ප්‍රබුද්ධ පීචං
අමරදේව හා නිහාල් නෙල්සන් දෙදෙනා ම ගඟෙන් එගොඩ. මා ගඟෙන් මෙගොඩ. මෙහි ගඟ පාණදුරේ හා මොරටුව වෙන් කරන ගඟ. ගඟක් කීවාට එය ගඟක් ද කියන එක ප්‍රශ්නයක්. ඒ කෙසේ වෙතත් අමරදේව කොරළවැල්ලේ. නිහාල් නෙල්සන් රාවතාවත්තේ. අපේ පෙළේ අය වැඩියෙන් ම ඉන්නේ රාවතාවත්තෙ. එහෙත් මා ඒ කිසිවකු දන්නේ නැහැ. නිහාල් නෙල්සන්ගේ පෙළපත කුමක් ද කියා හොයා බලන්න මා තැත් කෙළෙ නැහැ.
මොරටුව පෘතුගීසි ආභාසය නොමඳ ව ලැබූ නගරයක්. බොහෝ විට දොන් ජුවන් ධර්මපාලට සේවය කළ අය මොරටුවේ ඉන්න ඇති. අපේ මුත්තා කෙනකුත් ඔහුට සේවය කර තියෙනවා. ඔවුන් පෘතුගීසි නම් හා ආගම ගත්තා. ඔවුන් බොහෝ විට කරාව කුලයේ. කරාව කුලයේ අය පෘතුගීසීන්ට පක්‍ෂපාත යැයි ලන්දේසින් සැක කළා. එබැවින් ඔවුන් කරාව කුලයේ අය පහතට දැම්මා. මෙරට කුල භේදයක් ඇති කිරීමට ලන්දේසින් කටයුතු කළා.
මොරටුව සංගීත පුරයක්. ඒ පෘතුගීසි ආභාසය නිසා බව පැහැදිිලියි. කතාවක් තියෙනවා මොරටුවේ දී ගහට ගහක් හමුවෙනවා කියා. ඒ වගේ ම මොරටුවේ දි ගායකයකුට ගායකයකු හමු වෙනවා. සිංහල චිත්‍රපටවල ගස් බදාගෙන නළු නිළියන් සිංදු කියන්නෙ ඒක නිසා නො වෙයි.
අමරදේව හා නිහාල් නෙල්සනුත් මාත් අතර ඇති සම්බන්ධය ගඟ පමණයි. මා දන්නා සංගීතයක් නැහැ. මා හයේ පංතියේ සිටින විට බටහිර සංගීතය ඉගැන් වූ ගුරුතුමා අපට “ආ” ගායනා කරන්න කිවුවා. ඒ දිනවල ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අහල තිබුණෙ නැති නිසා මට එය කරන්න බැරි වුණා. මගේ බටහිර සංගීතය ඉගෙනීම එතැනින් නැවතුණා. පෙරදිග සංගීතය ඉගැන් වූ ගුරුතුමා අපට ශාස්ත්‍රීය අංශය වැඩිය කියා දුන්නා. රාග් සංගීත් කියා පොතක් තමයි අපි පාවිච්චි කෙළේ. ගුරුතුමා අපට සප්ත ස්වර ගායනය වාදනය නෘත්‍ය ගැන කියා දුන්නා. පහළ පන්තිවල (6,7,8) ඉන්න
කාලෙ එතුමා අප ගුවන් විදුලි නාට්‍ය කිහිපයකට සහභාගි කෙරෙවුවා. ඒ තමයි මගේ පළමු නාට්‍ය. ඉන් පසු ගුවන් විදුලියෙ හා රූපවාහිනියේ නාට්‍ය රාශියකට මා සහභාගි වුණා. ඔවුන් ඒ නාට්‍යවලට කිවුවෙ සාකච්ඡා කියල. ඔවුන්ගෙ නාට්‍යවල මගේ දරුවන් පිටරට ඉගෙන ගන්න එකත් තේමාව වුණා.
මා
සංගීතය ගැන වෙහෙසෙන්නෙ ඇයි ස්වර හතක් තියෙන්නෙ, රාගධාරි සංගීතයෙත් බටහිර සංගීතයෙත් ස්වර හතක් තියෙන්නෙ මොක ද, සිංහල සංගීයෙ ස්වර පහක් පමණක් (රෝහණ බැද්දගේට අනුව) තියෙන්නෙ ඇයි වගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න. මා සංගීතඥයන් එක්ක ඇසුරක් නැහැ. අමරදේව වගේ කිහිප දෙනකු සමග වචන දහයක් පමණ කතාබස් කරල තියෙනවා. නිහාල් නෙල්සන් හමුවෙලාවත් නැහැ. ඒ ප්‍රබුද්ධ පීචං කතාවක් හින්ද නොවෙයි. ප්‍රබුද්ධ කියන බොහෝ දෙනකුත් මා හඳුනන්නෙ නැහැ. මා ප්‍රබුද්ධ නොවන බව ඔවුන් දන්නවා. කොහොමත් කලා කරුවන් හා විශ්වවිද්‍යාල උගතුන් මා ආශ්‍රය කරන්න කැමති නැහැ. ඔවුන්ට රටේ තියෙන පිළිගැනීම නැති වේය කියා බයක් තියෙනවා.
