Main Logo

Thursday 21 May 2015

භෞතික විද්‍යාව නොදන්නා ස්කන්ධය (විදුසර ලිපියක සංස්කරණයකි)

භෞතික විද්‍යාව නොදන්නා ස්කන්ධය

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමාට සහායට පැමිණි බෝධි ධනපාල මහතාට මහාචාර්ය පදවියක් දී තිබෙනු අන්තර්ජාල සංසදයක දුටුවෙමි. මා දන්නා තරමින් නම් ධනපාල මහතා ජයවරධනපුර (එකල විද්‍යොදය) විශ්වවිද්‍යාලයේ විෂය කිහිපයක් හදාරා ඇති විද්‍යා උපාධිධාරියෙකි. ඔහු බටහිර විද්‍යාවෙන් පශ්චාත් උපාධියක් ලද්දකු නො වේ. ඔහු අද කැනඩාවේ පාසලක විද්‍යා ගුරුවරයෙකි. ඔහුට අධ්‍යාපන ඩිප්ලෝමා තිබෙනවා විය හැකි ය. එහෙත් ඔහුට ලංකාවේ හෝ කැනඩාවේ හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදවලට අනුව මහාචාර්යවරයකු තබා සාමාන්‍ය ආචාර්යවරයකු (සහකාර මහාචාර්යවරයකු) වීමටවත් නො හැකි ය. 


මා එයින් අදහස් කරන්නේ ලංකාවේ හා කෑනඩාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේද මා විසින් පිළිගනු ලැබෙන බව කීම නො වේ. එහෙත් තත්ත්වය එපරිදි ය. එසේ තිබිය දී මහාචාර්ය අමරතුංග මහතා විසින් ධනපාල මහතා මහාචර්යවරයකු ලෙස හඳුනාගනු ලැබුයේ කෙසේ ද? අමරතුංග මහතා එසේ කියා නොතිබුණත් ඔහු ධනපාල මහතා භෞතිකවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස හඳුනාගෙන ඇතැයි සිතිය හැකි ය. අමරතුංග මහතා  ද දන්ත වෛද්‍ය විද්‍යා පීඨයෙහි මහාචාර්යවරයකු මිස භෞතික විද්‍යා මහාචාර්යවරයකු නො වේ. 

අමරතුංග මහතාට ධනපාල මහතාගේ ලිපිවල ඇති පරස්පර, විකෘති කිරීම් තේරුම් ගැනීමට නො හැකි ය. එයට හේතු දෙකක් වේ යැයි සිතමි.  එකක් අමරතුංග මහතාට ද භෞතික විද්‍යාව නො තේරීම ය. ඔහු හුදෙක් ජනප්‍රිය පෙතපත කියවා එහි අඩංගු කරූණු විදුසර පාඨකයනට සිංහලෙන් කියා දෙන්නෙකි. දෙවැන්න ඔහු ද පරස්පර අදහස් ලියන විකෘති කිරීම්වල නිරතවන්නකු වීම ය.  ධනපාල මහතාට මෙන් ම අමරතුංග මහතාට ද පරස්පර නො තේරෙයි. 

මේ අතර මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා ද ඊනියා විද්‍යා වාද ගැන තරමක දීර්ඝ ලිපියක් ලියා ඇත. මා දන්නා තරමින් ඔහු කොළඹ විභ්වවිද්‍යාලයෙන් ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය හා භෞතික විද්‍යා විෂය හදාරා උපාධියක් ලබාගෙන පසුව ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකින් භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලද්දෙකි. ඔහු කලක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි භෞතික විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස සේවය කර ඇත. පසුව ඔහු රුහුණු විශ්වවිද්‍යාලයෙහි භෞතික විද්‍යාව පිළිබඳ  මහාචාර්යවරයා ද මහනුවර මූලික අධ්‍යයනය පිළිබඳ ආයතනයේ අධ්‍යක්‍ෂවරයා ද විය. අද අමරතුංග මහතා මෙන් ම තෙන්නකෝන් මහතා ද විශ්‍රාමිකයෙකි. තෙන්නකෝන් මහතාගේ විද්‍යා වාද ගැන අපි පසුව කතා කරමු.

