Main Logo

Tuesday 19 May 2015

අපට වෙච්ච දේ (ඉරිදා දිවයින ලිපියකි)



අපට වෙච්ච දේ

අපට වෙච්ච දේ යන්න පියදාස සිරිසේන මහතාගේ කෘතියකි. කිසිවකු පියදාස සිරිසේන මහතාට වෙච්ච දේ යනුවෙන් ලිපියක්වත් ලියා ඇතැයි නො සිතමි. පියදාස සිරිසේන මහතා ගැන අද ඉඳහිට කතා කෙරෙයි. එහෙත් ඔහු තවමත් මෙරට උසස් ගණයේ සාහිත්‍යකරුවකු ලෙස නො පිළිගැනෙයි. බමුණු කුලය බිඳ වැටීම ගැන ලියුවෝ පියදාස සිරිසේන මහතා ද බිඳ වැට්ටවූහ. පියදාස සිරිසේන මහතා බමුණු කුලයට අයත් වී ද? මාර්ටින් වික්‍රමසිංහ  අයත් වූයේ බමුණු කුලයට නො වේ ද? අප ඒ ගැන කතා නොකළ ද සාහිත්‍ය බමුණු කුලයට අයත් වූයේ මාර්ටින් වික්‍රමසිංහ මිස පියදාස සිරිසේන මහතා නො වේ.

මාර්ටින් වික්‍රමසිංහ  බමුණු කුලය ලෙස හැඳින ගත් කුලය බිඳී නැති බව පැහැදිලි ය. ඔහු  ද අධ්‍යාපනය අතින් ගත්කල අයත් වූයේ බමුණු කුලයට ය. ඔහු අගය කළ බටහිර විද්‍යාව අයත්වන්නේ ද බමුණු කුලයට ය. මම අවුරුදු එකොළහේ දී පමණ මාර්ටින් වික්‍රමසිංහ හා පියදාස සිරිසේන මහතුන් දෙදෙනාගේ ම පොත් කියවීමි. අද ඉන් අවුරුදු හැටකට පමණ පසුව රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන හදාරමි. වික්‍රමසිංහලා දෙදෙනා ම බමුණු කුලයේ සාමාජිකයෝ ය. මෛත්‍රිපාල සිරිසේන  බමුණු කුලයට ඇතුල් වූයේ කෙසේ ද? අඩු තරමෙන් සේවය කරන්නේ කෙසේ ද?    

අද ජනාධිපති ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති ය. අගමැති එ ජා පක්‍ෂයේ නායකයා ය. විපක්‍ෂ නායක ශ්‍රී ල නි පක්‍ෂයේ උප සභාපතිවරයෙකි. ශ්‍රී ල නි පක්‍ෂයේ ජ්‍යෙෂ්ට සාමාජිකයෝ කිහිප දෙනෙක් ඇමතිවරු වෙති. පාර්ලිමේන්තු මෙන් ම පළාත් සභා මන්ත්‍රීවරු ද ශ්‍රී ල නි පක්‍ෂයෙන් එ ජා පක්‍ෂයට ද, එ ජා පක්‍ෂයෙන් ශ්‍රී ල නි පක්‍ෂයට ද මාරුවෙති. මෙයින් කියැවෙන්නේ ඒ පක්‍ෂ දෙක අතර වෙනසක් නැති බව ද? 

බණ්ඩාරනායක මහතා 1951 දී ශී්‍ර ල නි පක්‍ෂය පිහිටුවූයේ ලිබරල් පක්‍ෂයක් ලෙස ය. එමෙන් ම එය ඒ මහතා විසින් කලින් පිහිටුවන ලද සිංහල මහා සභාවෙහි දිගුවක් ද විය. එ ජා පක්‍ෂය පිහිටුවනු ලැබුයේ ලංකා ජාතික කොංග්‍රසය, සිංහල මහා සභාව මෙන් ම  ජනවර්ගවාදී සංවිධාන ද වෙනත් සංවිධාන ද එකතුවීමෙනි. මෙරට පළමු ජනවර්ගවාදී සංවිධානය වූයේ 1921 දී පොන්නම්බලම් අරුණාශලම් විසින් පිහිටුවන ලද හින්දු මහා සභාව ය. එහෙත් ඔහු ජාතිවාදියකු ලෙස නො හැඳින්වේ. 

