Main Logo

Thursday 1 December 2022

එළොව මෙළොව

 එළොව මෙළොව

 

ලෝකය කියන එකෙන් එක් එක් අය විවිධ දේ අදහස් කරනවා. මා කියන්නේ අපෙන් තොරව ලෝකයක් පවතිනවා කියන එක නො වෙයි. එහෙමත් නැත්නම් තමා ඇතුළු ලෝකය  අවිිද්‍යාව නිසා තම තමන් සංස්කරණය (අවිජ්ජා පච්චයා සංඛාරා) කරන දෙයක් යන්නවත් නො වෙයි. ඇතැමුන්ට ලෝකය කියන්නේ මේ පොළොව හා එහි ඇති ඉන්ද්‍රිය ගෝචර සතා සිවුපාවා ගහකොළ ආදියයි. ඇතැමුනට ක්‍ෂිරපථය (Milky way) නමින් හැඳින්වෙන සක්වළ නැත්නම් මන්දාකිණියයි. ඇතැමුනට පිට සක්වළ සහිත විශ්වයයි. පෘථිවිය කොහොම වෙතත් ක්‍ෂිරපථය නම් පැතළි එකක්. ලෝකය පැතළි කියන විට කියන්නේ ක්‍ෂිරපථය ගැන වෙන්නත් පුළුචන්. විශ්වවේදීන් විශ්වයේ ජ්‍යාමිතිය ගෝලාකාර පැතළි බහුවලයික කියා දන්නේ නැහැ. පඬි නැට්ටන් නම් දන්නවා.      

   

 

අර කිරි සයුර මෙකක් ? සුරයන් හා අසුරයන් මහමෙර වටේ නයකු ඔතාගෙන එහාට මෙහාට කරකවල ලබා ගත්ත දේ ගැන මොක හිතන්නෙ. ක්‍ෂිරපථය ?  කොහොම වෙතත් හාමුදුරුවරු බණට පළමුු සක්වළට ආරාධනා කරනවා. බුදුහාමුදුරුවන්ගෙ කාලෙ නම් අනාරාධනයෙනුත් දෙවියන් ඇවිල්ල බණ අහල තියෙනවා. මහාමංගල සූත්‍රයත් පරාභව සූත්‍රයත් එහෙම දෙවියන් දෙදෙනකුට (එක් කෙනාම දන්නෙත් නැහැ. හැබැයි එහෙම සඳහන් වෙන්නෙ නැහැ. අඤ්ඤතරා දේවතා කියල තමයි කියැවෙන්නෙ) පිළිතුරු වශයෙන් දේශනා කළ දහම්.

 

දැන් පඬි නැට්ටන්ට ප්‍රශ්නයක්. ඔවුන් දෙවියන් දැකල නැහැ. මෑත කාලෙ බටහිර කවුරුන්වත් දැකලාත් නැහැ. දෙවියන් ඉන්ද්‍රිය ගෝචර නොවෙයි. ඉතින් කොහොම විශ්වාස කරන්නෙ. මේ සූත්‍ර පස්සෙ කාලෙක හදා ගත්ත ඒව ? බුදුහාමුදුරුවන්ට වැරදුණු තැන් තියෙනවා කියන පඬි නැට්ටන් තම ඊනියා මනෝ විශ්ලේෂණ අනුව  බුදුහාමුදුරුවන්ට තිබුණු ප්‍රශ්නය විශ්ලේෂණය කරාවි ? අද තරම් පඬි නැට්ටන් කිසි කලෙක මෙරට ඉඳලා නැහැ.

 

ඒත් පෙරදිග නම් දෙවියන් සමග කතාබහ කළ අය හිටියා, ඉන්නවා. පරණ තෙස්තමේන්තුවෙ තියෙන්නෙ දෙවියන් එක්ක කළ කතාබහ ගැන. පරණ තෙස්තමේන්තුව පෙරදිග පොතක් නොවැ. අද නත්තල සමරන්නෙ හිම වැටෙනා සුදු කන්ද දිහා බලාගෙන වුණත් බෙත්ලෙහෙමට හිම වැටුුණෙ නැහැ. අද තියෙන්නෙ තුන්වැනි සියවසේ රෝම අධිරාජයාට අවශ්‍ය වුණු ක්‍රිස්තියානියක් යේසුස් වහනසේගෙ  ක්‍රිස්තියානියක් ?

 

මා මේ ප්‍රශ්න අහන්නෙ මෝඩකමට වෙන්න ඕන. ළඟදි මගේ පොත් තුනක් තැපෑලෙන් ලබා ගන්න පුළුවන් කියල දැන්වීමක් පළ කරල තිබුණා. ඒකට පිළිතුරු ලෙස මා මොන තරම් මෝඩයකු මිනිසුන් රවටන්නකු විද්‍යාව නොදන්නා අයකු විද්‍යාව හා විද්‍යාවේ දර්ශනය පටළවා ගත් අයකු ඥානක්කාගේ ආසනික් කතා පැතුරූ අයකු (මා ඇය දැක නැති බව වෙන කරුණක්) රාජපක්‍ෂලාගේ රෙදි සෝදන්නකු   ආදී වශයෙන් සඳහන් කර මා අසත්‍ය හා මිථ්‍යා මත පතුරවන්නකු කියා පොත් කඩල ඔතන්න හොඳය කියා තිබුණා. මට මහළු වයසේ බැරිය ඉගෙනුම පෙර සේ නැත්නම් බුලත් අතක් අරන් ඔවුන් බැහැ දැක සතර ඉගෙනීමට යන්න තිබුණා. අපරාදෙ මා කලින් ඉපදුණෙ.