මා ඉහත සඳහන් කරුණු ඉදිරිපත් කෙළේ ධනපාල මහතා මා ගැන වැරදි චිත්‍රයක් ඇඳීමට විදුසර පිටු මගින් උත්සාහ ගත් බැවිනි. ඔහු කියා සිටියේ මා විශ්වවිද්‍යාලයෙහි දේශපාලනය කළ අයකු මිස ඉගෙන ගත් අයකු නොවන බව ය. ඔහු මා ආචාර්ය උපාධිය අවුරුදු එකහමාරකින් නිම කිරීම පිළිබඳ අරුම පුදුම කතාවක් ගෙතුවේ ය. ඔහුට කතා ගෙතීමේ ශක්තිය නම් ඇත. ඔහුට අනුව එංගලන්තයේ විශ්වවවිිද්‍යාල වැඩකට නැති ශිෂ්‍යයන්ට උපාධි දී ඉක්මණින් පීිටත්කර හරියි. මට ඉක්මණින් උපාධියක් ලැබී ඇත්තේ ඒ හේතුවෙන් යැයි ධනපාල මහතා කීවේ ය. ධනපාල මහතාගේ තර්කවල ස්වභාවය එයින් ම පැහැදිලි වෙයි. ඔහු තමන්ට අවශ්‍ය දේ කීම සඳහා ඕනෑම පට්ටපල් බොරුවක් නිර්මාණය කරයි. මම දේශපාලනය කළෙමි. අදත් කරමි. ඒ පක්‍ෂ දේශපාලනය ම නො වේ. මේ ලිපි ලියන්නේ ද බටහිර දැනුම් ආධිපත්‍යයෙන් නිදහස් වීමට ය. එය ද දේශපාලනයකි. එහෙත් ධනපාල මහතා කීමට තැත්කළ ආකාරයට මට කිසිවක් දේශපාලනයෙන් ලැබී නැත. මා පීඨාධිපතිවරයකු වූයේ පිඨයෙහි ආචාර්යවරුන්ගේ ඒකච්ඡන්දයෙන් ය. ඒ දේශපාලන පත්වීමක් නො වේ. අවශ්‍ය  නම් යමකුට කිව හැක්කේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයකු වීම දේශපාලන පත්වීමක් බව ය. එහෙත් එයට ලැබුණු දීමනාවක් හෝ වැටුපක් හෝ නො වීය. රැස්වීමකට සහභාගි වුවහොත් පමණක් ගෙවීමක් කෙරිණි. මට විරුද්ධව ගතු කියන ඇතැම් මහාචාර්යවරයකු මෙන් මම මහින්ද රාජපක්‍ෂ මහතා කලකට පෙර තම මෝටර් රථයෙන් ගෙන යෑමේ හිලවුවට තනතුරු ලබා නො ගත්තෙමි.   

ධනපාල මහතාට බටහිර විද්‍යාඥයකු වීම සඳහා සුදුසුකමක් නම් ඇත. පට්ටපල් බොරු නිර්මාණය කිරීමට ඔහුට හැකියාවක් වෙයි. එහෙත් ඔහුට අනෙක් සිංහල බෞද්ධයනට මෙන් ම විශාල අඩුවක් වෙයි. ඔහුට ද වියුක්ත ව සිතන්නට නො හැකි ය. ඔහුගේ පට්ටපල් බොරු සංයුක්ත ය. බටහිර විද්‍යාඥයෝ වියුක්ත (abstract) පට්ටපල් බොරු නිර්මාණය කරති. ධනපාල මහතාට වියුක්තය යන්න අමරතුංග මහතාට මෙන් ම නො තේරෙයි. ඔවුන් දෙදෙනා හෝ තෙන්නකෝන් මහතා හෝ  තමන් වියුක්ත යන්නෙන් අදහස් කරන්නේ කුමක්ව දැයි පැහැදිලි කරන්නේ ද? ඒ තිදෙනාම තම ලිපිවල වියුක්ත සංකල්ප ගැන කතාකරති. ඇතැම් විට අමරතුංග මහතා සිංහලෙන් වියුක්ත යන්න වෙනුවට වැරදියට විවික්ත (discrete) යන්න යොදා ගන්නවා විය හැකි ය. එහෙත් ඔහුට කීමට අවශ්‍ය කුමක් දැයි තේරුම් ගැනීමට එය බාධාවක් නො වේ. එහෙත් ඔහු ද්වෛධය (ද්වෛතය) යන්න යොදා ගන්නා ආකාරය නම් තරමක් පැටළුම් සහගත ය. 