එ ජා පක්‍ෂය ආරම්භයේ සිට ම බටහිර ගැති ධනවාදී දේශපාලන පක්‍ෂයක් විය. එයට මූලික වශයෙන් අවශ්‍ය වූයේ කොංග්‍රසයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යමින් ලංකාවට යම් ආකාරයක දේශපාලන නිදහසක් දිනා ගනිමින් ඉංගිරිසින් වෙනුවෙන් මෙරට සාමාන්‍ය ජනතාව පාලනය කිරීම ය. පක්‍ෂයේ නායකයෝ එංගලන්තයේ රජු මෙරට රජු ලෙස ද පිලිගත්තෝ ය. 1948 දී අපට ලැබුණේ ඩොමීනියන් වර්ගයේ නිදහසකි. හයවැනි ජෝර්ජ් රජු ලංකාවේ ද රජු විය. ඔහු වෙනුවෙන් මෙරට අග්‍රාණ්ඩුකාරයෙක් සිටියේ ය. සොල්බරි සාමි යනුවෙන් හඳුන්වනු ලැබූ අය ද ඔලිවර් ගුණතිලක ද විලියම් ගොපල්ලව මහතා ද මෙරට අග්‍රාණ්ඩුකාරවරු වූහ. 

එ ජා ප නායකයෝ මෙරට ප්‍රභූ පාසල්වලින් බිහිකරනු ලැබූහ. ඔවුහු හා ඔවුන්ගේ සගයෝ බටහිර ඇඳුමෙන් සැරසුණහ. ටයිපටියක් පැළඳ කබායක් ද ඇඳීම සම්ප්‍රදාය විය. ඔවුහු ද සගයෝ ද ගෙදර දී ද ඉංගිරිසියෙන් කතාබහ කළහ. මෙහෙකරුවන් සමග පමණක් සිංහලෙන් කතා කළහ. වසරෙ වැදගත් ම දින වූයේ රාජකීය ශාන්ත තෝමස් (රෝයල් තෝමියන්) ක්‍රිකට් තරගය පැවති දින දෙක ය. අප්‍රේල් නිවාඩුවට ඔවුහු ඉංගිරිසින් අනුගමනය කරමින් නුවරඑළිය බණ්ඩාරවෙළ ආදී නගරවලට ගියහ. අවුරුද්දේ අනෙක් දිනවල කොළඹ රීඩ් මාවතේ පිටියේ තුරග තරගවලට සහභාගි වූ ඔවුහු අප්‍රේල් මාසයේ දී නුවරඑළියේ තුරග තරගවලට ගියහ. 

ඔවුහු ඉංගිරිසි ක්‍රිස්තියානි (ඇංග්ලිකන්) සංස්කෘතියේ හැදී වැඩී මිය ගියහ. ඒ අතර පන්සල් ද ගියහ.  ඔවුන්ගේ පක්‍ෂපාතීත්වය වූයේ එංගලන්තයට ය. ඔවුහු ඉන්දියාව කෙරෙහි සැකයෙන් පසුවූහ. ඔවුහු ත්‍රිකුණාමලේ හා කටුනායක කඳවුරු පවත්වාගෙන යෑම ඉංගිරිසින් ට ම භාර කළහ. නිදහස් ලංකාවේ ඉංගිරිසි කඳවුරු තිබිණි. එයටත් වඩා අපේ මනස් සිරකර තිබිණි. ප්‍රභූ පාසල් යනු ඉංගිරිසි ආධ්‍යාත්මික සිර කඳවුරු විය. බටහිර අධ්‍යාපනය විසින් අපේ සිතුම් පැතුම් හැසිරවිණි. බුදුදහම විද්‍යාත්මක කෙරිණි. අපේ වහල් බවේ සීමාවක් නො වී ය.    

බමුණු කුලය යනු ඉංගිරිසින්ගේ නිර්මාණයක් විය. ඉංගිරිසි අධ්‍යාපනය (සංස්කෘතිය), ඉංගිරිසි ආර්ථිකය හා ඉංගිරිසි  දේශපාලන ව්‍යුහ බමුණු කුලය නිර්මාණය කිරීමේ දී යොදා ගැනිණි. පාසල්, පළමුව විශ්වවිද්‍යාල ආයතනය හා පසුව විශ්වවිද්‍යාල බමුණු කුලයේ තෝතැන්න විය. දහනවවැනි සියවසේ අවසානයේ සිිදු වූ බෞද්ධ පුනර්ජීවනය අංග විකල වූවක් විය. බෞද්ධ පාසල් යනුවෙන් පිහිටුවනු ලැබුයේ බෞද්ධ වර්ණ ආලේප කරනු ලැබූ ක්‍රිස්තියානි පාසල් ය. එහි බෞද්ධ ආලේපයක් තිබූ බව සැබෑ ය. එහෙත් හරය වශයෙන් ගත්කල ඒ ක්‍රිස්තියානි විය.  

සමස්තයක් ලෙස ගත්කල බමුණු කුලය එ ජා පක්‍ෂය විසින් නියෝජනය කෙරිණි. එයින් අදහස් කරන්නේ ඒ පක්‍ෂයට ඡන්දය දුන් සියල්ලන් බමුණු කුලයට අයත් වූ බව නො වේ. ජනතාව විවිධ හේතු නිසා පක්‍ෂවලට බෙදී සිටිති, ඡන්දය දෙති. එක ම පවුලේ සහෝදරයෝ විවිධ පක්‍ෂවල ආධාරකරුවෝ වෙති. එහෙත් ඒ ඒ පක්‍ෂවල ආධාරකරුවන් අතර විශේෂිත ගුණ ද වෙයි. විශේෂයෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයට ඡන්දය දෙන්නන්ට පොදුවේ ගත්කල ජාතිකත්වයක් ඇත. 

