ගුරුවරයකු වීමට පිය නැගීම
වෑකඩ පාසලෙන් තර්ස්ටන් විදුහලට ගිය මට ලොකු වෙනසක් දකින්නට ලෑබුණේ නැහැ. පාසලට පාවහන් පැළඳීමත් පංති කාමර බෙදා වෙන් කර තිබීමත් පාසල උදේ අටයි පනහට පටන් ගෙන සවස තුනයි හතළිහට අවසන් වීමත් ගුරුවරුන් එක් අයකු දෙන්නකු හැරෙන්න අනෙක් අය කලිසම් ඇඳීමත් ඇතැම් ගුරුවරුන් තම රියවලින් පාසලට පැමිණීමත් පාසලේ විශාල ශාලාවක් තිබීමත් මට අමුත්තක් දනවන්න සමත් වුණේ නැහැ. එකල ජෝසෆ් ස්ටැලින් කෙනකු ගුරුවරුන් අතර නොවූ බැවින් ගුරුවරියන් සියලු දෙනා ම පැමිණියේ සාරියෙන්/ඔසරියෙන් සැරසී. ඒ සමහර ගුරුවරියන් අද කියන විධියට පොෂ්. ඒත් ඔවුන් සාරියට කැමති වුණා. වෑකඩ පාසලේ දී ගුරුවරුන්ට මහත්තයා හරි ඉස්කොලෙ මහත්තයා හරි කියාත් ගුරුවරියන්ට ඉස්කෝලෙ හාමිනේත් කියා ඇමතු මට තර්ස්ටන් විදුහලේ දී සර මිස් ආමන්ත්‍රණයට පුරුදු වන්න සිිදු වුණා. පාසල් කාලය වෙනස් වූ නිසා පාසලේ දී ම දහවල් ආහාරය ගැනීමට පුරුදු වුණා. පළමු අවුරුද්දේ දී නම් මාත් මල්ලිත් දිවා ආහාරය ගත්තේ මැනිං ටවුමේ පිහිටි නැන්දගේ (මාමාගේ භාර්යාව) අක්කගේ ගෙදරින්.
එහෙත්
දෙවැනි අවුරුද්දේ (තුන්වැනි පංතියේ) සිට
අපේ දින චර්යාවේ වෙනසක් ඇති වුණා. පළමුවැනි අවුරුද්දේ වාරයක් පමණ අප පාසල් ගියේ කැලණියේ හිඹුටුවැල්ගොඩ පිහිටි මාමාගේ ගෙදර නැවතී ඔහුගේ රියෙන්. එහෙත් ඊළඟ වාර දෙක අප පාණදුරේ සිට පෞද්ගලික මෝටර් රියකින් පාසලට ගියා. රිය අයිතිකරු නීතිඥවරයෙක්. ඔහු පාණදුරේ සිට අලුත්කඩේ උසාවියට දිනපතා ගියා. මට මතක හැටියට අප දෙදෙනාට ම මාසික රිය ගාස්තුව වුණේ රුපියල් විසිපහක පමණ මුදලක්. එය එකල විශාල මුදලක්. ඒ 1952 දී. දෙවැනි අවුරුද්දේ අප දුම්රියෙන් පාසල් යෑම ඇරඹුවා. දුම්රිය සඳහා එක් අයකුට වාරයකට ගෙවන්න සිදු වුණේ රුපියල් 13ක් පමණ. අප දෙදෙනාට ම වාරයකට ම ගියේ රුපියල් විසිහයක් පමණ.
අප
බොහෝ විට පාසල් ගියේ උදේ 7.30ට පමණ පාණදුරෙන් පිටත් වු සීඝ්‍රගාමී දුම්රියෙන්. එය ගාල්ලෙන් පැමිණි දුම්රියක්. එහි ගමන් කෙළේ වැඩි පුර ම කම්කරුවන් හා ලිපිකරුවන්. ඔවුන් කාඩ් සෙල්ලම් කරමින් දේශපාලනය කතා කරමින් ගමන් ගත්තා. මා දේශපාලනයට හිත ගියේ ඔවුන්ගේ කතාබහට සවන් දීමෙන්. ඔවුන් වාමාංශිකයන් වූ බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. පනස්තුනේ හර්තාලය දිනවල ඔවුන් පුදුම උනන්දුවකින් හිටියෙ. උදේ හතයි තිහට පාණදුරේ දුම්රිය පොළට පැමිණෙන්න ගෙදරින් හතටවත් එන්න ඕන. ඒ හැතැප්ම පමණ අප ගියේ පයින්. ආපසු එන විට නම් ලියෝ මහත්තයගෙ බස්වලින් තමයි ගමන් කෙළේ. ලියෝ මහත්තයා කිවුවෙ එකල පාණදුරේ සිට බදුල්ල දක්වා බස් රිය සේවයක් පවත්වා ගෙන ගිය ලියෝ ප්‍රනාන්දු. ඔහු රොනී ද මැල්ගෙ මාමණ්ඩිය. රොනී පස්සෙ අයවැය සකස් කරන්න කියල ගිය ගීකියන කන්ද වත්ත ලියෝ මහත්තයගෙ.
