සිංහල බෞද්ධ විරෝධය හා කුලය
දේශපාලනය කරන්නන් දළ වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එයින් කියන්නේ දළ වශයෙන් බව අවධාරණය කරන්න ඕන. ඒ ඒ කොටසෙහි තව තවත් බෙදීම් ගැන කතා කරන්න පුළුවන්. හැමෝම අවසාන වශයෙන් කියන්නේ ඊනියා ජනතාවට සේවය කරන බවයි. කොටස් දෙක දකුණ හා වමයි. සාමාන්‍යයෙන් දකුණේ අය කියන්නේ තිබෙන ක්‍රමයේ ම ඊනියා ජනතාවට සේවය කරන බව. වමේ අය ක්‍රමය වෙනස් කිරීමක් ගැන කතා කරනවා. එහෙත් ක්‍රමය කියන එක ගැන විවිධ මත තියෙනවා. ඉතා ම වමේ අය කියන්නේ ඊනියා ජනතාවට සේවය කිරීමට සමාජයීය විප්ලවයක් අවශ්‍ය බවයි. ඉස්සර නම් ඔවුන්ට වමක් කියල එකක් තිබුණා. දැන් එහෙම නැහැ. දැන් වමේ කියන්නෙ වමක් තියෙනවා ට නො වෙයි. අර ඓතිහාසික ව ප්‍රංශයේ දකුණේ හා වමේ වාඩිවීමක් නිසා ඇති වු කතාවක්. අපි මින්පසු ඔවුන් සියළු දෙනාට වාමාංශිකයන් /වමාලා කියා කියමු.
දක්‍ෂිණාංශිකයන්ටත් ඊනියා ජනතාවගේ ප්‍රශ්න තේරෙනවා. ලෝකයේ හැම රටක ම අසරණයන් දුප්පතුන් ඉන්නවා. ඉන්න හිටින්න තැනක් නැති විශාල ජනකායක් ඇමරිකා එක්සත් ජනපදයේත් ඉන්නවා. ඔවුන්ගේ ප්‍රශ්න විසඳෙන පාටකුත් නැහැ. යුක්‍රේන යුද්ධය නිසා බටහිර රටවලට ප්‍රශ්න වැඩි වෙලා. ඒත් ඔවුන්ට වඩා වැදගත් නැගෙනහිර යුරෝපීය සභ්‍යත්වය (සංස්කෘතීන්) නැති කිරීම හරි දුර්වල කිරීම හරි. මගෙන් ඇහුවොත් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට වඩාත් ම තර්ජනයක් ඇත්තේ කිනම් සංස්කෘතියකින් ද කියා ඒ ථෙරවාද සංස්කෘතිවලින්. ථෙරවාද රටවලට ආර්ථික ශක්තියක් නැහැ. එසේ තිබියදීත් බටහිරයන් ථෙරවාදය තර්ජනයක් ලෙස දකින්නේ එය අදේවවාදී නිසා. ආරම්භයක් ගැන නොකියන රේඛිය නොවන චින්තනයක් ඇති ථෙරවාද සංස්කෘතීන්ට බටහිරයන් ආර්ථික වශයෙන් බය නැහැ. එහෙත් ථෙරවාදය බටහිර සියළු දෘශ්ටිවාදවලට අභියෝගයක් එල්ල කරනවා.
අද
බටහිරයන් යුක්‍රේනයේ යුද්ධ කරන්නේ සූරා කෑම සඳහා තවත් බිම් අඟලක් එකතු කර ගැනීමට නො වෙයි. තම සභ්‍යත්වය යුක්‍රේනයට පැටවීමටයි. ඒ සඳහා ඔවුන් අර්ථික වශයෙන් පාඩු විඳිනවා. ඔවුන්ට වාසියකට ඇත්තේ ලංකාවේ මෙන් ම බොහෝ රටවල මිනිසුන් බටහිර ඊනියා දියුණුවට ඇති කැමැත්තයි. එහි ඇතැයි කියන නිදහසට ඇති කැමැත්තයි. බටහිර රටවලට සංක්‍රමණය වන අය පරම්පරා දෙක තුනකින් ඒ සංස්කෘතීන්ට අවශෝෂණය වෙනවා. එසේ අවශෝෂණය වුණොත් ඒ රටවල දේශපාලන නායකත්වවලටත් පත් වෙන්න පුළුවන්. නැත්නම් ඇති නිදහසක් නැහැ. ඒ අයගේ දේශපාලන අදහස් සමාජයේ සතපහකට ගණන් ගන්නේ නැතුවා නො වෙයි. ඒ අදහස් ඇහෙන්නෙවත් නැහැ.