මේ තිදෙනාටත් ධනපාල මහතාගේ ගුරුවරයකු වූ ආචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන  මහතාටත් ප්‍රශ්නය වී ඇත්තේ මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු  යැයි කීම ය. අමරතුංග මහතාට ශිෂ්‍යයන් මගෙන් ගලවා ගැනීමට අවශ්‍ය වී ඇත. ඒ සඳහා ඔහු දැන් දීර්ඝ කාලයක් තිස්සේ විදුසරට ලියයි. ඔහු ලීවත් නැතත් ශිෂ්‍යයෝ බටහිර විද්‍යාව් ඇළී සිටිති. එයට හේතුව බටහිර විද්‍යාවේ ආධිපත්‍යය ය. බටහිර සංස්කෘතික හා දේශපාලන ආධිපත්‍යය ය. අද වෙදමහතාගේ පුතාට ද බටහිර වෛද්‍ය ක්‍රමය ඉගෙනීමට බල කෙරෙයි. එසේ වන්නේ බටහිර වෙදකම ඊනියා සත්‍යයක් වීම නිසා  නොව අප බටහිර සමාජ ආධිපත්‍යයක ජීවත්වන බැවිනි. යම්කිසි ආකාරයකින චීන ජාතිකයන් ලෝක ආධිපත්‍යයක් පිහිටු වී නම් අද අප ශිෂ්‍යයන් ඉගෙන ගන්නේ චීන වෙදකම ය. එහෙත් චීන ජාතිකයන් මැගලන්ට පෙර ලෝකය වටේ ගිය මුත් ඔවුහු ලෝක ආධිපත්‍යයක් නො පිහිටුවූහ. චීනය හා ලංකාව අතර පැරණි යුගයේ සම්බන්ධකම් තිබී ඇත. ඒ ගැන අපි පසුව කතා කරමු. 

අමරතුංග මහතාත් ධනපාල මහතාත් කළ කාර්ය වූයේ මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු බවට දැක්වූ හේතු අනාථ කිරීම නොව මගේ දේශපාලනය, විශ්වවිද්‍යාලවලින් මගේ සේවය ලබානොගැනීම, මගේ නොදැනුවත්කම ආදිය ගැන පට්ටපල් බොරු ගෙතීම ය. ෆෝටෝනයකට ස්කන්ධයක් ඇතැයි මා කොහේවත් කියා නැත. බෝධි ධනපාල මහතා මා එසේ කියා ඇති තැනක් උපුටා දක්වන්නේ ද? මා කර ඇත්තේ ෆෝටෝනයකට ස්කන්ධයක් පැණවීම (නියම කිරීම -– assign ) ය. ඒ නියම කිරීම බූද්ධඝෝෂ හිමියන් ද, ද බෘලී ද (ඔහුගේ නම ප්‍රංශ කාරයන් උච්චාරණය කරන්නේ කෙසේ දැයි මම නො දනිමි. ධනපාල මහතාට ඒ වැදගත් වනු ඇත. ඔහු උගන්වන්නෙ ප්‍රංශ භාෂාවෙන් විය හැකි ය. මට අවශ්‍ය සිංහලයන්ට කරුණු පහදා දීමට ය. සිංහලයන් තබා ඉංගිරිසින්වත් ප්‍රංශ වචන උච්චාරණය කරන්නේ ප්‍රංශ භාෂාව කතාකරන්නන් මෙන් නො වේ. ප්‍රංශයන්වත් ඉංගිරිසින්වත් සිංහල නම් උච්චාරණය කරන්නේ සිංහලයන් ඒ උච්චාරණය කරන ආකාරයට නො වේ. චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතාගේ නම ඉංගිරිසින් උච්චාරණය කරන්නේ    කෙසේ ද?) කර ඇත. බුද්ධඝෝෂ හිමියෝ අත්ථසාලිනියෙහි කාලය යනු පඤ්ඤත්තියක් (පැණවීමක්) බව පැවසූහ.  ද බෘලි අංශුවකට ආයාම දිගක් පැණවූහ.  කරුණු විකෘති කිරීම පිළිබඳ නොබෙල් ත්‍යාගයක් තිබිණි නම් ධනපාල මහතාට එය පළමු අවුරුද්දෙත් අමරතුංග මහතාට දෙවැනි අවුරුද්දේත් හිමිවනු ඇත. අද ප්‍රශ්නය වී ඇත්තේ බටහිර විද්‍යාව ස්කන්ධය යනු කුමක් දැයි නොදැනීම මිස මගේ නොදැනුවත්කමක් නො වේ. 

