අපට මගක් තියෙනවා ද?
හොරණෑව පිඹීමට තවත් අවශ්‍ය නැති වුණත් ඊයේ ලිපියට ප්‍රතිචාර දැක් වූ සැමට පින් දෙන්න ඕන. කුණුහරුප ලියන්නෙ නැතුව අපහාස කරන්නෙ නැතුව ප්‍රතිචාර දැක්වීම ගැන සතුටුයි. මට පෞද්ගලික ව ප්‍රතිචාර දැක් වූ අයත් සිටියා. ප්‍රතිචාරවලින් මා බොහෝ දේ ඉගෙන ගත්තා. බොහෝ ආසියාතික රටවල සොර්ණාවත් දවුලත් ව්‍යප්ත වී ඇති බවත් ඒ හැම තැනක ම වගේ ඒ විවිධ ස්වරූප ගෙන ඇති බවත් දැන ගන්නට ලැබුණා. එමෙන් ම නම ද යම් ප්‍රමාණයකට වෙනස් කෙරී ඇති බවත් කියැවුණා. ලංකාවේ දවුල කියන නම ඒ ලෙසමත් සොර්ණා කියන්න ඉතා සම්ප ව හොරණෑව වී ඇති බවත් පැහැදිලියි.
එයට හේතුව අනුකරණය කියා හිතන්න බැහැ. පස්වැනි සියවසෙන් පසුව නම් යම් අනුකරණයක් තියෙනවා. විසිවැනි සියවසේ අග භාගයෙන් පසු එය උග්‍ර වෙලා. දවුල හා හොරණෑව යක්‍ෂයන් ම මෙහි ගෙන එන්නට ඇතැයි යන්නයි මගේ විශ්වාසය. මෙහි දී ඔවුන් අතින් තවත් දේ සංස්කරණය වන්න ඇති. යක්‍ෂ නාග දේව ආදීන්ට ඉහළ සංස්කරණාත්මක හැකියාවක් තියෙන්න ඇති. නකත් මෙරට නාගයන්ගේ (නක) සංස්කරණයක්. නකත් යන්න නක්‍ෂත්‍ර ලෙස සංස්කෘතයට ගියා මිස සංස්කෘතයෙන් සිංහලට පැමිණි කතාවක් නො වෙයි. නක්‍ෂත්‍ර යන්නට සංස්කෘතයෙන් නිරුක්ති නැති බව මට කිවුවේ මෙරට සංස්කෘත මහාචාර්යවරයෙක්.
දකුණු ඉන්දියාවේ හින්දු සංස්කෘතියේ නාදස්වරම් (නාගසලම්) භාණ්ඩයත් සිදුරු දෙකක් සහිත භාණ්ඩයක් කියා කියනවා. ඔවුන් බොහෝ විට සොර්ණාව වැඩි දියුණු කරන්න ඇති. කර්ණාටක සංගීතයට අවශ්‍ය ආකාරයට එය වර්ධනය කර ගත්තා වෙන්න පුළුවන්. සංගීීතඥයන් විද්වතුන් විද්වතුන් ඊයේ ලිපියට ප්‍රතිචාර දක්වා නැහැ. ඔවුන් මා සමග කිසිම ඇසුරක් පවත්වන්න සූදානම් නැති පිරිසක්. ඔවුන්ට අනුව මා ශාස්ත්‍රීය පුද්ගලයකු නොවෙයි. ඒකෙ ඇත්තකුත් තියෙනවා. මා ශාස්ත්‍රීය අච්චුවේ නො වෙයි.
යක්‍ෂයන් සමහර විට මෙරට බෙර හදා ගත්තා වෙන්න පුළුවන්. යක් බෙරයට එසේ කියන්නේ ඇයි ද කියා කියන්න පුළුවන් ද? බෙර කියන වචනය නම් සංස්කෘත ෙභෙර ශබ්දයෙන් හදා ගත්තත් යක් කියන්න යක්‍ෂ යන්නෙන් හදාගත්ත එකක් වෙන්න බැහැ. ගැට බෙරයත් අපේ ම සංස්කරණයක් ද?