දක්‍ෂිණාංශිකයන් සමාජයේ පහළ කොටසක් ඉන්නා බව නොදන්නවා නොවෙයි. එහෙත් ඔවුන් විසඳන්න යන්නේ ඉහළ හා මැද පන්තිවල ප්‍රශ්න. වාමාංශිකයන්ට වඩා වැදගත් වන්නේ පහළ හා පහළ මධ්‍යම පංතියේ ප්‍රශ්න. එහෙත් ඒ දෙගොල්ල ම ප්‍රශ්න විසඳන්න යන්නේ බටහිර රාමුවේ. බටහිර රාමුවේ ඒ අයගේ ප්‍රශ්න විසඳන්න බැරි බව බටහිර රටවල දුප්පතුන් දිහා බැලුව ම පේන දෙයක්. ණයට කකා හිටිය ලංකාවට බටහිර රාමුවේ මධ්‍යම පාංතික ආකල්ප ඇති අයගේ ප්‍රශ්න විසඳන්න බැහැ.
අද
අපි ණය ගෙවන්න බැරි බව පිළිගෙන බංකොළොත් හංවඩුව ගසා ගත් රටක්. ඒ බව නිල වශයෙන් පිළිගත්තේ නන්දලාල් වීරසිංහ. ඔහුට කලින් ඊනියා ආර්ථික විද්‍යාඥයන් කිහිප දෙනකු ම කිවුවා ණය ඊනියා ප්‍රතිව්‍යුහගත
කරන්න කියා. අද ඒ අය කෝ. මේ බංකොළොත් කතාව වෙනත් රටක වුවමනාවට කෙරුණක් ද? අද චීනය ණය ගෙවීම කල්දාන්නෙ නැහැ කියා චීන විරෝධත් පවත්වනවා. ඒ කාගෙ වුවමනාවට ද?
එ කෙසේ වෙතත් වාමාංශිකයන් වන අය පහළ පංතිවල ජනයාගේ ප්‍රශ්න ගැන අවධානය යොමු කරනනේ ඇයි? එයටත් දළ වශයෙන් හේතු දෙකක් තියෙනවා. එකක් තිබෙන ක්‍රමයෙන් තමන්ටත් පෞද්ගලික ව ප්‍රශ්න ඇති වීම. දෙවැන්න අනෙක් අයගේ දුක ගැන කම්පා වීම. දෙවැනි ගණයට අයත්වන්නන් ඉන්නේ ටික දෙනයි. පීටර් කෙනමන් වැනි සමහර පැරණි වාමාංශික නායකයන් එයට උදාහරණ. එහෙත් ඇතැම් පැරණි වාමාංශික නායකයන්ට තමන්ට එංගලන්තයේ දී ඇති වූ පිටමං කිරීම එයට හේතු වුණා. ලංකාවෙන් යෑමට පෙර ඔවුන් මාක්ස්වාදීන් නො වෙයි. එකල ඉගෙනීමට එංගලන්තයට ගියේ යමක් කමක් ඇති අයගේ පුතුන්. ඔවුන් සමහර දෙනකුට විශ්වවිිද්‍යාලයේ
දී නැතත් සමාජයේ දී කොන් කිරීම්වලට මුහුණ දෙන්න වුණා. නිවසක් බැලීමට ගිය විට ගෘහිණිය දුඹුූරු හම දුටු විට දොර වැසූ කතා එකල අසන්නට තිබුණා. ඒ අවුරුදු අසුවකට අනුවකට පෙර. ඒ තරුණයන්ට බොහෝ විට අනුකම්පාවක් දැක්වුයේ ඔවුන් මෙන් ම කොන් කිරීම්වලට ලක් වූ යුදෙවුවන් හා වාමාංශිකයන්. ඒ තරුණයන් යුදෙවු තරුණියන් විවාහ කරගත්තේ නම් හෝ වාමාංශිකයන් වූයේ නම් හෝ පුදුම වන්න දෙයක් නැහැ.
