Main Logo

Tuesday 26 May 2015

පාර්ලිමේන්තුව විසුරුවා හැරෙයි (ඉරිදා දිවයින ලිපියකි)

පාර්ලිමේන්තුව විසුරුවා හැරෙයි

අද පවත්වාගෙන යන පික්පොකට් ආණ්ඩුව ඉන්දියාවේ අධාරය මත බටහිර රටවල්, විශේෂයෙන් එංගලන්තය හා ඇමෙරිකාව යන ඇංග්ලො සැක්සන් ප්‍රභේදයේ යුදෙවු ක්‍රිස්තියානි රටවල් විසින් සැලසුම් කර ඇතිකරන ලද්දකි. මෛත්‍රිපාල සිරිසේන මහතා ඊනියා පොදු අපේක්‍ෂකයා වීමට පෙර සිට අද දක්වා ම රනිල් වික්‍රමසිංහලා ක්‍රියාත්මක වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නියෝජිතයන් ලෙස ය. රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විරසකයක් ඇත. බටහිරයන් තමන් නොව රනිල් විශ්වාස කරන බව මෛත්‍රිපාල සංධානයේ නායකයන්ට පවසා ඇත. කෙසේ වෙතත් අවසානයේ දී රනිල් වික්‍රමසිංහ මහතා බටහිරයන්ගේ ද උපකාරයෙන් ජයග්‍රහණය කරයි.


මෛත්‍රිපාල සිරිසේන මහතා අකමැති වුවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහුට සිදු වී ඇත. බටහිරයන්ට ද අවශ්‍ය වන්නේ වහා මැතිවරණයක් පවත්වා ශක්තිමත් එ ජා ප ආණ්ඩුවක් ඊනියා ජාතික ආණ්ඩු ලේබලය යටතේ පිහිටුවීමට ය. අද ආණ්ඩුව පවත්වාගෙන යන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විධායක බලතල යොදාගනිමින් ශ්‍රී ල නි ප මන්ත්‍රීන්ට බලපෑම් කරමිනි. එයට බටහිරයන් ද කැමති නැත. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ශ්‍රී ල නි ප කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ඇත. එහෙත් ඔවුන්ට රටේ ඡන්ද නැත. ශ්‍රි ල නි ප දෙකඩ වී ඇත්තේ උඩින් පමණකි. පහළින් ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ශ්‍රී ල නි ප පමණකි. ශ්‍රී ල නි ප මෙහෙයවනු ලැබෙන්නේ පහළින් මිස උඩින් නොවන බව චන්ද්‍රිකා නෝනා ද දනියි. 

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ලිමේන්තු කණ්ඩායම දියවීම ඇරඹී ඇත. ඇමතිවරුන් ද ඇතුළු කිහිප දෙනකු ආණ්ඩුවෙන් ඉවත්වී ඇත. තව තවත් මෛත්‍රිපාල කණ්ඩායමේ මන්ත්‍රීවරුන් ඉවත්වනු ඇත. ඔවුන්ගෙන් සමහරකු මහින්ද කණ්ඩායමට යෑම වැළැක්විය නො හැකි ය. මෛත්‍රිපාල සිරිසේන මහතාට අද කරන්න දෙයක් නැත. ඔහු බටහිරයන්ගේ බලපෑමට ඊනියා සංහිඳියාවක් ගැන කතා කරයි.  ඔහුටත් රනිල් වික්‍රමසිංහ මහතාටත් බටහිරයන්ටත් කිව යුතු කරුණක් නම් සංහිඳියාව යනු සිංහල බෞද්ධයන්ගේ අයිතිය දෙමළ ජාතිවාදයට පාවාදීම නොවන බව ය. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංහිඳියාව යථා කාලයේ දී ඉතිහාසයේ කුණු කූඩයට එකතු කෙරෙනු ඇත. ඔහුට අවසානයේ දී සහාය දෙනු ඇත්තේ යන එන මං නැති චම්පක රණවක හා වෙල් විදානේ ෆොන්සේකා පමණ ය. 

දෙන්නම් කාසිවලට දහනවයට ඡන්දය දුන් ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානය අද විස්ස සම්මත කර ගැනීමට නොහැකි ව අසරණ වී ඇත. එ ජා පක්‍ෂයට විස්ස අවශ්‍ය නැත. අපට විස්ස අවශ්‍ය ය. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කළ යුතු නො වේ. හැකි නම් කළ යුත්තේ මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීම ය. අද සිංහලයන්ගේ ජන අනුපාතය අනුව මන්ත්‍රින් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ නැත. ඒ වෙනස් කළ යුතු ය. ජාතික ලැයිස්තුවෙන් ඊනියා විද්වතුන් පත්නොවන බව රහසක් නො වේ. කොහොමටත් නව අදහස් ඇති විද්වතුන් ලංකාවේ නැත. ජාතික ලැයිස්තුව යොදා හත යුත්තේ පාර්ලිමේන්තුවේ ජනවාර්ගික අනුපාතය  නිවැරදි කිරීමට ය. ඒ බව ව්‍යවස්ථාවෙන් ම තහවුරු කළ යුතු ය. 