කොළඹ
විශ්වවිද්‍යාලෙ ඉන්න කාලෙ ගවේෂකයො මගින් සී ද එස් කුලතිලක සංගීතවේදියා ලවා කතාවක් කෙරෙවුවා. එතුමා සිංහල සංගීතයක් ගැන කිවුවා. පිරිත් ඕසෙට ගයන නෙළුම් කවි අපට අහන්න සැලැස්සුවා. මට හිතෙන දෙයක් තමයි පිරිත් සජ්ඣායනාව අද තියෙන විධියට ආරම්භ කළෙ සිංහල හාමුදුරුවරුන් කියන එක. ඒ සිංහල නාද රටා ඇසුරෙන් සංස්කරණය කරන්න ඇති. මියන්මා හාමුදුරුවරුන්ගෙ පිරිත සිංහල හාමුදුරුවරුන්ගෙ
පිරිතෙ අනුකරණයක් පමණයි. ගවේෂකයන් ගෙන් වු තවත් සංගීතඥයකු වුණෙ පියසිරි විජේරත්න. එතුමා මට මතක හැටියට සුනිල් සාන්ත ලඝු ස්වර අදින්නෙ නැති බව අපට කිවුවා.
කාලෙකට පෙර ඉරිදා දිවයින පුවත්පතට සරත් අමුණුගම ලිපියක් ලිවුවා ජනප්‍රිය සංගීතය ගැන. ජනප්‍රිය කියන සංකල්පය ඔහු බටහිරින් ගත් එකක්. පොපියුලර් නැත්නම් පොප් කියන එක තමයි ඔහු ජනප්‍රිය ලෙස සිංහලට පරිවර්තනය කෙළෙ. ඒ ලිපිය නිසා පුවත්පතේ සංවාදයක් කෙරුණා. එහි දී ඔය ප්‍රබුද්ධ පීචං කියන වචනත් භාවිතා කළ බව මට මතකයි ඒ දවස්වල සංවාදයෙ මාත් හිටියෙ ප්‍රබුද්ධ පැත්තෙ. දැන් නම් මා පීචං කියල තමයි තරුණයන් කියන්නෙ. ඒත් ඔවුන් ඒ පීචං කියන සංගීතය තමයි අගය කරන්නෙ.
කොහොමටත් අමුණුගමගෙ ලිපිය පීචං සංගීතය ගැන හිතන්න ප්‍රබුද්ධ කියන පාඨකයන් යොමු කළා. අමරදේව ප්‍රබුද්ධ ජෝතිපාල පීචං. ඒ බෙදීම කරල තිබුණෙ සිංහල බෞද්ධයන් නො වෙයි. මෙරට හිටි උත්තර භාරතීය සංගීතය හැදෑරූ අය හා ඒ සංගීතයට ඇල්මක් දැරු අය. ඔවුන් වැඩි දෙනා සිංහල බෞද්ධයන් බවට සැකයක් නැහැ. එහෙත් ඒ බෙදීම සිංහල බෞද්ධ චින්තනයෙන් පැන නැගි එකක් නොවෙයි. එකලත් සිංහල බෞද්ධයන් වැඩි දෙනා සවන් දුන්නෙ පීචං ජෝතිපාලට මිස ප්‍රබුද්ධ අමරදේවට නො වෙයි. එයින් කියන්නෙ සිංහල බෞද්ධ චින්තනය ජෝතිපාල තම ගායකයා හැටියට තෝරා ගත්තා කියන එකත් නො වෙයි. මා හිතන්නෙ බටහිර සංගීතය මැනවින් හෑදෑරු අයට අමරදේවත් ප්‍රබුද්ධ වුණෙ නැහැ කියලා. මා හිතන්නෙ බටහිර සංගීතයට ඇල්මක් දැක්වුවන් අතර, එහෙමත් නැත්තන් ගෙදර ඉංගිරිසියෙන් කතා බහ කළ අය අතර ප්‍රිය මනාප වූ ගායකයා සුනිල් සාන්ත කියා.
සිංහල
සමාජයෙ ප්‍රබුද්ධ පීචං බෙදීම ඇති වුණෙ මූලික වශයෙන් පෙරදිග භාෂා ශාස්ත්‍ර හැදෑරූ අය නිසා කියලයි මා හිතන්නෙ. ඒ බෙදීම මෙරට ගුවන් විදුලිය ආරම්භ කිරීමටත් පෙර සිට තිබුණු දෙයක්. එකල ප්‍රබුද්ධ පීචං නාම භාවිතා නොකරන්න ඇති. එහෙත් සංකල්පීය වශයෙන් ඒ බෙදීම තිබුණා. මෙහි ආරම්භය කොතන ද කියල මා දන්නෙ නැහැ. කවුරු හරි ඒ හොයා බලනව නම් හොඳයි.
සිංහලයන්ගෙ ජනගායනා ඕන තරම් තියෙනවා. ඒක ජන සංගීතය. සිංහල නාද රටා අපමණ තියෙනවා. ඔය ප්‍රබුද්ධ සංගීතඥයන්ටත් ඒ නාද රටා සංස්කෘතියෙන් හිමි වෙනවා. මා හිතන්නෙ ඒ ගැන සාක්‍ෂි ඕන තරම් තියෙනවා කියලා. කොහොම හරි අපේ පෙරදිග භාෂා ශාස්ත්‍ර හැදෑරු උගතුන්ට ඒ ජන සංගීතය මදි වුණා. එය 1921 විශ්වවිිද්‍යාල ආයතනයේ පෙරදිග අධ්‍යයන පීඨය ආරම්භ කිරීමටත් පෙර පැවති තත්වයක්. අපට අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් අපේ අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නයක් එකලත් තිබුණා. (මතු සම්බන්ධයි)