Main Logo

Monday 29 August 2022

ගණිත විශේෂ පාඨමාලාව

 

ගණිත විශේෂ පාඨමාලාව

 

මේ ලිපි කියවන ඇතැමුන් සිතන්නේ මා පොරක් බව පෙන්වීමට බොරු ලියන බවයි. මට කිසිවකුට මා පොරක් බව පෙන්වීමට අවශ්‍ය නැහැ. එමෙන් ම මට කිසිවකුවත් සතුටු කිරීමට වුවමනාවකුත් නැහැ. මේ ලිපි පෙළින් කියන්න අදහස් කරන්නේ මට ලංකාවේ දී බටහිර මට්ටමෙන් දක්‍ෂතා තිබුණ ද බටහිර දී බටහිර මට්ටමින් ඇතැම් දක්‍ෂතා නොතිබුණු බවයි. ඒ දක්‍ෂතා අදක්‍ෂතා ලිපි පෙළෙන් හෙළි වේවි. යමකුට මේ ලියන දේ සම්මත අර්ථයෙන් ඇත්ත ද බොරු ද කියා මා සමග පාසලේ දී හරි විශ්වවිද්‍යාලයේ දී හරි ඉගෙන ගත් අයගෙන් දැනගන්න පුළුවන්. මෙහි නම් සඳහන් ගුරු මහත්ම මහත්මීන් නම් මේ වන විට මිය ගිහින්.

 

මා සාමාන්‍ය පෙළට රසායන විද්‍යාව හදාරා සම්මාන සාමාර්ථයක් ලබා තිබුණා. එහෙත් මට එය ප්‍රිය විෂයයක් වුණේ නැහැ. විශ්වවිද්‍යාල ප්‍රවේශයේ දී මා රසායන විිද්‍යාව අත්හැරියා. මා රසායන විද්‍යාවෙන් අසමත්. අසමත් කියන එකෙන් අදහස් කරන්නේ මට F ලකුණක් ලැබුණු බව නො වෙයි. සාමාන්‍ය සාමාර්ථයක් නොලැබුණු බවයි. එහෙත් එකල තිබූ ක්‍රමය අනුව මට ලකුණු 25කට වඩා වැඩියෙන් ලැබී තිබුණා. මට එය කිසිසේත්ම ප්‍රශ්නයක් වුණේ නැහැ.

 

1962 විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයේ දී මට රාජකීය විද්‍යාලයෙන් ශුද්ධ ගණිතයට හා ව්‍යවහාරික ගණිතයට වැඩි ම ලකුණූ ලබාගත් ශිෂ්‍යයාට හිමිවන ත්‍යාගය ලැබුණා. එමෙන් ම මට ලංකා විශ්වවිද්‍යාලයෙන් ඒ පරීක්‍ෂණයේ  ප්‍රතිඵල අනුව ප්‍රවේශ ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒ ශිෂ්‍යත්ව ලැබුණේ සියළු පීඨවලට ඇතුළත් වූ සිසුන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයන් දහදෙනාට. මා ඇතුළත් වුණේ පේරාදෙණියේ තිබූ විද්‍යා පීඨයට.

 

මා ජයතිලක ශාලාවේ නේවාසික සිසුවකු වුණා. වැඩිකල් නොගොස් මා සමසමාජ පක්‍ෂයේ තරුණ සංගමයේ සාමාජිකයකු වුණා. ටික කලෙකින් ම සාමාජිකත්ව අපේක්‍ෂකයකු වුණා. සමසමාජ පක්‍ෂයේ එකල සාමාජිකත්වය දෙන්නේ යම් පරීක්‍ෂණයකට ලක් කිරීමෙන් පසුව.  එබැවින් සාමාජිකත්ව අපේක්‍ෂකයකු ලෙස ටික කලක් ඉන්න සිදුවුණා. මට පක්‍ෂයේ පුර්ණ සාමාජිකත්වය ලැබුණේ මා ගණිතය විශේෂ උපාධිය සඳහා කොළඹට පැමිණීමෙන් පසුව.