මෛත්‍රිපාල සිරිසේන මහතාට විකල්ප නැත. ඔහුට කළ හැක්කේ බටහිරට අවශ්‍ය දේ පමණකි. ඔහු එය දින එකසිය තිහක පමණ කාලයක දී පන්සිය වාරයක් පමණ පෙන්වා දී ඇත. ඔහු රණවිරුවන්ට නැවත ලංකාවේ උපදින ලෙස ආරාධනා කෙළේ ය. ඒ කුමකට දැයි නො කීවේ ය. ඔහුට අනුව නැවත ඊනියා යුද්ධ ඇති නො වේ. එ ඔහු සංහිඳියාව ඇති කරන බැවිනි. රණවිරුවන් නැවත ඉපදිය යුත්තේ ඔහු සංහිඳියාව ක්‍රියාත්මක කරන ආකාරය නැරඹීමට ද?

ඔහුගේ ඊනියා සංහිඳියාව යනු බටහිර රටවල හා ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි දෙමළ ජාතිවාදයට සිංහල බෞද්ධ උරුමය පාවාදීම ය. පසුගිය දා උතුරේ කොටි කොඩිය ලෙළ දුන් බව මහින්ද රාජපක්‍ෂ මහතා පවසා ඇත. එහි ඡායාරුප ද වෙබ් අඩවිවල පළ වී තිබිණි. මෛත්‍රිපාල සිරිසේන මහතා කියන්නේ බුද්ධි අංශය තමාට එවැන්නක් දන්වා නැති බවත් මහින්ද රාජපක්‍ෂ මහතාට අනෙක් අයට නොපෙනෙන කොඩියක් පෙනී ඇති බවත් ය. ඊනියා ස්වාධීන රූපවාහිනියට අනුව ඒ කදිම පිළිතුරක් විය. ඔවුහු ප්‍රවෘත්ති ප්‍රචාරයට අමතර ව අර්ථකථන ද දෙති.

මහින්ද රාජපක්‍ෂ මහතාට පෙනෙන කොඩි අනෙක් අයට නොපෙනීම පුදුමයක් නො වේ. රනිල් උන්නැහෙට  තොප්පිගල පෙනුණේ වනාන්තරයක් ලෙස ය. රවි කරුණානායකට අලිමංකඩ පෙනුණේ පාමංකඩ ලෙස ය. ලක්‍ෂමන් කිරිඇල්ලට අනුව ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි විය. අද මෛත්‍රිපාල සිරිසේන මහතා සිටින්නේ ඔවුන් සමග ය. ඔවුන්ට සැමරීමට ජයග්‍රහණයක් නොමැති වීම පුදුමයක් නො වේ. මහින්ද රාජපක්‍ෂ මහතාට හොඳින් කොටි කොඩි පෙනුණු නිසා ඒ කොඩි ගලවා සිංහ කොඩිය එසවීමට හැකි විය. කොටි කොඩි නොපෙනෙන්නවුන් අතින් සිංහ කොඩි නො එසවේ. මෛත්‍රිපාල සිරිසේන මහතා උතුරේ ඔසවන සිංහ කොඩියක් නැත. ඔහු දෙමළෙන් ජාතික ගීය ගැයීමට ඉඩ දෙයි. පිරිත් කීමට පැමිණි භික්‍ෂූන් වහන්සේ උසාවියට රැගෙන යයි. ඒ ඔහුගේ සංහිඳියාව ය. කොටි කොඩි නොපෙනුණාට සුදු කොඩි දකින වෙල් විදානෙලා නම් ඔහුට ඇත.  

හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්වයකාරයකු වූ ද වත්මන් උතුරු පළාත් මහා ඇමති වූ ද සී විග්නේස්වරන් මුලතිවූ ප්‍රදේශයේ දී සුමන්තිරන් ද සමගින් දෙමළ ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ හමුදා මෙහෙයුම්වල දී මියගිය අය සිහි කිරීම සඳහා රැස්වීමක් පවත්වා ඇත. එසේ කර ඇත්තේ අධිකරණය මුලතිවු ප්‍රදේශයේ කොටි සංවිධානය සිහි කරන රැස්වීම් පැවැත්වීම් තහනම් කරමින් තහනම් නියෝගයක් පනවා තිබිය දී ය.සුමන්තිරන් කියා තිබුණේ  තමන් තහනම් නියෝගය නොකැඩූ බව ය. එහෙත් අපට එය පිළිගත හැකි ද?  විග්නේස්වරන් හා සුමන්තිරන් නීතිඥයෝ වෙති. ඔවුන් දෙදෙනා ම කොළඹ හැදී වැඩුණු අය වෙති. ඔවුන් හා දෙමළ ජාතික නිදහස් සංධානයේ සාමාජිකයන් නොවන්නට මුලතිවූ ප්‍රදේශයේ එම රැස්වීම පැවැත්වෙනු ඇත් ද? 

