Main Logo

Sunday 10 May 2015

මහින්ද කණ්ඩායමට බහුතරය


මහින්ද කණ්ඩායමට බහුතරය

කුරුණෑගල දී පවත්වන ලද රැස්වීමෙන් පසු මෙරට පාර්ලිමේන්තු දේශපාලන බල තුලනයේ වෙනසක් සිදු වී ඇත. ඒ රැස්වීමට ශ්‍රි ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 57 දෙනකු සහභාගි වූ බව ප්‍රකාශ විය. පසුව ඒ මන්ත්‍රීවරුන්ගේ නම් ද ප්‍රසිද්ධියට පත් කෙරිණි. එයට අමතරව රක්‍ෂිත බන්ධනාගාරගත ව සිටින මන්තීවරුන් ද අසනීප ව සිටි මන්ත්‍රිවරුන් ද ගත්කල ශ්‍රී ල නි ප පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය බවට මහින්ද කණ්ඩායම පත් වී ඇත. සංධානය ලෙස ගතහොත් නම් පැහැදිලි ව ම මහින්ද කණ්ඩායම බහුතරය වී අවසන් ය. 


දැන් තවදුරටත් ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද පාර්ලිමේන්තු කණ්ඩායම  සුළුතර මානසිකත්වයකින් වැඩ කළ යුතු නො වේ. විශේෂයෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ තනතුරු දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්ක්‍ෂයෙන් බාහිර පුද්ගලයන්ට හිස නො නැමිය යුතු ය. එ ජා පක්‍ෂය විසින් ශ්‍රී ල නි පක්‍ෂය මෙහෙයවනු ලැබීමට එරෙහි ව ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රීවරුන් නැගී සිටිය යුතු ය. අද ශ්‍රී ල නි පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙන් ම රනිල් වික්‍රමසිංහගේ හා බටහිරයන්ගේ තවත් පක්‍ෂයක් බවට පත් වී ඇත. මෛත්‍රිපාල සිරිසේන වැඩිම වුවහොත් ඉන්දියාවට අවශ්‍ය කටයුතුවල නිරත වෙයි. එහි දී ඔහුට පදනම් ආයතනයේ සහාය ලැබෙයි.

ශී්‍ර ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය හැකි ඉක්මනින් ජෝන් අමරතුංග, රවි කරුණානායක, රිෂාඩ් බදියුද්දීන් යන ඊනියා ඇමතිවරුන්ට හා පික්පොකට් අගමැතිට විරුද්ධව විශ්වාසභංග යෝජනා ගෙන ඒමට පියවර ගත යුතු ය. බදියුද්දීන් විල්පත්තුවේ කර ඇති සිංහල විරෝධී ජාතිවාදී ආගම්වාදී ඉඩම් බෙදීම් ගැන ඔහු වහාම පළවා හැරීමට මහින්ද කණ්ඩායම ක්‍රියාත්මක විය යුතු ය. ජෝන් අමරතුංගට විරුද්ධව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව හමස් පෙට්ටියට ගියේ කෙසේ ද? අද ජෝන් අමරතුංග ආරක්‍ෂා කෙරෙනුයේ නිමල් සිරිපාල ද සිල්වා විසිනි. ඔහු මෛත්‍රිපාල සිරිසේන මහතා සමග අගමැති පොරයක නියැලී සිටි නමුදු දැන් ඒ සියල්ල අමතක කර ජනාධිපති විසින් පත්කරන ලද විරුද්ධ පක්‍ෂ නායකයා ලෙස කටයුතු කරයි. 

මේ තත්ත්වය වහාම වෙනස් විය යුතු ය. දැන් මහින්ද කණ්ඩායම සංධානයේ සංධානයේ බහුතරය වෙයි. තවදුරටත් නිමල් සිරිපාල ද සිල්වා විපක්‍ෂ නායක ලෙස කටයුතු කිරීම විපක්‍ෂයේ යහපත පිණිස නො වේ. පසුගිය දිනවල විපක්‍ෂ නායක පදවිය පිලිබඳ පැවති කතාබහ ජෝන් අමරතුංගට එරෙහිව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව මෙන් ම යටගොස් ඇත. පික්පොකට් අගමැතිවරයාට එරෙහිව ගෙනෙන විශ්වාසභංග යෝජනාවට ද ඒ ප්‍රතිඵලය අත්කර නොදීමට සංධාන පාර්ලිමේන්තු කණ්ඩායම වගබලාගත යුතු ය. 

මේ සියල්ල පිටුපස ඇත්තේ ඔවුන් ආරක්‍ෂා කරන්නේ මෛත්‍රිපාල සිරිසේන ය. ඔහු බටහිරයන්ගේ හා ඉන්දියයන්ගේ අවශ්‍යතාවට තම විධායක ජනාධිපති බලතල හා ශ්‍රී ල නි පක්‍ෂ සභාපතිත්වය යොදා ගනිමින් ඇතැම් ශ්‍රී ල නි පාක්‍ෂික මන්ත්‍රීවරුන්ට බලපෑම් කරන බව පැහැදිලි ය. ශ්‍රී ල නි පක්‍ෂයට ඔහුගේ ජනාධිපතිකම අහෝසි කළ නො හැකි ය. එහෙත් පාර්ලිමේන්තු බල තුලනය වෙනස් වී ඇති බැවින් ඔහුට පටවා ඇති එක් බරකින්, එ නම් ශ්‍රී ල නි පක්‍ෂ සභාපතිත්වයෙන් ඔහු නිදහස් කළ හැකි ය. 

නලින් ද සිල්වා 

2015 මැයි 10