බුද්ධ පූජාවල දී හොරණෑව දවුල වැයීම මගින් කියැවෙන්නේ මෙරට යක්‍ෂ දේව නාග සංස්කෘතීන්ට බුදුදහම අවශෝෂණය වී ඇති ආකාරයයි. මා කියා ඇති එහි ආරාධනයක් ද තියෙනවා කියා. අප දැන් කොහොම වෙතත් දශක තුනකට පමණ ඉහත ඉතාමත් සාමූහික ජාතියක්. අප ගමට පමණක් නොව සක්වළට ම ආරාධනය කරනවා. එහි දී සංකේතාත්මක ව හරි විශාල ශබ්දයක් අවශ්‍ය වෙනවා.
අපේ ම කියා ශාස්ත්‍රීය හරි ශිල්පීය හරි සැකසුම් දකින්න පුළුවන් පස්වැනි සියවසට පෙර. මා නිර්මාණ කියන වචනය යොදා ගැනීමට කැමති නැහැ. මා කලක් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය ලෙස හැඳින් වු සංස්කරණය අද හඳුන්වන්නේ සංස්කරණාත්මක සාපේක්‍ෂතාවාදය ලෙස. ඊනියා නිර්මාණ අපේ වැඩ නොව බ්‍රහ්මන්ගේ දෙවියන් වහන්සේගේ වැඩ. අපට කළ හැක්කේ සැකසුම් පමණයි.
මගේ කණස්සල්ල අප අද සැකසුම් නොකෙරීම ගැනයි. අවශෝෂණත් එතරම් කෙරෙන පාටක් නැහැ. වඩාත් ම කෙරෙන්නේ අනුකරණය. අද ජාතික චින්තනයත් වැඩිම වුණොත් ආරෝපණයක් පමණයි. අනුකරණයත් එක් අතකින් ගෙවන්නෙ නැති ණයක්. අද මුළු ජාතිය ම බලන්නේ ණයට කන්න. රටට මෙතරම් දෙයක් වෙලා තියෙද්දිත් හොයන්නෙ ණය ගන්න පුළුවන් තැන් මොනවා ද කියලා.
මහා ප්‍රාඥයන් කියන අය පාරම්බාන්නෙ තමන් අහවල් බටහිර උගතාගේ බුද්ධිමතාගේ කතා දන්න බව කීමට පමණයි. කුමාරතුංගයන් කිවුවෙ අලුත් අලුත් දැ නොතනන ජාතියකට වෙන දේ. අපේ සායම් බටහිර දැනුමේ ඇතිල්ලීමෙන් පමණක් අපට මර උගුලෙන් ගැලවෙන්න බැහැ. මට ඒ සම්බන්ධයෙන් හැම තිස්සෙ ම මතක් වෙන්නෙ බෞද්ධ කොඩිය ආලේප කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදද්‍යාලෙ බිත්තිය. අපට පුතේ මගක් නැතේ කියල ද ජයවර්ධනපුර හා අනෙක් අනුකාරක විශ්වවිද්‍යාල අපට කියන්නෙ. 1921න් පටන් ගත්තම අවුරුදු සියයකට අධික විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් මෙරට තිබිල තියෙනවා. මොන තරම් උගතුන් පිරිසක් බිහි වෙන්න ඇත් ද? මෙරට විශ්වවිද්‍යාලයකට යන්න බලන් ඉඳලා පය ගහන්න බැරි වුණු අය ඊට හපන්. ඔවුන්ට තවත් හීනමානයක් එකතු වීම පමණයි සිදු වෙලා තියෙන්නෙ.
අපට අද ඉතුරු වෙලා තියෙන්නෙ බෙර දවුල් ගහලා හොරණෑ සක් පිඹලා යකුන්ට එන්න කියල ආරාධනය කිරීම පමණක් ද?