මෙය විග්නේස්වරන් ඇතුළු දෙමළ ජාතික සංධානයේ පිරිසක් විසින් සංවිධානය කරන ලද්දකි. එහි දී සිහි කෙරුණේ හමුදා මෙහෙයුම් නිසා මියගිය පොදු පිරිසකි. ඒ පොදු පිරිසෙහි කොටි සංවිධානයට අයත් නොවන්නන් ද සිටින්නට ඇත. එහෙත් එහි කොටි සංවිධානයට අයත් අය ද සිහිපත් කෙරුණු බව රහසක් විය නො හැකි ය. 

කොටි සංවිධානය සිහි කරන රැස්වීමක් යනු කුමක් ද? කොටි සංවිධානයේ සාමාජිකයන් කිහිප දෙනකු වුවත් පොදුවේ සිහිකරන රැස්වීමක් කොටි සංවිධානය සිහි කරන රැස්වීමකි. සංවිධානය සිහි නොකර එහි සාමාජිකයන් පොදුවේ සිහිකළ නො හැකි ය. පොදු දේශපාලන රැස්වීමකට පොදු දේශපාලන අරමුණක් වෙයි. දෙමළ ජාතිවාදයේ අරමුණ සිංහල බෞද්ධ සංස්කෘතිය හා ඉතිහාසය මකා දැමීම ය. එහි දී ඔවුහු බටහිර රටවල් හා ඉන්දියාව විසින් මෙහෙයවනු ලැබෙති. ඔවුන්ට අවශ්‍ය අවසානයේ දී රටේ නීතිය වලංගු නොවන වෙන ම රාජ්‍යයකි.

මුලතිවු රැස්වීම උසාවි නියෝගය නොතකා පවත්වා ඇත්තේ ම රටේ නීතියට අභියෝග කිරීමට ය. රටේ නීතිය උතුරු හා නැගෙනහිර පළාත්වල වලංගු නොවන බව තහවුරු කිරීමට ය. මෙය බරපතළ තත්ත්වයකි. විග්නේස්වරන් හා සුමන්තිරන්ට තමන් නීතිය කඩන බව කීමට තරම් ශක්තියක් නැත. ඒ කොළඹ හැදුණු දෙමළ නායකයන්ගේ ලක්‍ෂණයකි. ඔවුහු නීතියේ කණෙන් රිංගා යැමට සිතති. තමන් තහනම් නියෝගය නොකැඩූ බවත් තමන් හුදෙක් මියගිය අය සිහි කිරීමේ රැස්වීමක් පැවැත්වූ බවත් මේ නිවටයෝ කියති.   ්

එහෙත් ඔවුන් එයින් ලබාදෙන පූර්වාදර්ශය භයානක ය. ප්‍රභාකරන්ලා බිහිවන්නේ මෙවැනි නීති කැඩීම් මගිනි. අද වහාම විග්නේස්වරන්ට සුමන්තිරන්ට විරුද්ධව කටයුතු කළ යුතු ය. ඔවුන් අත් අඩංගුවට ගත යුතු ය. කොළඹට එක් නීතියකුත් මුලතිවු ප්‍රදේශයට තවත් නීතියකුත් තිබිය නො හැකි ය. එසේ තිබේ යැයි සිතන්නට ඉඩ තැබීම ම දෙමළ බෙදුම්වාදයට හිස නැමීමකි. එහෙත් දෙමළ ජාතිවාදයට බටහිරට හා ඉන්දියාවට බියෙන් හමුදා ජයග්‍රහණ සිහි නොකරණ මෙවැනි නිවට ආණ්ඩුවක් විග්නේස්වරන්ලාට විරුද්ධව කිසිවක් කරාවි ද? වහාම මේ දෙමළ ජාතිවාදයට, බටහිරට හා ඉන්දියාවට හිස නමන සුළුතර  ආණ්ඩුව පළවා හැරිය යුතු ය. 

මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ විසිවැනි සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව නො වේ. රනිල් වික්‍රමසිංහ මහතාට විස්ස අවශ්‍ය නො වේ. රනිල් විල්‍රමසිංහ මහතාට අවශ්‍ය නොවන දෙයක් මෛත්‍රිපාල සිරිසේන මහතාට කළ නො හැකි ය. රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය නිමල් සිරිපාල මහතා ද හවුල් කරගනිමින් සිංහල විරෝධී බහුතරයකින් සමන්විත ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ය. මෛත්‍රිපාල සිරිසේන මහතාට ඒ කිරීම හැර වෙනත් විකල්පයක් නැත. 

නලින් ද සිල්වා

2015 මැයි 24