 

කොහොම වෙතත් මා මින් පසු මුද්‍රිත මාධ්‍යය යොදා ගන්නෙ නැහැ. මගේ මෝඩකමට ගුණානන්ද හාමුදුරුවන් ගැන ලිපියක් සඟරාවකට ලියන්න පොරොන්දු වුණා. මගේ අවසාන මුද්‍රිත ලිපිය වේවි. මගේ ලිපි දැන් ඇත්තේ වළාකුළේ. මා ලියන්නෙත් මට විතරයි. සමහරවිට වළාකුළේ දෙවියන් කියවනවා දන්නෙ නැහැ. දැන් පඬි නැට්ටකු වළාකුළ තියෙන්නෙ කොහෙද කියල කියන්න බැරි නැහැ. මා දැනට ඉන්නෙ ඔය වළාකුළු තියෙන ප්‍රදේශයේ තමයි.

 

දැන් අර ප්‍රශ්න අහපු දෙවියන් වෙතට. දෙදෙනා   එක විධියට තමයි ඇවිත් තියෙන්නෙ. සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ තමයි බුදුහාමුදුරුවන් බැහෑ දැක තියෙන්නෙ. රනිල් නම් පාර්ලිමේන්තුවෙ දී මහානායක හාමුදුරුවන් ගැන කිවුවෙ මහානායක කියල, ඒත් සජිත්ට කියන්නෙ ගරු විපක්‍ෂ නායකතුමා කියා. රනිල් ගරු කරන්නෙ කාට කියාත් ඔහුගෙ සංස්කෘතිය මොකක් කියාත් කතාවලින් දැන ගන්න පුළුවන්. කමක් නැහැ දෙන්න පරාභව සූත්‍රය ගැන දෙඩෙවුවා. පරභයට කියල කියන්න අමාරුයි.

 

ඒත් දෙවිවරු බුදුහාමුදුරුවන්ට එහෙම කතා කරල නැහැ. බුදුහාමුදරුවන්ට වැඳ නමස්කාර කර එකත්පසව හිඳ තමයි ප්‍රශ්නය අහල තියෙන්නෙ. මහා මංගල සූත්‍රයත් පරාභව සූත්‍රයත් එක කාසියේ දෙපැත්ත වගේ. එකකින් මංගල කාරණා කියනවා. අනෙකෙන් පිරිහීමට හේතු කියනවා. මේ සූත්‍ර දෙක පාසල්වල බෞද්ධ සිසුන්ට උගන්වනවා නම් තමයි හොඳ. මා දන්නෙ නැහැ උගන්නවා කියා.

 

දැන් මේ දෙවිවරු ප්‍රශ්න කරල තියෙන්නෙ පරළොවක් ගැන නො වෙයි. මෙළොව ජීවත්වීමේ දී දැනගත යුතු කරුණු. බුදුහාමුදුරුවන් දෙවිවරුන් පන්නා ගත්තේ නැහැ තමන්වහන්සේ පරළොව ගැන පමණයි දේශනා කරන්නෙ කියල. මා එහෙම කියන්නෙ එක්පඬි නැට්ටකු අර මුක්කුවහන්සේ ගැන කියන ගමන් කියල තිබුණ තමා දැන ගෙන හිටියෙ පරළොවක් පමණක් ගැන කියන බුද්ධාගමක් පිළිබඳ කියලා. සිංහල බෞද්ධ ගෙවල්වල හැදුණු වැඩුණු පඬි නැට්ටන් දන්න තරම. මා හිතන්නෙ නැහැ ඔවුන් තුන් සූත්‍රයෙ පසුබිමවත් දන්නවා කියල. අපේ රට පිරිහීමට කරුණු දැන ගන්න (අහගන්න නෙවෙයි)  නම්  ආතල්ගම පඬි නැට්ටන් හමු වන්න.

 

බුදුහාමුදුරුවන් දේශනා කළ සමාජවාදයක් නැහැ. උන්වහන්සේ සත්වයන්ට (මිනිසුන්ට පමණක් නොව) එළොව මෙළොව වැඩදායක කරගන්නෙ කොහොමද කියල දේශනා කළෙ. වගේ සසර ගමන කෙළවර කර ගැනීමට මගත් දේශනා කළා. සමාජය හදන්න ගිය අය මොකක් කෙළෙ. ලෙනින් මාඕ කස්ත්‍රෝ ආදීන් හදපු සමාජ මොනවා ? පැතිවල සමාජවාදය තියෙනවා ? සමාජවාදය වෙනුවෙන් මිනී නොමැරූ අය සමාජවාදය ගැන කතා පමණක් කළ අය. මිනී මරා ඇති කළ සමාජවාදයකුත් නැහැ.

 

බුදුහාමුදූරුවන් මිනිසුන් හදන්න උත්සාහ කෙළෙ. ඊනියා විප්ලව කරන්න නො වෙයි. එළොව මෙළොව වශයෙන් මිනිසුන් හැදීමත් සියළු සත්වයන්ගේ සසර කෙළවර කිරීමට මග පෙන්වීමත් තමයි උන්වහන්සේ කෙළෙ. බහුජන හිතාය බහුජන සුඛාය කියන්නෙ පරළොව සඳහා පමණක් නො වෙයි. මා දන්න කාරණයක් තමයි සමාජය වෙනස් කරන්න කෑගහන අය මිතුරකුහේ හිතාය සුඛාය සඳහා කිසිවක් නොකරණ බව. ඔවුන් මිතුරාට කියන්නෙ සමාජය වෙනස් කළා මිතුරාටත් සුව වේ කියා. විප්ලවයත් හොඳ ගැලවීමක් තමයි. පරාභවය පසුවට.