Main Logo

Monday 11 May 2015

බන්දුල ජෙනීවා යන්නේ අහවල් දේකට ද?

බන්දුල ජෙනීවා යන්නේ අහවල් දේකට ද?

බන්දුල ගුණවර්ධන ජෙනීවා යන බව පවසා ඇත. මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් රාජ්‍යය යටතේ සිදුවන හිරිහැර ගැහැට පිළිබඳ ව අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිළි කිරීමට තමන් ජෙනීවා යන බව ඔහු පවසා ඇතැයි වාර්තා වෙයි. බැලූ බැල්මට මෙය යහපත් වැඩකි. මහින්ද කණ්ඩායමේ බොහෝ මන්ත්‍රීන් ද ඔවුන්ට සහාය දක්වන ඇතැමුන් ද ඒ අනුමත කිරීමට ඉඩ ඇත. එහෙත් ජෙනීවා යෑමෙන් මහින්ද කණ්ඩායමට ලැබෙන ආරක්‍ෂාව කුමක් ද?


ජෙනීවාහි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ බලය ඇත්තේ කා හට ද? එය ක්‍රියාත්මක වන්නේ කාගේ අවශ්‍යතා වෙනුවෙන් ද? මේ ඊනියා ජාත්‍යන්තර සංවිධාන ගැන අප තවදුරටත් විශ්වාසය තබන්නේ ඇයි? ඊනියා ජාත්‍යන්තර සංවිධාන ක්‍රියාත්මක වන්නේ බටහිර රටවල අවශ්‍යතාව පරිදි ඒ රටවල ආධිපත්‍යය රැකගැනීමට ය. ඔවුන්ගේ මූලික කාර්යය බටහිර ආධිපත්‍යය රැකගැනීම මිස  මෙරට පාර්ලිමේන්තුවේ මහින්ද කණ්ඩායම රැකගැනීම නො වේ. 

අපි පසුගිය කාලයේ ජෙනීවා හි විවිධ සංවිධානවලට අපේ ප්‍රශ්න රැගෙන ගිය අය විවේචනය කෙළෙමු. ඒ අය අපට විරුද්ධව ක්‍රියා කරන්නන් ලෙස හැඳින්වූයෙමු. විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා විවිධ පුද්ගලයන් ජෙනීවා ගියේ අපට යහපතක් කිරීමට නො වේ. ඔවුන්ගෙන් හා ජෙනීවා ඊනියා ජාත්‍යන්තර සංවිධානවලින් අපට සිදු වූ යහපතක් ද නැත. සිදු වූයේ අප තව තවත් ඊනියා ජාත්‍යන්තරය ඉදිරියේ ගැරහීමට හා නින්දාවට පත්වීම ය. 

සමහරවිට බන්දුල ගුණවර්ධන සිතනු ඇත්තේ මේ අවස්ථාව කලින් අවස්ථාවලින් වෙනස් වන බව ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිදුවන අසාධාරණ ගැන පැමිණිලි කිරීමට සුදුසුම තැන ජෙනීවා හි අන්තර් පාර්ලිමේන්තු සංගමය නොවන්නේ දැයි ඔහු ප්‍රශ්න කරනු ඇත. එහෙත් බටහිරයන්ට අවශ්‍ය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් රැකීම නොව තම ලෝක ආධිපත්‍යය රැකීම ය. එහි දී බටහිරයෝ තම මතවාවල ආධිපත්‍යය යොදා ගනිති. බටහිරයන් වචනවලට මුවා වී බන්දුලට ඉහළ ප්‍රතිචාරයක් ලබා දෙනු ඇත. එහෙත් බටහිරයන් රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ යැයි නො කියනු ඇත. එසේ විරුද්ධ යැයි කියා බටහිරයන් මහින්ද රාජපක්‍ෂ බලයට පත්කිරීමට ක්‍රියා කරනු ඇතැයි බන්දුල විශ්වාස කරන්නේ ද?

මා ලංකාව ලෝකයෙන් වෙන් කර අතීතයට ඇදගෙන යන්නකු ලෙස ඇතැමුන් සිතනු ඇත. සමහරවිට බන්දුල ගුණවර්ධන ද ඇත්තේ ඒ මතයෙහි විය හැකි ය. අපට ලෝකයෙන් වෙන්වීමට නො හැකි ය. එහෙත් අප ලෝකය යනුවෙන් බටහිරයන් හැඳීනගෙන ඔවුන්ගේ දැනුමට, උපක්‍රමවලට, වචනවලට, ව්‍යාජ කතාබහට ආදියට රැවටිය යුතු නො වේ. අද අද පත් වී ඇති තත්ත්වයට වගකිවයුත්තේ බටහිරයන් අපට උගන්වා ඇති බොරු ප්‍රජාතන්ත්‍රවාදය, ඊනියා විද්‍යාත්මක චින්තනය ආදිය ය. බන්දුල මා මෙන් නොව උගත් (ආර්ථික) විද්‍යාඥයකු බව මම දනිමි. මට නම් බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය.

බන්දුල ගුණවර්ධන කළ යුත්තේ ජෙනීවා යැම නොව මෙරට ජනතාව කෙරෙහි විශ්වාසය තබා ජනතාවට හැකි තරම් කරුණු ඉදිරිපත් කිරීම ය. එය කරන්නේ කෙසේ දැයි මම නො දනිමි. මම දක්‍ෂ ගුරුවරයෙක් නො වෙමි. එහෙත් බන්දුල දක්‍ෂ ගුරුවරයෙකි. ඔහුට මෙරට අනෙක් අය ඒත්තු ගැන්වීමේ ශක්තිය ඇත. ඔහු ඒ ශක්තිය යොදා ගනිමින් මහින්ද කණ්ඩායමේ ආරක්‍ෂාව මෙරට ජනතාව මගින් ම ලබාගැනීමට කටයුතු කරනු දැකීමට කැමැත්තෙමි. 

නලින් ද සිල්වා

2015 මැයි 11