ෆෝටෝනයකට ශක්තියක් ඇත. ඒ බව කවුරුත් කියති. ඒ ශක්තිය ෆෝටෝන දෙකක් සම්බන්ධයෙන් ගණනය කරන ආකාරය මා උපුටා දක්වා ඇති අන්දමට ටේලර් හා වීලර් ස්පේස් ටයිම් ෆිසික්ස් (Space Time Physics) පොතෙහි ප්‍රකාශ කර ඇත. මේ වීලර් යනු ජෝන් ආචිබෝල්ඩ් වීලර් ය. නොබෙල් ත්‍යාගලාභී කිහිප දෙනකුගේ ම ගුරුවරයකු වූ ඔහු ධනපාල මහතාට වඩා ක්වොන්ටම් භෞතික විද්‍යාව දැන සිටියේ යැයි සිතමි. ධනපාල මහතාට සඵල ආතානකය (effective tensor) හා ආතානකය අතර ඇති වෙනසවත් නො තේරෙයි. සඵල ආතානකයක් යනු ආතානකයක් නො වේ. ඇතැම් කෘතිවල ෆෝටෝනයක ස්කන්ධය සඵල ආතානකයක් ලෙස ලිවිය හැකි බවි කියනු මිස ආතානකයක් ලෙස ලිවිය හැකි බව කියා නැත. ධනපාල මහතාට එවැනි සියුම් කරුණු නො තොරෙයි. ඒ ගැන මා කුමක් කරම් ද? එමෙන් ම ෆෝටෝනයකට ආතානකයක් මගින් නිරූපණය කෙරෙන ස්කන්ධයක් ඇති බව ධනපාල මහතා කියන්නේ ද? ධනපාල මහතාට තමන්ගේ පරස්පර නො තේරෙයි. මා කලින් පෙන්වා දී ඇති පරදදි ඔහු සීනෝගේ විරුද්ධාභසය තේරුම් ගෙන සිටින්නේ ද විරුද්ධාභාස ආකාරයකිනි. ඔහු තම ගැලවීම සඳහා වචනවලින් දමා ගසන්නකු පමණ ය. අනෙක් අතට ධනපාල මහතාගේ ගුරුවරයකු වූ ආචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා උපුටා දක්වා ඇති ආකාරයට ද ඇතැම් අවස්ථාවල ෆෝටෝන ස්කන්ධ ඇති සේ ක්‍රියා කරයි. බටහිර භෞතික විද්‍යාවේ මේ ෆෝටෝනවලට අශුද්ධ ෆෝටෝන යැයි කියන්නේ වෙන කතාවක් ගොතා ගැනීමට බැරි හෙයිනි. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ බටහිර භෞතික විද්‍යාවට ස්කන්ධය යන්න, විශේෂයෙන් ම විකිරණ සම්බන්ධයෙන්, නොතේරෙන බව ය. 

