් ක්‍රිස්තියානි
පල්ලියක් තිබුණා. වෙනත් ආගමික සිද්ධස්ථාන තිබුණේ නැහැ. මේ ලිපි පෙළේ පසුගිය දා
සඳහන් කළා යුරෝපයේ ක්‍රිස්තියානි රටවල් විසිහයෙන් විසිහතරක ම හින්දු ආගම
පිළිගැනෙන්නේ නැහැ කියා. බුදුදහම ගැන කතා කරල වැඩක් නැහැ. බැරිවෙලාවත් යුරෝපයේ
මහානායක හාමුදුරුවන් වහන්සේලා වැඩ ඉන්නවා ද?
කිසිවකු කියන්න බැරි නැහැ පේරාදෙණිය මෙන් නොව
ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ස්ටැන්ෆර්ඩ් ආදී විශ්වවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාල
කියා. එහෙත් රජයේ විශ්වවිද්‍යාලවලත් තත්වය එහෙමමයි. සසෙක්ස් විශ්වවිද්‍යාලය රජයේ
විශ්වවිද්‍යාලයක්. පේරාදෙණිය ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී රජයේ
විශ්වවිද්‍යාලයක්. ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ තියෙනවා බුදුදහමට ප්‍රමුඛස්ථානය
දෙනවා, අනෙක් ආගම් ද රකිනවා කියා. එංගලන්තය ක්‍රිස්තියානි
රටක්. එහි ක්‍රිස්තියානි ආගම මෙන් ම ක්‍රිස්තියානි සංස්කෘතිය ද රැකෙනවා. වෙනත්
සංස්කෘතියක් රකින්නේ නැහැ. ලංකාවේ කොහොම වෙතත් පේරාදෙණියේ බුදුදහමට ප්‍රමුඛස්ථානයක්
නැහැ.
ලංකාව අනුකාරකයන්ගේ හා නිවටයන්ගේ පාරාදීසය. අද
අධ්‍යාපනයෙන් ඊනියා උගතුන් නිවටයන් කෙරිලා. විශ්වවිිද්‍යාලවල ක්‍රිස්තියානි දැනුම
උගන්වමින් ඊනියා බුද්ධිමතුන් තමන් නිරාගමිකයන් යැයි බෙරිහන් දෙනවා. අප කැමති ක්‍රිස්තියානි රටවල් අපේ මධ්‍යස්ථභාවය
හා තවත් මෝඩකම් අගයනු ඇසීමට. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මැදීන් යන්නකුට එය මුස්ලිම්
හරි ක්‍රිස්තියානි හරි විශ්වවිද්‍යාලයක් නැත්නම් එවැනි රටක විශ්වවිද්‍යාලයක් කියල
හිතෙන්න පුළුවන්. අප හරි උගතුන් බුද්ධිමතුන් මධ්‍යස්ථ මතධාරීන් කියා බටහිරයකු
කියනවා නම් අපට ඊට වඩා දෙයක් නැහැ. මා නම් බුද්ධිමතකුවත් උගතකුවත් නො වෙයි.