මා එංගලන්තයට යෑම හා ඒම
මා පළමුවෙන් පිටරටකට ගියේ 1968 දෙසැම්බර් 29 වැනි දා. ඒ එංගලන්තයට, විද්‍යාඥයකු, ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයකු විශේෂයෙන් විශ්වවේදියකු වීමේ අභිලාෂයෙන්. එදා කටුනායකින් මා පිටත් කර ඇරීමට ඥාතීන් මෙන් ම පාසල් හා විශ්වවිද්‍යාල මිතුරන් රාශියක් පැමිණ සිටියා. අද මෙන් නොව එදා ගුවන් ගමනක් යන්නේ සාම්ප්‍රදායික ව හොඳ ඇඳුමකින් සැරසී. මා ද කළු කබායකින් හා ටයි පටියකින් සැරසී සිටියා. එකල මගේ වයස අවුරුදු විසිහතරක් පමණයි. අද එදා මෙන් තුන් ගුණයකට වඩා වයසයි. එදා තනිකඩයෙක්. අද සීයා කෙනෙක්. පඬිනැට්ටන් කියන විධියට මැන්ටලයක්, නාකියෙක්. මෝඩයෙක්. කාලකන්නියෙක්.
එදා ඒ ගමන ගියේ එයා සිලෝන් සමාගමේ කුඩා ගුවන්
යානයකින්. අර දෙපැත්තේ ආසන දෙක බැගින් වූ යානයක්. ඒ ශීත කාලය. අප පළමුවෙන් ගොඩ
බැස්සේ රෝමයට. ටෙහෙරාන්හි ගුවන් යානය නැවැත්තූ නමුත් කිසිවකුට බහින්න අවසර ලෑබුණේ
නැහැ. රෝම ගුවන් තොටුපොළේ විවිධ භාණ්ඩ බදු රහිතව විකුණන්න තිබුණා. මට කිසිවක් මිල
දී ගන්න අවශ්‍ය වුණේ නැහැ. අවශ්‍ය වුණත් මුදල් තිබුණේත් නැහැ. මා එංගලන්තයට ගියේ
රජයේ ශිෂ්‍යත්වයකින්. රජය භාණ්ඩ මිල දී ගන්න මුදල් දෙන්නේ නැහැ. මට පේරාදෙණියේ
සිංහල අධ්‍යනංශයේ මහාචාර්ය පී ඊ ඊ ප්‍රනාන්දු මහතා සීතලට අඳින කබායක් දී තිබුණා.
එතුමා මගේ පියාගේ මිත්‍රයෙක්. ඔවුන් එක ගමේ. ඒ කබාය මට රෝමයේ දී පළමු වරට පිහිට
වුණා.
එංගලන්තයට ගොඩ බැස්සේ හීත්‍රෝ ගුවන්
තොටුපොළෙන්. මගේ මිතුරකු තම අයියා සමග ගුවන් තොටුපොළට පැමිණ තිබුණා. එදා රෑ මා ගත
කෙළේ ඔවුන්ගේ නිවසේ. එදා තමයි මා පළමුවරට රුපවාහීනිය නැරඹුවේ. සතියක් පමණ ලංඩනයේ
ගත කළ මා සැතපුම් හැටක් පමණ දකුණෙන් වූ බ්‍රයිටන් කරා දුම්රියෙන් ගියා. ඒ ගමනට
පැයක පමණ කාලයක් ගියේ. කොළඹ සිට අම්බලන්ගොඩට ඇති දුර වගේ. සසෙක්ස් විශ්වවිද්‍යාලය
තියෙන්නේ බ්‍රයිටන් සිට සැතපුම් තුනක පමණ දුරකින්. එහි යෑමට තවත් දුම්රියක යන්න
ඕන.
සසෙක්ස් විශ්වවිද්‍යාලයේ මා මුලින් ම නැවතුණේ
ලැන්කැස්ටර් හවුස් නම් නේවාසිකාගාරයේ. එහි කාමර තනි තනි ව ශිෂ්‍යයන්ට වෙන් කර
තිබුණා. පේරාදෙණියේ ශාලාත් මුල දී එක් ශිෂ්‍යයාට එක් කාමරය බැගින් දී තිබුණා. අප
යන කාලයේ දී පළමු වසරේ දී එක් කාමරයක තුන් දෙනකු ලැගුම් ගත්තා. සසෙක්ස් ගොස් පසු
දින මා තාරකා විද්‍යා මධ්‍යස්ථානයට (Astronomy Centre) ගොස් ගුරුවරුන් හමු වුණා. විශේෂයෙන් ම මගේ උපාධි
නිබන්ධ උපදේශක මහාචාර්ය විලියම් මැක්‍රේ හමු වුණා. ඔහු ලෝ පිළිගත් තාරකා විද්‍යාඥයෙක්.
