මේ මඩකලපුවේ අවසානය නො වේ
ඊයේ මඩකලපුව ගැන ලිපිය පළ කිරීමෙන් පසු මට අදහසක් ආවා කලෝ කියන්න කෝරළය වෙන්න පුළුවන් ද කියා. කෝරළය කියන වචනය පෘතුගීසීන්ට උච්චාරණය කිරීමට තරමක් අමාරු වචනයක් වෙන්න ඇති. එබැවින් එය කලෝ කියා හරි කරාලෝ කියා හරි පෘතුගීසි උච්චාරණයට සකස්කර ගන්න පුළුවන්. සමහර විට බැතකරාලෝ පසුව බැතකලෝ වෙන්නත් පුළුවන්. එහෙත් මට ප්‍රශ්නයක් වුණෙ එකල එනම් පෘතුගීසීන් මෙරටට පැමිණෙන කාලයෙහි මෙරට කෝරළවලට බෙදීම තිබුණා ද යන්නයි.
මා
ඒ සම්බන්ධයෙන් මිතුරකු සමග කතා කළා. ඔහු එය සොයා බලන්න පොරොන්දු වුණා. ඒ කතාව අවසන් වීමෙන් පසුව මට පණිවුඩයක් ලැබුණා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංගගෙන්. ඔහු අසා තිබුණේ කලො යන්න කෝරළය යන්නෙන් ලැබුණු එකක් විය හැකි ද යන්නයි. මා ඔහුට ක්‍ෂණික ව පණිවුඩයක් යවා අස සිටියා කෝරළය එකල පාලන ක්‍රමයක් ද කියා. ඔහු පිළිතුරක් එවා තිබුණා සබරගමු දෙකෝරළේ තෝම්බුවක් තියෙනවා කියා. පසුව මගේ මිතුරා ද මට දැන්වූවා කෝට්ටේ යුගයේ සන්නස්වල කෝරළය යන්න සඳහන් වන බව.u
මා
හිතන්නේ දැන් පෘතුගීසීන් ලියූ ආකාරයට බැතකලෝ (Batecalou)
යන්න අපට තේරුම් ගන්න පුළුවන් කියා. එය පෘතුගීසි හරි වෙනත් භාෂාවක හරි වචනයක් නො වෙයි. එය සිංහල වචනයක්. ඒ බැතකෝරළය යන්න පෘතුගීසීන් උච්චාරණය කළ අයුරුයි. හරියට කවුරු හරි ගාල්ලට ගෝල් කිවුව වගේ. අප ලෝකයේ අංක එකේ අනුකාරකයන් නිසා ගෝල් කැන්ඩි බැටිකලෝ මේ සියල්ල තාමත් වලංගුයි. ඒ කියන්නෙ අප සිංහල වචන බටහිරයන් උච්චාරණය කළ විධියට උච්චාරණය කරණ එසේ උච්චාරණය කිරීම වැදගත් ක්‍රියාවක් ලෙස සලකන පිරිසක් කියන එක.
ඉන්දියාව ඒ විදේශීය උච්චාරණ අත්හරිනවා. අප ඒවා තව තවත් රකිනවා. ඉන්දියාවට පකිස්තානයට වැදගත් වන්නේ තමන් ජනරජ වූ දින . අපත් ජනරජයක් වුණා. ඒත් අපට වැදගත් අර පෙබරවාරි හතර. අප දැන් ඒ නිදහසේ හැත්තෑපහ සඳහා සූදානම් වෙනවා. කාටද ආඩම්බරේ? එදාට එංගලන්ත රජ පවුලෙන් කාව හරි ගෙන්න ගන්න බැරි ද? අපට ඒ සඳහා ම ජනාධිපති කෙනෙක් ඉන්නවා. ඔහු පෘතුගීසීන් පැමිණීමේ පන්සිය වසර සමරන්න ටයි කෝට් මැදගෙන හිටියෙ. ඒත් ඊට කලින් අගමැතිකම අහිමි වුණා.
පෘතුගීසීන් එන සමයේ බැතකෝරළය කියා කෝරළයක් නිල වශයෙන් නොතිබෙන්න ඇති. එයට නිල වශයෙන් වෙනත් නමක් තියෙන්න ඇති. එහෙත් ඒ පැත්ත බැතකෝරළය, කෝරළ නමින් නූණත්, ලෙස අවුරුදු දහස් ගණනක්, ගැමුණු යුගයේ සිට, පැවත ආ ප්‍රදේශයක්. ජනයා පෘතුගීසීන් එන විට ඒ කෝරළය (ප්‍රදේශය) එනමින් හඳුන්වන්න ඇති. එහි නිල නම හොයාගන්න පුළුවන් නම් වැදගත්.
බැරෝස්ගෙ පොතේ පරිවර්තනයෙ ඒ ප්‍රදේශය හඳුන්වන්නෙ දිස්ත්‍රික්කයක්
ලෙස. එය පැහැදිලිව ම කෝරළයක් පෘතුගීසීන්ට තේරුණු විධිය. කෝරළයක් යන්න අදාළ පෘතුගීසී වචනයෙන් හඳුන්වන්න ඇති. එය ඉංගිරිසියට පරිවර්තනය කෙරී ඇත්තේ දිස්ත්‍රික්කයක්
ලෙස.
කෝරළ
දැන් නම් අභාවයට යමින් පවතිනවා. අපේ කෝරළයත්, රයිගම් කෝරළය, දැන් කළුතර දිස්ත්‍රික්කයට
අයත් කෝරළයක් පමණයි. අපේ අල්ලපු කෝරළයක්, පස්දුන් කෝරළය, ගැන ඒ දවස්වල කතා තිබුණා. රනිල් සම්බන්ධ කරගෙන. ඒ කොහොම වෙතත් රයිගම් කෝරළයේ කෝරළඉම කියා ගමක් තියෙනවා. ඒ කෝරළයේ එක පැත්තක කෙළවර. ගම්සභා කෝරළසභා රටාවක් රටට උචිත වෙන්න ඕන. අද දිස්ත්‍රික්ක පළාත් ආදිය බෙදල තියෙන්නෙ කිසිම පිළිවෙළක් නැතුව ඉංගිරිසින්ගෙ පාලනයට පහසු විධියට. අනුකාරකයන්ට ඒ ක්‍රමය හොඳයි.
මා
මේ ලිපිය ප්‍රතිචාරවලට විවෘත කරනවා. ඒ මේ සම්බන්ධ තවත් තොරතුරු දන්නවා නම් බෙදා හදා ගන්න. මට වඩා මේ කරුණු දන්නා අය රටේ ඕනෑ තරම් ඉන්නවා. ඒත් ඔවුන් මෙටාව (මුහුණුපොත) පරිශීලනය කරනවා ද දන්නෙ නැහැ. අර බැරොස් හා කුටෝ ලියූ ඉතිහාස පොතත් මට ලැබුණේ මෙටා මිතුරකුගෙන්. මා ඔහු පෞද්ගලික ව හඳුනන්නෙ නැහැ. ඒත් ඔහු කළ උදවුවට මා ඔහුට ණයගැතියි. තොරතුරු සැපයූ සපයන සියල්ලන්ට පින්!