ඒ කොහොම වෙතත් අම්මාත් තාත්තාත් උදේ පාන්දර නැගිට අපට පාසල් ගෙන යෑමට බත් තැම්බුවා. අප බත් කෑවෙ මාමාගේ කාර්යාලයේ. මාමා එකල සේවය කළ බස්නාහිර පළාතේ අධ්‍යාපන කාර්යාලය පිහිටා තිබුණේ තර්ස්ටන් විදුහල පරිශ්‍රයේ. අම්මාටත් තාත්තාටත් එය දුෂ්කර වෙන්න ඇති. එහෙත් ඔවුන් එය දුකක් ලෙස කිසි දා නොසැලකූ බව මට විශ්වාසයි. ඒ සිංහල පමණක් නොව ආසියාතික දෙමවුපියන්ගේ හැටි. ඇමරිකාවේ සිටින ආසියාතික දෙමවුපියන් තම දරුවන් වෙනුවෙන් ගන්නා මහන්සිය ඔවුන්ගේ කැප කිරීම දැක ගන්න පුළුවන්. ඒ බොහෝ දෙනා ඇමරිකාවට පැමිණ සිටින්නේත් මූලික වශයෙන් තම දරුවන් වෙනුවෙන්.
තර්ස්ටන් විදුහලේ දී මට වෙනසක් දකින්න නොලැබුණෙ ලැබූ අධ්‍යාපනය වෙනස් නොවීම නිසා වෙන්න ඕන. එක් ශ්‍රේණියක පංති හතරක් තිබුණා. පංති තුනක් සිංහල. අනෙක් පංතිය දෙමළ. පංතිවල සිසුන් උදේ සිට සවස් වන තෙක් එකට හිටියෙ. ගුරුවරු පමණක් වෙනස් වුණා. කතාබහ සම්පූර්ණයෙන් ම සිංහලෙන්. ඉංගිරිසි පාඩම විතරයි ඉංගිරිසි වුණෙ. මා ඉංගිරිසි ඉගෙනීමට කිසිම උනන්දුවක් දැක්වූයේ නැහැ. එයට හේතුව කුමක් ද කියා මට හිතාගන්න බැහැ. අම්මටත් තාත්තාටත් එය ප්‍රශ්නයක් වුණ බව නම් මා දන්නවා. ඉංගිරිසි නැතුව සමාජයේ ඉහළට යන්න බැරි බව ඔවුන් දැන සිටියා. ඔවුන් ඉංගිරිසි නොදැනීම නිසා ඇතැම් අවස්ථාවල අමාරුවටත් පත් වුණා. ඒත් මට ඉහළ යෑමේ ආශාවක් තිබුණේ නැහැ. තර්ස්ටන් විදුහලේ අවසන් වසර (පහේ පංතිය) වෙන විට මා ගුරුවරයකු වීමට හිත හදාගෙන හිටියෙ.
තර්ස්ටන් විදුහලේ මා ගත කෙළේ අවුරුදු හතරක් පමණයි. ඉන් අවුරුදු දෙකකම පංති භාර ගුරුතුමිය වූයේ මදුරසිංහ මිස්. ඇය හිතුවේ මා දක්‍ෂ ශිෂ්‍යයකු කියායි. ඇය දිනක් මගේ ඡායාරූපයක් දිනමිණ හරි සිළුමිණ හරි පත්තරේ පළ කිරීමට කටයුතු කර තිබුණේ මගේ දක්‍ෂකම ද විස්තර කරමින්. ඒ පුවත් පත මා ළඟ නැහැ. පස්වැනි පංතියේ දී පංති භාර ගුරුතුමා වූයේ වීරසේකර සර්. දිනක් ඔහු අපෙන් ඇහුවා ලොකු වුණා ම කවුරුන් වෙන්න ද බලාපොරොත්තු වෙන්නෙ කියා. දොස්තරවරුන් ඉංජිනේරුවන් ආදීන් අතර මා පමණක් ගුරුවරයකු වීමට කැමැත්ත පළ කළා. වීරසේකර මහතා සිනහවකින් ඒ පිළිතුර භාර ගත්තා. පසු කලෙක ඔවුන් හමුවීමට නොහැකි වීම ගැන මට ඇත්තේ දැඩි වේදනාවක්. මා ගුණමකුවකු කියා මට හිතෙනවා. ඔවුන් පමණක් නොව වෑකඩ පාසලේ හා රාජකීය විදුහලේ ඉගැන් වූ ඇතැම් ගුරුවරුන් ද මහාචාර්ය මැක්‍රේ ද මා දිනපතා සිහි කරන්නේ ඉමහත් ගෞරවයකින්.
මගේ
පාසල් හා විශ්වවිිද්‍යාල ජීවිතයේ දී මා දක්‍ෂ ශිෂ්‍යයකු ලෙස පිළිගැණුනා. එහෙත් එසේ නොවන බව මා දැන ගත්තේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ දී. මට එකල ඉක්මණින් කියවීමේ හැකියාව තිබුණා. දැන් අවුරුදු තිහකට පමණ ඉහත දී ඒ හැකියාව නැති වුණා. මගේ මතකය ඉතාමත් දුර්වලයි. මට කවි ගාථා කට පාඩම් හිටියේ නැහැ. මට විශ්ලේෂණාත්මක හැකියාවක් නම් තියෙනවා. කරුණු එකතු කිරීමේදීත් මා දුර්වලයෙක්. එහෙත් මට රටා හඳුනා ගන්න පුළුවන්. සමහර විට කිසිම සම්බන්ධයක් නැතැයි සිතන සංසිද්ධිවලත් මට රටා දකින්න පුළුවන්. මට තරමකට වියුක්ත (abstract) ව හිතන්න පුළුවන්. තර්ක කරන්නත් පුළුවන්. එහෙත් තර්කය තර්කානුකූල නොවන බව මා දැන ගත්තේ ඇරිස්ටෝටල්ගෙන්
නොව බුදුහාමුදුරුවන්ගෙන්.