Main Logo

Saturday 30 May 2015

අභ්‍යන්තර පරීක්‍ෂණ අවශ්‍ය නැහැ

අභ්‍යන්තර පරීක්‍ෂණ අවශ්‍ය නැහැ

මෛත්‍රිපාල වැඩ කරන්නේ ගනුදෙනුව අනුව ය. එය සියවසේ ප්‍රධානම ගනුදෙනුව වෙයි. එ ගනුදෙනුව අනුව මෛත්‍රිපාල රනිල්ට අවශ්‍යතාක් මේ පික්පොකට් ආණ්ඩුව පවත්වාගෙන යා යුතු ය. ඒ සඳහා අවශ්‍ය ශ්‍රී ල නි ප මන්ත්‍රීන් සැපයිය යුතු ය. අවශ්‍ය පරිදි ශ්‍රී ල නි ප මන්ත්‍රීන්ට ගර්ජන තර්ජන කළ යුතු ය. ඔවුන්ට දේශපාලන අල්ලස් දිය යුතු ය. විශ්වාසභංග යෝජනා තම විපක්‍ෂ නායකයා ලවා කඩාකප්පල් කළ යුතු ය. 


දෙවනුව ගනුදෙනුවට අනුව ඊනියා සංහිඳියාවක් ඇති කළ යුතු ය. ජාතික කොඩිය වෙනස් කිරීමට කැබිනට්ටුව කමිටුවක් පත්කර ඇත්තේ ඊනියා සංහිඳියාවේ නමිනි. ඇතැම් විට සංහිඳියාවේ නාමයෙන් සිංහයා නැතිවීමට ඉඩ ඇත. ඊනියා යුද්ධයේ සිදු වී යැයි කියන යුද්ධාපරාධ ගැන පරීක්‍ෂණය කිරීම සඳහා අභ්‍යන්තර කමිටුවක් පත්කළ යුතු ය. මෛත්‍රිපාල සිරිසේනට මේ එකක්වත් නොකර සිටිය හැකි ද?

ඔහු ඒ සියල්ල කිරීමට බැඳී ඇත. එසේ නොකළහොත් මහින්ද රාජපක්‍ෂ අගමැති අපේක්‍ෂක ලෙස නම් කිරීම සම්බන්ධයෙන් ඔහුම කියා ඇති  ඔහුගේ බෙල්ල මිරිකනු ඇත. ඒ රනිල් විසින් කෙරේ යැයි අපි විශ්වාස නො කරමු. එහෙත් යම් අයුරකින් මෛත්‍රිපාලට ජනාධිපති තනතුරේ වැඩ කටයුතු කරගෙන යෑමට බැරි වුවහොත් රනිල් ජනාධිපති වනු ඇත. 

ඊනියා යුද්ධයේ අවසාන දින දෙකේ දී එංගලන්ත හා ප්‍රංශ විදේශ ඇමතිවරු මහින්ද රාජපක්‍ෂ හමුවීමට ඇඹිලිපිටියට ගොස් හමුදා මෙයෙහුම් වහාම නතර කිරීමට කීවෝ ය. එහෙත් මහින්ද ඔවුන් ආපසු තම මව්රටවලට ආපසු යැවුවේ ඔවුන්ගේ ඉල්ලීමට අවනත නොවී හොඳ පාඩමක් ඉගැන්වීමෙනි. ඔවුන් ආපසු ගියේ ඉන් එහාට සිදුවන සියල්ල ගැන මහින්ද වගකිවයුතු බවට තර්ජනයක් ද කරමිනි. 

මහින්ද තර්ජනය සතපහකට ගණන් නොගත්තේ ය. ඊනියා යුද්ධය ගැන පරීක්‍ෂණ පැවැත්විය යුතු යැයි අද  බටහිරයෝ කියති. රනිල් දිගට ම බලයේ සිටියහොත් ඊනිය පරීක්‍ෂණය සිදුකර, වරදකරුවන් කර  මහින්දට, ගෝඨභායට හා ඇතැම් රණවිරුවන්ට ජාත්‍යන්තර යැයි කියාගන්නා නඩු විභාගයක දී දඬුවම් නියම කෙරෙනු ඇත. මහින්දගෙන් පළිගැනීමට, ඊනියා රාජපක්‍ෂ රෙජිමය ගෙදර යැවීමට, වඩාත් ම අවභ්‍ය බටහිරයන්ට ය. මෛත්‍රිපාල එහි දී ඒජන්තයකුගේ භූමිකාව මනාව රඟපායි. එහෙත් ඒ රඟපෑම සිංහල බෞද්ධයනට අහිතකර ය. 

බටහිරයන්ට යන දිල්ලියක යැමට යැයි  කීමට මහින්දට හැකිවූවාට මෛත්‍රිපාලට  නො හැකි වනු ඇත. ඔහුට ගනුදෙනුවක් ඇත.  ඒ ගනුදෙනුවට අපේ ස්වෙරෙීභාවය යට කළ යුතු නො වේ. ඊනියා යුද්ධය ගැන පරික්‍ෂණ පැවැත්වීමට ලංකාව බැඳී නැත. කොටින් සමග අපි යුද්ධයක් නො කෙළෙමු. අප කෙළේ හමුදාව මගින් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම ය. 

එය යුද්ධයක් වන්නේ නම් 1971 දී හා 1987 –- 91 කාලයෙහි දී  හමුදාව ජ වි පෙට විරුද්ධව යොදා ගැනීමත් යුද්ධ විය යුතු ය. එවැනි යුද්ධයක් ගැන අප අසාවත් ඇත් ද? අප කොටි ත්‍රස්තවාදය මර්දනය කිරීම ගැන ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණයක් කරන්නේ නම් ජ වි පෙ පරාජය කිරීම සම්බන්ධයෙන් ද එවකට තිබූ නීති උපයෝගී කරගනිමින් හෝ නැතිව හෝ ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණ පැවැත්විය යුතු ය.          

බටහිරයන්ට පරීක්‍ෂණයක් කළ යුතු ම නම්, ඒ වෙනුවෙන් තිස්වසරක ත්‍රස්තවාදය යොදාගත යුත නම්, පුළුවන්  නම් එසේ කරන මෙන් මෛත්‍රිපාලට හා රනිල්ට අභියෝග කරමු. අද කළ යුත්තේ අහිංසක දෙමළ ජනයා මිනිස් පළිහක් මෙන් යොදා ගනිමින් මානව අයිතිවාසිකම් කැඩූ කොටින්ට හා ඔවුන්ට අනුබල දුන් සියල්ලන්ට එරෙහි ව පරීක්‍ෂණයක් පැවැත්වීම ය. 

නලින් ද සිල්වා

2015 මැයි 30