අදත්
ලංකාවේ බෙහෝ වාමාංශිකයන් තමන්ට වන අසාධාරණයක් නිසා ක්‍රමය (සමාජය) වෙනස් කරන්න වමට හැරුණු අය. අදත් රටේ කුල ප්‍රශ්නයක් තියෙනවා. නුවර යුගයේ තිව්‍ර වුණු කුල භේදයක් රටේ තියෙනවා. කලින් රටේ තිබූ කුල ක්‍රමය කුල භේදයක් බවට පරිවර්තනය වූයේ නුවර යුගයේ. ගොවිගම කුලය ප්‍රමුඛත්වයට අධිකාරීත්වයට පත් වුණේ නුවර යුගයේ ලන්දේසීන්ගේ ද හවුල් වීමෙන් බව කීමට සාධක තියෙනවා. අද නිළමෙලා වශයෙන් ප්‍රභූ තත්වයකට පත් වී ඇත්තේ එකල දකුණු භාරතයෙන් මෙරටට පැමිණ හොවිගම කුලවැද්දුම ලබාගත් අය. පසු කාලයක සබරගමු රදළ කුලයක් ඇති කිරීමට මුල් වී ඇත්තේ ඉංගිරිසින්.
මේ
අය ලන්දේසි හා ඉංගිරිසි යටත්විජිත සමයේ රාජ්‍යයට කිට්ටු වූ අය. එයට කලින් රාජ්‍යත්වයට කිට්ටුව සිට ඇත්තේ කරාව කුලයේ අය බව කියනවා. රාජ්‍ය නායකත්වය සඳහා කරාව ගොවිගම සටන අදත් යම් ප්‍රමාණයකට හරි තියෙනවා. ගොවි කරා හටන ගැන මෑත ඉතිහාසයේ සඳහන් වෙනවා. 1912 සීමිත මැතිවරණයේ දී කරාව කුලයේ මාකස් ප්‍රනාන්දු පැරදවීමට ගොවිගම ප්‍රභූන් වෙල්ලාල කුලයේ පී රාමනාදන්ට ආධාර කළා. මා හිතන්නේ කරාවේ ඒ පරාජයත් සමග ඊනියා නිදහස් යුගයේ රාජ්‍ය නායකත්වය ගොවිගම කුලය හිමි කර ගත් බවයි.
මා
කලින් දිනයක සඳහන් කළා නිදහස් දිනයේ පාණදුරේ ආතර් වී දියෙස් හෙවත් කොස් මාමා කළු කොඩියක් දැමූ බව. එයට හේතුව කුමක් ද කියා දැන ගැනීමට මට තාත්තා විමසීමට නොහැකි වූ බවත් කියා ඇති. එහෙත් මට පසුව දැන ගන්නට ලැබුණා ඒ මහතා ඩී එස් සේනානායක වැන්නන් සමග අමද්‍යප ව්‍යාපාරයේ සිටි බවත්, ඒ හුදෙක් දේශපාලන වාසි සඳහා බවත් එහෙත් පසුව සේනානායක අමද්‍යප ව්‍යාපාරයෙන් ඇත් වු බවත් නිදහසෙන් පසුව ඩී එස් සේනානායක රාජ්‍ය නායකත්වයට පත් වීම ගැන විරෝධයක් ලෙස කළු කොඩි දැමූ බවත්. මා කියන්නේ නැහැ එය ගොවිගම විරෝධයක් කියා. ඔය කාලය වන විට පාණදුරේ කරාව ප්‍රභූන් එක්සත් ජාතික පක්‍ෂයේ අනුගාමිකයන් වෙලා.
එහෙත්
කුල භේදය නිසා තමන්ට වු අසාධාරණවලට හේතුව සිංහල බෞද්ධ සංස්කෘතිය වශයෙන් සලකන පිරිසක් රටේ බිහි වුණා. ඔවුන් ප්‍රසිද්ධියේ සිංහල බෞද්ධ විරෝධී වුවත් එහි පසුබීමේ ගොවිගම විරෝධයක් තියෙනවා. ඔවුන්ට සිංහල බෞද්ධ සංස්කෘතියේ නායකයන්ට විරුද්ධ වීමට ඇති ක්‍රමය වූණේ ඊනියා වාමාංශිකයන් වීම. ඔවුන්ට සිංහල බෞද්ධ නායකයන් ධනපති පංතිය නියෝජනය කළ අය ලෙස හඳූනාගැනීමට වැඩි කලක් ගත වුණේ නැහැ. අවසානයේ දී එ ජා පක්‍ෂයත් වාමාංශිකයනුත් සිංහල විරෝධි බටහිර සංස්කෘතියේ ඊනියා නිදහස දියුණුව දැනුම අගයන
පිරිසක් බවට පත් වුණා. (මතු සම්බන්ධයි)