අප බොහෝ අවස්ථාවල කියා ඇති පරිදි මෙරට නිදහස් සටනක් ද පෙත්සම් ව්‍යාපාරයක් ද විය. 1815න් පසු නිදහස් සටනට නායකත්වය දුන්නෝ කැප්පෙටිපොළ නිළමේ, විර පුරං අප්පු, ගොංගාලෙගොඩ බණ්ඩා, අනගාරික ධර්මපාලතුමා, භාෂා ප්‍රේමිහු ආදීහු ය. ඔවුන්ට ඇතැම් භික්‍ෂූන් වහන්සේලාගේ ද සහාය ලැබිණි. පෙත්සම් කරුවෝ බමුණු කුලයට අයත් වූහ. ඔවුහු කොංග්‍රසයේ ද පසුව එ ජා පක්‍ෂයේ ද සංවිධානය වූහ. ඔවුන්ගේ පෙත්සම් ව්‍යාපාරය නිදහස් සටනක් ලෙස ඉංගිරිසින් විසින් හැඳින්විණි. ඇතැම් භික්‍ෂූන් වහන්සේ ද, සිංහල වෙදමහත්වරු ද, සිංහල ගුරුවරු ද පෙත්සම් ව්‍යාපාරය සැබෑ නිදහස් සටනක් ලෙස හඳුනාගත්හ. 

සැබෑ නිදහස් සටන යට ගියේ ය. ධර්මපාලතුමාගෙන් පසුව එයට පැහැදිලි නායකත්වයක්  නො වී ය. භාෂා ප්‍රේමීහු විවිධ තැන්වල ගොනු වූහ. ධර්මපාලතුමාට බමුණු කුලයේ ඇත්තෝච පහර පිට පහර ගැසුහ. රනිල් වික්‍රමසිංහගේ මව් පාර්ශ්වයේ හෙවත් විජේවර්ධනලාගේ ලේක්හවුසිය එහි දී විශේෂ කාර්යභාරයක් ඉටු කෙළේ ය. ධර්මපාලතුමාට එරෙහි වූවෝ ඕල්කට් බෞද්ධයෝ ය. පෙත්සම් කරුවෝ හා ඕල්කට් බෞද්ධයෝ එක ම කඳවුරක වූහ. 

බණ්ඩාරනායක මහතා ශ්‍රී ල නි පක්‍ෂ පිහිටුවා ගත්තේ සැබෑ නිදහස් සටන ඉදිරියට ගෙන යෑමට නොව එ ජා පක්‍ෂයට වඩා බටහිර අර්ථයෙන් ලිබරල් වූ පක්‍ෂයක් රටට ගෙන යෑමට ය. එහෙත් සැබෑ නිදහස් සටනේ සිටි අය ශ්‍රී ල නි පක්‍ෂය වටා එක් රොක් වූහ. ඔවුහු ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කළහ. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්තිය බවට  පත් කෙරිණි. සිංහල පමණක් යන්න නිවැරදි ප්‍රතිපත්තිය විය. එයින් කියැවුණේ සිංහලයන්ට හා සිංහල සංස්කෘතියට මෙරට විශේෂ තැනක් හිමි විය යුතු බව ය. ඊනියා බහු සංස්කෘතික බහු බූතය සිංහල පමණක් ප්‍රතිපත්තිය මගින් ප්‍රතික්‍ෂෙප කෙරිණි. එහෙත් ඒ බව සිංහලයන්ට කියා දීමට ඉංගිරිසින්ගේ අධ්‍යාපනයෙන් කිසිවකු බිහිකර නො තිබිණි. 

කෙසේ වෙතත් 1956 දී තවත් පක්‍ෂ කිහිපයක් සමග එකතු වී මහජන එක්සත් පෙරමුණ ගොඩ නැගීමට බණ්ඩාරනායක මහතාට හා ශ්‍රී ල නි පක්‍ෂයට හැකි විය. 1956 දී ම එ පෙ ජයග්‍රහණය කෙළේ ය. එහෙත් බමුණු කුලය බිඳ නො වැටිණි. ජයග්‍රහණයෙන් පසුව මාර්ටින් වික්‍රමසිංහ  බමුණු කුලය බිඳ වැටීම ලිවී ය. ඔහු ජයග්‍රහණයට පෙර ඒ ගැන නො කීවේ ය. ඔහු බමුණු කුලය ලෙස හඳුනාගත්තේ බමුණු කුලයේ පිටපොත්ත පමණකි.  (මතු සම්බන්ධයි)


නලින් ද සිල්වා

2015 මැයි 17