විකිරණවලට ශක්තිය ඇත. එහෙත් එහි අල්ලාගත හැකි (tangible) ද්‍රව්‍යය නැත. බටහිර භෞතික විද්‍යාඥයන්ට ප්‍රශ්නය වී ඇත්තේ ද්‍රව්‍යය නොමැති එහෙත් ශක්තිය ඇති විකිරණවලට ස්කන්ධයක් නියම කිරීම සම්බන්ධයෙනි. විකිරණ ද්‍රව්‍ය මෙන් නොව එකිනෙක පසාරු කර යයි. ඒ ද්‍රව්‍යය නොමැති බැවිනි. එහි අරුමයක් නැත. අපි ඒ බව දනිමු. ජල ධාරා දෙකකට එකිනෙක පසාරු කරගෙන යා නොහැකි නමුත් විකිරණ ධාරා දෙකකට එසේ කළ හැකි ය. විකිරණ සාමාන්‍යයෙන් බිලියඩ් බෝල මෙන් නො හැසිරෙයි. එහෙත් ඇතැම් විට ඒ එලෙස හැසිරෙන බව ද කොම්ප්ටන් ආචරණයෙන් ද කියැවෙයි. වරක් කීර්ති තෙන්නෙකෝන් මහතා ද ෆෝටෝනයක සඵල ස්කන්ධයක් ගැන කතා කරමින් එය hv/c*2 ලෙස හඳුනාගත්තේ ය. බටහිර භෞතික  විද්‍යාවට ස්කන්ධය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැත. ධනපාල මහතාට බටහිර භෞතික විද්‍යාව ආරක්‍ෂා කර ගැනීමේ අවශ්‍යතාව ඇත. එහෙත් ඒ කළ නො හැකි ය. මට ඒ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නැත. නොදැනුම මගේ නොව බටහිර භෞතික විද්‍යාවෙහි ය. මම ෆෝටෝනවලට ස්කන්ධයක් නියම කරමි.    

මට අලුත් අදහසක් තිබේ නම් ඒ ඊනියා විශාරදයන් විසින් සංස්කරණය කෙරෙන බටහිර විද්‍යා සඟරාවකට යැවිය යුතු යැයි ධනපාල මහතා කියයි. මට එවැනි වුවමනාවක් නැත. මා කටයුතු කරන්නේ බටහිර විද්‍යාව වර්ධනය කිරීමට නො වේ. මා එසේ කිරීම නවතා බොහෝ කල් ය. මා දැන් ක්‍රිය කරන්නේ බටහිර විද්‍යාවේ හා පොදුවේ බටහිර දැනුමේ ආධිපත්‍යයෙන් ගැලවීම සඳහා ය. එය දේශපාලනික කටයුත්තකි. බටහිර දැනුම අනුකරණය කරමින් එහි ආධිපත්‍යයට යටවීම ද දේශපාලන කටයුත්තකි. ධනපාල මහතාට වෙනෙකක් තබා අනුකරණය කිරීම යන්නවත් නො තේරෙයි. බැගට්ගේ පොතකින් දත්ත උපුටා දැක්වීම අනුකරණයක් යැයි ඔහු කියයි. බටහිර විද්‍යාව පිළිබඳ දත්ත මා බටහිර ලේඛකයන්ගෙන් උපුටා ගැනීම හැරෙන්නට කළ හැක්කේ කුමක් ද? සිංහල බටහිර විද්‍යාඥයන් යැයි කියන්නන් ඉදිරිපත් කර ඇති අලුත් අදහසක්වත් වේ ද? 

මා කාළාම සූත්‍රය විවේචනය කර ඇතැයි ධනපාල මහතා කියයි. එයත් ඔහුගේ විකෘතියකි. එසේ කර ඇති තැනක් ධනපාල මහතාට උපුටා දැක්විය හැකි ද? කාළාම සූත්‍රයෙහි බටහිර විද්‍යාවක් හෝ බටහිර විද්‍යත්මක විධි ක්‍රමයක් හෝ නැතැයි කීම කාළාම සූත්‍රය විවේචනය කිරීමක් නො වේ. මා කරන්නේ කාළාම සූත්‍රය බටහිර විද්‍යා ආධිපත්‍යයෙන් මුදා ගැනීමකි. හීනමානයක් ඇති ඇතැම් සිංහල බෞද්ධයන් බුදුදහම බටහිර විද්‍යා ආධිපත්‍යයට යටකිරීමට උත්සාහ දැරීම කිසිසේත් ම සමාව දිය හැකි කරුණක් නො වේ. මේ සම්බන්ධයෙන් මා අවුරුදු තිහකට ආසන්න කාලයක් පුරා ලිපි ලියා ඇත.      

