Main Logo

Tuesday 20 December 2022

දෙදහස් පන්සීය ඉවරයි කියන්නෙ

දෙදහස් පන්සීය ඉවරයි කියන්නෙ

 

මෙතරම් තාර්කික විද්‍යාත්මක හිතන්න පුළුවන් තරුණ පරපුරක් ඉන්න රටක් මෙවන් තත්වයකට පත් වී ඇත්තේ තරුණ පරපුර හින්දම ? මේ තරුණ පරපුර වැනි පරපුරක් අවුරුදු දෙදහස් පන්සීයේ ඉඳලා නැහැ. මා හිතන්නෙ නැහැ අවුරුදු දෙදහස් පන්සීයෙ හරි ඊටත් වැඩි කාලෙක හරි තරුණ පරපුරක් රජ කෙනකු හරි වෙනත් පාලකයකු හරි පන්නල දැම්ම කියල මේ තරුණ පරපුර මිසක්. මේ තරුණ පරපුරට එවැනි ශක්තියක් ලැබුණෙ කොහොම ? අධ්‍යාපනයෙන් රුපවාහිනි නාළිකාවලින් හා සකර්බර්ග්ගෙන් වෙන්න ඇති.

 

මේ තරුණ පරපුර බුදුහාමුදුරුවන්ටත් වඩා දන්නවා. බුදුහාමුදුරුවන් විද්‍යාව දැනගෙන හිටියැයි. බෝසතාණන් වහන්සෙට අර පස් මහා බැලුම් බලන කොට වරදින්න ඇති. සුදුසු කාලය අවුරුදු දෙදහස් පන්සීයක් පමණ කලින් දැකල තියෙන්නෙ. සුදුසු කාලය එළඹෙන්නෙ තර්කය විද්‍යාව දියුණු වුණාට පස්සෙ බව බෝසතුන්ට පෙනිලා නැහැ. අඩු ගණනෙ ආර්ජන්ටිනාව ලෝක පාපන්දු ශූරතාව දිනා ගන්නකන් ඉන්න තිබුණ. මෙසී මෙයිසු කවුද ඉපදිල හිටියෙ නැහැ නෙ අවුරුදු දෙදහස් පන්සීයකට ඉස්සෙල්ලා.

 

මදිවට දේශය දීපය කුලය මව ඔක්කො වරද්ද ගෙන. බෝසතුන්ට ඉපදෙන්න තිබුණෙ ලංකාවෙ හරි ආජන්ටිනාවෙ හරි. කවුද කට්ටියක් කියනවා සිදුහත් කුමරු උපන්නෙ ලංකාවෙ කියල. ඒක එහෙම වෙන්න බැහැ. කන්ථක අශ්වයට පනින්න තරම් ගඟක් ලංකාවෙ තිබුණෙ නැහැ. කාලෙ මහවැලිය දැන් තියෙන විධියට නෙවෙයි ගලල තියෙන්නෙ. අනෙක ඒක ගඟක් නෙවෙයි කියල මා පේරාදෙණියෙ හිටිය පළමු වසරෙදි ආචාර්ය ජී එච් (ජී එල් නොවෙයි) පීරිස් කියනව මා අහල තියෙනවා. නැහැ මා භූගෝල විද්‍යා දේශනවලට ගියේ නැහැ. විෂය හදාරපු මිතුරන්ගෙන් තමයි මා දැනගත්තෙ. දැන්නම් කන්ථක අශ්වයට මහවැලියෙන් පනින්න පුළුවන්අපොයි නැහැ පේරාදෙණියෙ විශ්වවිිද්‍යාලෙ කිට්ටුවෙන් නො වෙයි. අන්තරේ කීයටවත් ඒකට ඉඩ දෙන්නෙ නැහැ. තරුණයන් බුද්ධිමත්. තාර්කික විිද්‍යාත්මක හිතන්නෙ. කවුද මේ රාමනාදන් ශාලාවට පනින්න එන්නෙ කියල විද්‍යාත්මක හිතයි.

 

පේරාදෙණියෙ විද්‍යාව සම්බන්ධ පීඨ කීයක් තියෙනවා ? ශාස්ත්‍ර පීඨයෙත් විිද්‍යාවේ දර්ශනය තර්කය ආදිය උගන්වනවා. මොනවයින් අඩුවක් ? ඒකෙ මෙසී ගැන උගන්වන්නෙ නැතිලු. ඔවුන් මෙසී ගණන් ගන්නෙ නැත් ? මෙසී ගැන අහල නැද්ද? එහෙමත් නැත්තන් මෙසීට ගඟෙන් පනින්න තරම් දැනුමක් නැද්ද? පේරාදෙණියෙ බුද්ධිමත් තරුණ ශිෂ්‍යයන් හිටියට උගන්වන්නෙ මැන්ටල් වෙන්න ඇති. මෙසී මහින්ද රාජපක්‍ෂගෙන් ගත්ත ලියුමවත් මැන්ටල සත පහකට ගණන් අරන් නැහැ. මෙසී ආජන්ටිනාවෙ පාපන්දු කණ්ඩායමට ඇතුල් වෙන්න මහින්දගෙන් ලියුමක් ගත්ත දන්නෙ නැහැ.