මා සසෙක්ස් තෝරා ගැනීමට හේතු දෙකක් තිබුණා. එකල
අද මෙන් නොව විශ්වවිද්‍යාලය පමණක් නොව නිබන්ධ උපදේශක ද තෝරා ගැනීමට අවස්ථාව
තිබුණා. එමෙන් ම තම ක්‍ෂෙත්‍රය ද තෝරා ගැනීමට හැකි වුණා. මා තෝරා ගත්තේ විශ්වය
පිළිබඳ හදාරන්න. ඒ සඳහා මා තෝරා ගත්තේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විලියම්
මැක්‍රේ හා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩෙනිස් ෂ්‍යාමා. ඔවුන් දෙදෙනා ම
මා ශිෂ්‍යයකු ලෙස බඳවා ගැනීමට කැමති වුණා. මට රජයේ ශිෂ්‍යත්වය ලැබුණේ 1968
සැප්තැම්බර් මාසයේ හෝ ඒ ආසන්නයේ හෝ. ඒ 1967 උපාධි පරීක්‍ෂණයේ ප්‍රතිඵල අනුව
අවුරුද්දකට පමණ පසුව. සසෙක්ස් විශ්වවිද්‍යාලයේ දේශනයකට පැමිණි මහාචාර්ය ෂ්‍යාමා
සමග දිවා ආහාරය ගැනීමට මට ආරාධනයක් ලැබුණා.
සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලයක් වූ කේම්බ්‍රිජ්
විශ්වවිද්‍යාලය මා බඳවා ගැනීමට කැමති වුණේ 1969 සැප්තැම්බරයේ. 1968-69
අධ්‍යයන වර්ෂය ඒ වන විට පටන් අරන්. එහෙත් සසෙක්ස් විශ්වවිිද්‍යාලය 1969
ජනවාරියේ සිට ම මා බඳවා ගැනීමට කැමති වුණා. මා සසෙක්ස් ගියේ එලෙසයි. මා එහි යන විට
මහාචාර්ය මැක්‍රේ විශ්වවේදය පිළිබඳ තම පාඨමාලාවේ දේශන අවසන් කර තිබුණා. ඔහු මගෙන්
සාධාරණ සාපේක්‍ෂතාවාදය පිළිබඳ ප්‍රශ්න තුන හතරක් ඇහුවා. මා අවකල ජ්‍යාමීතිය
රීමානියානු ජ්‍යාමිතිය හා සාධාරණ සාපේක්‍ෂතාවාදය පිළිබඳ පොත් තනිව ම කියවා තිබූ
බැවින් ඒ ප්‍රශ්නවලට පිළිතුරු දීමට අපහසු වුණේ නැහැ. ඔහු ප්‍රශ්න ඇසීමෙන් පසුව එදා
ම මා නිබන්ධය ලිවිය යුතු ක්‍ෂෙත්‍රය කියා මට වැඩ පටන් ගන්න කිවුවා. ඒ ක්‍ෂෙත්‍රය
ක්වේසාර පිළිබඳ ව. එනම් ඉතා විශාල ශක්තියක් මුදා හරින එහෙත් තාරකා මෙන් වූ වස්තු
ගැන. ඒ වස්තු එකල නිරීක්‍ෂණය කර වැඩි කලක් ගත වී තිබුණේ නැහැ.
මා එංගලන්තයට ගියේ විද්‍යාඥයකු වීමට. එය මා
සාමාන්‍ය පෙළට ඉගෙන ගන්න දවස්වල ම ඇති කර ගත් බලපොරොත්තුවක්. එකල මා සිතා සිටියේ
මා දක්‍ෂ ශිෂ්‍යයකු බවයි. ගුරුවරුන් ද මිතුරන් ද එසේ සිතුවා. ලංකා විශ්වවිිද්‍යාලයේ
දීත් මා සිතුවේ මා දක්‍ෂ ශිෂ්‍යයකු බවයි. මගේ මිතුරන් ද මා ගැන සිතුවේ එලෙසයි. එකල
අවාසනාවකට පඬි නැට්ටන් හිටියේ නැහැ. ඔවුන් එකල හිටියා නම් මා මෝඩයකු බව එකල ම මට
කියා දීමට තිබුණා.
එහෙත් සසෙක්ස් විශ්වවිද්‍යාලයේ දී මට තේරුණා මට
විද්‍යාඥයකු වීමට හැකියාවක් නැති බව. මා කාලය හා රජයේ මුදල් නාස්ති නොකර ඉක්මණින්
ආපසු ආවා. මහාචාර්ය මැක්‍රේ නම් මට දුන් සහතිකයේ සඳහන් කළා මගේ රට මා ගැන ආඩම්බර
වේවි
(Your country will be proud of you) කියා. එතුමා අපේ රට ගැන දැන
හිටියේ නැහැ. මෙරට ඉන්න ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රාමාණික උගතුන් අතර මට තැනක්
නැහැ. ඔවුන් මා විශ්වවිිද්‍යාල දෙකකින්, පේරදෙණියෙන් හා කොළඹින අස්කෙරුවා. විශ්‍රාම
නොයන්න කැළණියනුත් අස් කෙරෙන්න තිබුණා. කැලණියේ ආචාර්යවරු මට විරුද්ධ ව සිසුන්ට
අත්පත්‍රිකා බෙදුවා. එහෙත් පඬි නැට්ටන්
තමයි මා ගැන තක්සේරුව ප්‍රසිද්ධියේ කියන්නේ. මගේ රට මා ගැන ආඩම්බර වන්නේ නැති බව
මහාචාර්ය මැක්‍රේ දැන සිටියේ නැහැ.
මට විද්‍යාඥයකු වීමට නොහැකි වීමේ කතාව
පසුවට.