Main Logo

Wednesday 20 May 2015

මෛත්‍රිපාලට විකල්පයක්

මෛත්‍රිපාලට විකල්පයක්

අද පවත්වාගෙන යන පික්පොකට් ආණ්ඩුව ඉන්දියාවේ අධාරය මත බටහිර රටවල්, විශේෂයෙන් එංගලන්තය හා ඇමෙරිකාව යන ඇංග්ලො සැක්සන් ප්‍රභේදයේ යුදෙවු ක්‍රිස්තියානි රටවල් විසින් සැලසුම් කර ඇතිකරන ලද්දකි. මෛත්‍රිපාල සිරිසේන ඊනියා පොදු අපේක්‍ෂකයා වීමට පෙර සිට අද දක්වා ම රනිල්ලා ක්‍රියාත්මක වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නියෝජිතයන් ලෙස ය. අද රනිල් හා මෛත්‍රිපාල අතර විරසකයක් ඇති වී තිබේ. බටහිරයන් තමන් නොව රනිල් විශ්වාස කරන බව මෛත්‍රිපාල සංධානයේ නායකයන්ට පවසා ඇත. මේ විරසකය අද මතු වී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස රනිල් හා එ ජා ප කරන බලපෑම මත ය.


බටහිරයන්ට ද අවශ්‍ය වන්නේ වහා මැතිවරණයක් පවත්වා ශක්තිමත් එ ජා ප ආණ්ඩුවක් ඊනියා ජාතික ආණ්ඩු ලේබලය යටතේ පිහිටුවීමට ය. අද ආණ්ඩුව පවත්වාගෙන යන්නේ මෛත්‍රිපාලගේ විධායක බලතල යොදාගනිමින් ශ්‍රී ල නි ප මන්ත්‍රීන්ට බලපෑම් කරමිනි. මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි ප කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ඇත. එහෙත් ඔවුන්ට රටේ ඡන්ද නැත. ශ්‍රි ල නි ප දෙකඩ වී ඇත්තේ උඩින් පමණකි. පහළින් ඇත්තේ මහින්දගේ ශ්‍රී ල නි ප පමණකි. ශ්‍රී ල නි ප මෙහෙයවනු ලැබෙන්නේ පහළින් මිස උඩින් නොවන බව චන්ද්‍රිකා ද දනියි. 

මෛත්‍රිපාලගේ පාර්ලිමේන්තු කණ්ඩායම දියවීම ඇරඹී ඇත. ඇමතිවරුන් ද ඇතුළු කිහිප දෙනකු අද හෙට ආණ්ඩුවෙන් ඉවත්වීමට ඉඩ ඇත. මෛත්‍රිපාලට අද කරන්න දෙයක් නැත. ඔහු බටහිරයන්ගේ බලපෑමට ඊනියා සංහිඳියාවක් ගැන කතා කරයි.  ඔහුටත් රනිල්ටත් බටහිරයන්ටත් කිව යුතු කරුණක් නම් සංහිඳියාව යනු සිංහල බෞද්ධයන්ගේ අයිතිය දෙමළ ජාතිවාදයට පාවාදීම නොවන බව ය. මෛත්‍රිපාලගේ සංහිඳියාව ඉතිහාසයේ කුණු කූඩයට එකතු කෙරෙනු ඇත. ඔහුට අවසානයේ දී සහාය දෙනු ඇත්තේ යන එන මං නැති චම්පක හා වෙල් විදානේ පමණ ය. 

දෙන්නම් කාසිවලට දහනවයට ඡන්දය දුන් ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානය අද විස්ස සම්මත කර ගැනීමට නොහැකි ව අසරණ වී ඇත. එ ජා පක්‍ෂයට විස්ස අවශ්‍ය නැත. අපට විස්ස අවශ්‍ය ය. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කළ යුතු නො වේ. හැකි නම් කළ යුත්තේ මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීම ය. අද සිංහලයන්ගේ ජන අනුපාතය අනුව මන්ත්‍රින් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ නැත. ඒ වෙනස් කළ යුතු ය. ජාතික ලැයිස්තුවෙන් ඊනියා විද්වතුන් පත්නොවන බව රහසක් නො වේ. කොහොමටත් නව අදහස් ඇති විද්වතුන් ලංකාවේ නැත. ජාතික ලැයිස්තුව යොදා හත යුත්තේ පාර්ලිමේන්තුවේ ජනවාර්ගික අනුපාතය  නිවැරදි කිරීමට ය. ඒ බව ව්‍යවස්ථාවෙන් ම තහවුරු කළ යුතු ය. 

අද පාර්ලිමේන්තුව විසුරුවා නොහැරිය යුතු යැයි කියන්නේ මෛත්‍රිපාල හා චමිපක ය. වෙල් විදානේට එය එතරම් ප්‍රශ්නයක් නො වේ. ඔහුට අදත් මන්ත්‍රීකමක් නැත. මෛත්‍රිපාලට විස්ස සම්මත කර ගැනීමට අවශ්‍ය නම් ඔහු කළ යුත්තේ ඔහුට ඇති එක ම විකල්පය උරගා බැලීම ය. එය සාර්ථක වේ ද යන්න ප්‍රශ්නයක් වුවත් මෛත්‍රිපාලට වෙන විකල්පයක් නැත. මෛත්‍රිපාලට ව්‍යවස්ථාවට අනුව රනිල් අගමැති ධුරයෙන් අස්කළ හැකි ය. 

කොහොමටත් රනිල් යනු පික්පොකට් අගමැතිවරයෙකි. නියම අගමැති දි මු ජයරත්න ය. රනිල් අස්කර දි මු ජයරත්න අගමැති ධුරයට පත්කර නීති විරෝධී එ ජා ප සුළුතර ආණ්ඩුව වෙනුවට සංධානයේ ආණ්ඩුවක් පිහිටුවීමට මෛත්‍රිපාලට විධායක බලතල ඇත. එසේත් නැත්නම් ජාතික ලැයිස්තුවෙන් මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට පත්කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සුසිල් ප්‍රේමජයන්තට බාධා නොකර මහින්ද අගමැති ලෙස පත්කළ හැකි ය. එසේ කර ලබන අප්‍රේල් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා නොහැර සිටීමට මෛත්‍රිපාලට හැකි ය.  ඒ අතර ඉහත සඳහන් කොන්දේසිවලට යටත් ව විස්ස සම්මත කර ගැනීමට උත්සාහ කළ හැකි ය. එහෙත් ප්‍රශ්නයක් වේ. මෛත්‍රිපාලට බටහිර බලපෑම හමුවේ එවැන්නක් කළ හැකි ද? අඩු තරමෙන් පලිබෝධනාශක රසායන ද්‍රව්‍ය රැගත් කන්ටේනර් නිදහස් නොකිරීමට ඔහුට ශක්තියක් වේ ද? 

නලින් ද සිල්වා  

2015 මැයි 20