ධනපාල මහතාත් අමරතුංග මහතාත් අනිත්‍ය හා අනාත්ම යන්නට තමන් වැනි ඊනියා උගත් සිංහල බෞද්ධයන් දෙන අර්ථකථන දෙති. අනිත්‍ය යන්නෙන් යමක් වෙනස්වීමක් ගැන නො කියැවෙයි. යමක් වෙනස්වීම යනු ඇති දෙයක් වෙනස් වීමකි. ඇති දෙය යන්න ආත්මවාදී ය. අනිත්‍ය යන්න යමක් නොමැතිව කෙරෙන  වෙනස්වීමක් සමග බැඳී ඇත. මා වයසට ගොස් ඇතැයි කී විට මා යනුවෙන් කෙනකු ඇති බව උපකල්පනය කෙරෙයි. මා යන්න බොරුවක් මායාවක් වූ විට වයසට යන්නේ කවු ද? මේ ප්‍රශ්නය අවුරුදු දහසකට ද ඉහත මහාව්හාරික භික්‍ෂූන් වහන්සේ සාකච්ඡා කර ඇත.    

මේ අතර් විදුසරට බටහිර විද්‍යාව වෙනුවෙන් ලිපි සැපයූ කැනඩාවේ ජීවත්වන ආචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා කර ඇති ප්‍රකාශයක් නිවැරදි කිරීමේ අවශ්‍යතාව වෙයි. යක්‍ෂ ගෝත්‍රිකයන් පිළිබඳ මා දන්නා තොරතුරු අනුව ඔවුන් සෙප්පඩ විජ්ජා නමින් හැඳින්වූයේ ග්‍රහලෝක අතර චලනය වැනි කරුණු හැදෑරූ විද්‍යාවට ය. අපේ නැකැත් විසිහතකි. චීන ජාතිකයන්ට නැකැත් (ඔවුහු ඒවාට නැකැත් යැයි නො කීහ. ඔවුන්ට ඒවා මාළිගා (විමාන) විය. ග්‍රහයෝ  මේ එක් විමානයකින් තවත් විමානයකට ගියහ. ) විසිඅටක් විය. පැරණි භාරතීය නක්‍ෂත්‍රය අනුව ද නැකැත් විසිඅටක් විය. අපට නැකැත්  විසිහතක් පමණක් ඇත්තේ ඇයි? නැකැත් භාරතයේ නිර්මාණයක් නො වූ බව නම් පැහැදිලි ය. භරාතයට නැකැත් මෙන් ම රාශි (මේෂ වෘෂභ ආදී) ද ලැබී ඇත්තේ පිටින් ය. රාශි බටහිර ආසියාවෙන් ලැබී ඇත. නැකැත් ලැබුණේ කාගෙන් ද? 

භාරතයට නැකැත් ලැබුණේ ලංකාවේ යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් යැයි මම විශ්වාස කරමි. ඔවුන් ලංකාවෙන් ලැබුණු නැකැත් විසිහතට තබත් එකක් එකතු කර ගත්තා විය හැකි ය. එ  විසඅටවැනි නැකැත ඇත්තේ ග්‍රහවස්තු චලනය වන පොදු තලය යැයි කිවහැකි තලයට පරාබාහිරව ය. විසිඅටවැනි නැකතක් එකතු කර ගැනීමට හේතුව මම නො දනිමි. එහෙත් භාරතයේත් චීනයේත් ඇති නැකැත් විසිඅට ලංකාවේ නැත. නැකැත්වලට සිංහලෙන් ඇති නම් සංස්කෘත භාෂාවෙන් ලබාගත නො හැකි ය. 