 

ඔය මැන්ටල මාවත් ගත්තෙ නැහැ. හැත්තැහතේ දි විිද්‍යා පීඨයට ගත්තෙත් නැහැ අවුරුදු විසිපහකට විතර පස්සෙ ඉංජිනේරු පීඨයට ගත්තෙත් නැහැ. පීඨ දෙකේ ගණීිත අධ්‍යනංශ තියෙනවා. මට ජේ ආර්ගෙන්වත් චන්ද්‍රිකාගෙන්වත් ලියුමක් ගන්න බැරි වුණා. චන්ද්‍රිකා මොනව ලියයි කියල හිතාගන්න බැහැ.

 

බුදුහාමුදුරුවො දේශනා කරන්නෙ තර්කානුකූල වූ නිසා පමණින්වත් න්‍යායානුකූල වූ නිසා  පමණින් වත් පිළිගන්න එපා කියල. ඒක අපේ බුද්ධිමත් තාර්කික විද්‍යාත්මක  තරුණයන් පිළිගන්නෙ නැහැ. ඒක නිසා බෝසතාණන් වහන්සේ අද දවසෙ හරි ලංකාවෙ ඉපදුණයි කියල වැඩක් වෙන්නෙ නැහැ. ඒක නිසා ආර්ජන්ටිනාවෙ තමයි උපදින්න වෙන්නෙ.

 

ලංකාවෙ වත්මන් තරුණ පරපුර ගෝඨාභය රාජපක්‍ෂ එළව ගත්ත කියනවා. පරගලයෙ වැඩක් කියලත් කියනවා. පරගලයෙ නායකයන් දැන් ඇණකොටා ගන්නෙ රාජපක්‍ෂලා එළවලා තමන්ට බලයට එන්න බැරි වුණ නිසා ? එහෙමත් නැත්නම් තර්ක බුද්ධිය වැඩි වෙලා ? සමාජවාදය ඇති කරන්න බැරි වුණු නිසා ? රනිල් හොඳ නැද්ද? හොඳ නැත්තන් රනිල්වත් පන්නන එක නෙ තියෙන්නෙ. ගෝඨාභය පන්නපු පුතාලට රනිල් පන්නන එක මහා වැඩක් වෙන්න බැහැ.

 

ඒත් බුද්ධිමත් තාර්කික විද්‍යාත්මක තරුණයන් ඒකට උනන්දුවක් නැති පාටයි. මට නම් එක ප්‍රශ්නයක්. මා බුද්ධිමතුවත් විද්‍යාඥයකුවත් තාර්කිකයකුවත් දාර්ශනිකයකුවත් නො වෙයි. රනිල් පන්නන්න මේ තරුණයන්ට ශක්තිය තියෙන බව මට හොඳට විශ්වාසයි. ඒක විශ්වාසයක් පමණයි. මට ඒක තර්ක කරල පෙන්නන්න බැහැ. තරුණයන්ට සඳහා ශක්තියක් නැද්ද? මොකක් වුණත් රනිල් පන්නන්නෙ නැත්තෙ මොකද කියල කවුරු හරි මට තාර්කික විද්‍යාත්මක කියල දෙනවා ? නැහැ මා මෙහි ප්‍රතිචාරවලට ඉඩ දෙන්නෙ නැහැ. ඔය සකර්බර්ග් වෙන තැන්වල ඉඩ දේවි.

 

කමක් නැහැ. සකර්බර්ග් හොඳ මනුස්සයා. මානව හිතවාදී අපට ලියන්න ඉඩ දීල. ඒත් අනෙක් පැත්තෙන් දසදහස් ගණන් මෙටාවෙන් අස් කරලා. පරගලයට සකර්බර්ග් උදවු කළා කියල මා තාර්කික විද්‍යාත්මක තරුණයන්ගෙන් අහන්නෙ නැහැ. ඒත් මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. තරුණයන්ට තර්කය තාර්කික කියල තර්කයෙන් පෙන්නන්න පුළුවන් ? තරුණයන් තර්කය විශ්වාස කරනවා වෙන්න බැහැ. තරුණයන් ඇරිස් අඳුනන්නෙ නැහැ. ඇරිසුත් කවුරුත් ආරම්භයක් ගැන විශ්වාස කරනවා.

 

ඒත් තරුණයන්ට දැන් හරිම හිනා. අර සුරංගීට වගේ. සිංහල බුද්ධාගම ඉවරයි. දෙදහස් පන්සීය ඉවරයි. රටේ විනයක් නැහැ. එක එකා ගහ මරා ගන්නවා. ඉස්සර අයිස් ගහනව කිවුවෙ වැඩ නොකර ඉඳීමට. දැන් අයිස් වැඩ කරනවා. සිංහල බුද්ධාගම ඉවර නම් සමාජවාදය නැති වුණත් කමක් නැහැ. රනිල් හිටියත් කමක් නැහැ. අපි රටට හෙනයක් තිබුණ සිංහල බුද්ධාගම නැති කළා කියන පස්වනක් තර්කානුකූල ප්‍රීතිය තරුණයන්ට තියෙනවා. සුූරංගීට දැන් හරිම හිනා.