 

එකල ලංකා විශ්වවිද්‍යාලයේ ඇතැම් පීඨ පේරාදෙණියෙත් ඇතැම් පීඨ කොළඹත් තිබුණා. විද්‍යා පිඨයේ කොටසක් 1961 සිට පේරාදෙණියේත් පවත්වාගෙන ගියා. එය දෙවැනි පීඨයක් නො වෙයි. තිබුණේ එක පිඨයක් තැන් දෙකක. පළමු වසර අවසානයේ පැවැත්වෙන පරීක්‍ෂණයේ ප්‍රතිඵල මත ඇතැම් සිසුන් විශේෂ උපාධි පාඨමාලා සඳහා තෝරා ගැණුනා. ඒ උපාධි පාඨමාලා පේරාදෙණියේත් කොළඹත් පැවැත්වුණා. රසායන විද්‍ය විශේෂ උපාධි පාඨමාලාව පැවැත්වුණේ පේරාදෙණියේ. ගණිත හා භෞතික විද්‍යා විශේෂ උපාධි පාඨමාලා පැවැත්වුණේ කොළඹ. එබැවින් ගණිතය විශේෂ උපාධි පාඨමාලාව හැදුරීමට මට කොළඹ ඒමට සිදුවුණා.

 

ගණිතය විශේෂ උපාධි පාඨමාලාවට සාමාන්‍යයෙන් අවුරුදු තුනක් ගතවෙනවා. ඒ කියන්නේ පළමු වසර අවසානයෙන් පසු වසර තුනක් කියන එකයි. මා ඒ දිනවලත් විශ්වවිද්‍යාල අත්පොත කියවා තිබුණා. එහි සඳහන් ව තිබුණේ ගණිත අධ්‍යනංශයේ ප්‍රධානියාගෙ කැමැත්ත පරිිදි ශිෂ්‍යයකුට ගණිතය විශේෂ උපාධි පාඨමාලාව අවුරුදු දෙකකින් සම්පූර්ණ කරන්න පුළුවන් කියා. මා කොළඹ සිටිය දී ඉහළ වසරවල දේශනවලටත් සහභාගි වුණා.      

 

මා ගණිත විශේෂ උපාධි පාඨමාලාවේ දෙවැනි වසරේ දී ගණිත අංශයේ ප්‍රධාන ඩග්ලස් අමරසේකර මහතා හමුවී ඒ වසර අවසානයේ දී උපාධියට පෙනී සිටීමට අවසර ඉල්ලුවා. ඔහු එයට අකමැත්තක් දැක්වූයේ නැහැ. එහෙත් ඔහු කියා සිටියා අධ්‍යනංශයේ අනෙක් කථිකාචාර්යවරුන්ගෙන් විමසන්නේ නැතුව පිළිතුරක් දීමට නොහැකි බව. සතියකින් පමණ පසුව මා ඔහු නැවත හමුවූ අවස්ථාවේ ඔහු කියා සිටියේ අමුතු කතාවක්. Head of the Department is not the Department. එයින් ඔහු කියා සිටියේ අධ්‍යයනංශය මට ඒ වසරේ උපාධි පරීක්‍ෂණයට පෙනී සිටීමට අවසර නොදීමට තීරණය කර ඇති බවයි.

 

මා සමසමාජ පක්‍ෂයේ කටයුතුත් පොතපත කියවීමත් දිගට ම කරගෙන ගියා. එමෙන්ම චිත්‍රපට බැලීමටත් අමතක කළේ නැහැ. විශ්වවිද්‍යාලයේ එකල විශේෂ සාපේක්‍ෂතාවාදය ඉගැන්වූ නමුත් සාධරණ සාපේක්‍ෂතාවාදය ඉගැන්වූණේ නැහැ. ඒ විෂය තනිව හදාරන්න සිද්ධ වුණා. ඒ මා සාධාරණ සාපේක්‍ෂතාවාදය මත පදනම් වූ විශ්වවේදයෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීමටත් එමගින් විද්‍යාඥයකු වීමටත් බලාපොරොත්තු වූ බැවින්.

 

මට පෙම්වතියක් නම් සිටියේ නැහැ. පේරාදෙණියේ දී මගේ කණ්ඩායමේ එක්තරා ශිෂ්‍යාවක කෙරෙහි පිළිබඳ සිතක් ඇති වු නමුත් ඇයට මා ගැන එවැනි සිතක් ඇති වුණේ නැහැ. ඇයට මා ගැන කිනම් සිතක් ඇති වුණා ද කියා මා දන්නේ නැහැ. මා අහන්න ගියේත් නැහැ.