ධර්මවර්ධන මහතා මට සමච්චලයට මෙන් නක්‍ෂත්‍රය නාගයන්ගේ ශාස්ත්‍රයක් වීමට නො හැකි දැයි ප්‍රශ්න කර තිබිණි. ඔහුගේ විහිළු තර්කය වූයේ නක්‍ෂස්ත්‍රය යන්න නාක (නාග)යන්ගේ ශාස්ත්‍රය විය නො හැකි ද යන්න ය. ධර්මවර්ධන මහතා ද තර්ක කිරීමේ දී ධනපාල හා අමරතුංග මහතුන් මෙන් ම දුර්වලතාවක් දක්වයි. ඊනියා නක්‍ෂස්ත්‍රය නාගයන්ගේ ශාස්ත්‍රය යැයි සිතමු. එවිට නාගයන්ට තිබී ඇත්තේ මේ ශාස්ත්‍රය පමණක් ද යන ප්‍රශ්නය පැන නගී. නාගයන්ගේ අනෙක් ශාස්ත්‍ර නොමැතිව මේ ශාස්ත්‍රය පමණක් නාග ශාස්ත්‍රය ලෙස හඳුන්වා දී ඇත්තේ ඇයි?

එහෙත් එහි දී වඩා වැදගත්වන තවත් කරුණු වෙයි. මම සංස්කෘත භාෂාව පාසලේදීවත් හදාරා නැත්තෙමි.  එහෙත් සංස්කෘත භාෂා විශාරදයන්ට අනුව නක්‍ෂස්ත්‍ර (එවැනි වචනයක් ඇත්නම්) යන්නෙහි ශස්ත්‍ර යන්නෙන් කියැවෙන්නේ යුද ශිල්පයකි. එය සමහර විට ධනු ලග්නයට නම් ගැලපෙනවා විය හැකි ය. එහෙත් පොදුවේ ග්‍රහවස්තු චලනය සම්බන්ධයෙන් යුද ශිල්පයක් වැදගත් නො වේ. ධර්මවර්ධන මහතා කියන අර්ථය දීමට නම් වචනය නක්‍ෂස්ත්‍ර නොව නක්‍ෂාස්ත්‍ර විය යුතු ය. නාගයන්ගේ ශාස්ත්‍රය යන්න අමාරුවෙන් චුවත් දිය හැක්කේ වචනය නක්‍ෂස්ත්‍ර නොව නක්‍ෂාස්ත්‍ර වුවහොත් ය. 

අමාරුවෙන් නමුත් ධර්මවර්ධන මහතාගේ කතාව (ඔහු ද සංයුක්ත කතාවක් පට්ටපල් බොරුවක් නිර්මාණය කර ඇත) යුක්ති යුක්ත කිරීමට හේතු සොයන විට සංස්කෘත විශාරදයන් අපට කියන්නේ නක්‍ෂස්ත්‍ර නමින් වචනයක් සංස්කෘත භාෂාවෙහි නැති බව ය!  වචනය නක්‍ෂත්‍ර මිස නක්‍ෂස්ත්‍ර හෝ නක්‍ෂාස්ත්‍ර හෝ නො වේ. ධර්මවර්ධන මහතා පාරිභාෂික ශබ්දමාලාවල ද දකිනු ඇත්තේ නක්‍ෂත්‍ර යන වචනය ය. නක්‍ෂත්‍ර යන්නට සංස්කෘත නිරුක්තියක් දිය නො හැකි යැයි සංස්කෘත විශාරදයෝ මා සමග කීහ. නක්‍ෂත්‍ර යන්න නැකැත් යන්න සංස්කෘතියට බිඳී ගිය ආකාරය විය හැකි ය. මේ පිළිබඳ තවත් විස්තර දැන ගැනීමට ධර්මවර්ධන මහතාට අවශ්‍ය නම් ඔහු ලංකාවට පැමිණි විටෙක යක්‍ෂ ගෝත්‍රික උගතුන් මුණගැස්සවිය හැකි ය.

නලින් ද සිල්වා

2015 මැයි 20