Main Logo

Monday 25 May 2015

ජයග්‍රහණයේ අදිටන (ඉරිදා රිවිර ලිපියකි)

ජයග්‍රහණයේ අදිටන

මම සංකල්ප ගැන දැඩි සැලකිල්ලක් දක්වමි. සියළු දැනුම් බොරු (මායා) වුවත් අපට දැනුම නැතිව ජීවත්විය නො හැකි ය. රටකට ද ජාතියකට ද පැවැත්ම සඳහා දැනුම අවශ්‍ය වෙයි. අද අප පාලනය කෙරෙන්නේ බටහිරයන්ගේ දැනුමෙනි. බටහිර දැනුම ද අනෙක් දැනුම් මෙන් ම බොරු ය. බටහිර විද්‍යාව වැනි දැනුම් පට්ටපල් බොරු ය. එසේ කී විට මෙරට ඊනියා විද්‍යාඥයන් (ඔවුන් නව සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ ගොඩ නගා නැත) කුපිත වන බව ද මම දනිමි. 


ඒ කුමක් වුවත් සංකල්ප ගැන සිංහලයන් මෙයට වඩා උනන්දුවක් දක්වන්නේ නම් මැනවි. අපට බටහිර ආධිපත්‍යයෙන් මිදිය හැක්කේ ඔවුන්ගේ දැනුමට විකල්ප දැනුමක් නිර්මාණය කරගැනීමෙන් මිස බටහිර විද්‍යාව ඇතුළු ඔවුන්ගේ දැනුම අනුකරණය කිරීමෙන් නො වේ. අපේ වුව ද දැනුමක් නිර්මාණය කිරීම යනු නිවනෙන් ඈතට යෑමකි. එසේ වුවත් ඒ කළ යුතුව ඇත. අනුන්ගේ නිවන වෙනුවෙන් සුමේධ තාපසයෝ ද වෙනත් බෝධිසත්ත්වයෝ ද තම නිවන අත්හැරියහ. අනෙක් දෑ පමණක් නොව ඇතැම් අවස්ථාවල නිවන ද අත්හැරීමට සිදුවෙයි. 

අප සැමරුවේ යුද ජයග්‍රහණයක් නො වේ. එයට හේතුව මෙරට යුද්ධයක් නො තිබීම ය. අවුරුදු තිහක් තිස්සේ මෙරට පැවතියේ රටවල් දෙකක් අතර යුද්ධයක්වත්, විදේශ ඇමති මංගල සමරවීර කී පරිදි අභ්‍යන්තර සිවිල් යුද්ධයක්වත් නො වේ. විදේශ ඇමතිවරයා වචනයේ පරිසමාපථාරථයෙන් ම විදේශ වෙනුවෙන් පෙනී සිටින ඇමතියෙකි. ඔහු අප රටට එරෙහිව කතාකරයි. අප කොටින්ට විරුද්ධව යුද්ධයක් කෙළේ නම් 1971 දී හා 1987 -92 කාල පරිච්ඡෙදවල ජ වි පෙරමුණට විරුද්ධව ද යුද්ධ කළ බව පිළිගැනීමට සිදුවෙයි.  මා මේ බව අනේක වාරයක් කියා ඇති මුත් කිසිවකු ඒ පිළිගන්නා බවක් කියා නැත. සිවිල් යුද්ධයක් තිබිණි යැයි කීම අනාගතයේ දී දෙමළ ජාතිවාදීන් රට බෙදීම සඳහා යොදා ගනු ඇත.  මංගල සමරවීර ඒ සඳහා පිඹුරුපත් සකසයි.

2005 වන විට මෙරට හමුදා හා කොටින් අතර ඉදිරි ආරක්‍ෂක රේඛා ආදිය තිබුණු බව රහසක් නො වේ. චන්ද්‍රිකා ඊනියා යුද්ධයෙන් 75%ක් දිනා සිටියේ යැයි කීව ද ඇයට ඒ රේඛා ඉවත්කර ගැනීමට නොහැකි විය. ඇතැමුන් ඒ රේඛාවලට වළලු යැයි කියනු මා අසා ඇත. සමහරවිට චන්ද්‍රිකා වළලු තිබෙන්නට හරින්නට ඇත. එකල චන්ද්‍රිකා වළලු නමින් වළලු තිබිණි. වළලු තිබුණා ම මොකදැයි ඇයට සිතෙන්නට ඇත. වළලු තිබුණත් නැතත් ඒ යුද්ධයක් නො වී ය. අපේ හමුදා ක්‍රියාන්විත වූයේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට ය. 

දෙමළ ත්‍රස්තවාදය 1976 දී පමණ ඇරඹිණි (දෙමළ ජාතිවාදය නිල වශයෙන් බෞතීස්ම කෙරුණේ 1833 දී ය). 1990 පමණ වන විට බටහිර දේශපාලනඥයන් හා ඊනියා දේශපාලන විචාරකයන් ගොඩනගා තිබූ දැනුම වූයේ කොටි පරාජය කළ නොහැකි බව ය. ප්‍රභාකරන් අති දක්‍ෂ සෙන්පතියකු බවට ඔහු හා කොටි සංවිධානය අනභිබවනීය බව බටහිරයන් අනුකරණය කරමින් මෙරට පඬියෝ ද කීහ. මෙරට මහා ජනමාධ්‍යවේදියකු ලෙස සැලකෙන මර්වින් සිල්වා ඊනියා ඊළාම් යුද්ධය 1, 2 ආදී වශයෙන් පුහු පණ්ඩිතමානී  වර්ගීකරණයක් පසුකාලීන ව කර තිබිණි. 

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ උපදේශකත්වයෙන් තිලක් කරුණාරත්න මහතාගේ ධන වියදමෙන් ලක්මිණ පුවත්පත පළමු සිංහල ටැබ්ලොයිඩ් පුවත්පත ලෙස ඇරඹුණේ අනුවේ දශකයේ මුල ය. ගෙවිඳු කුමාරතුංග හා රොහාන් සිල්වා එහි දී විශාල වැඩකොටසක් කළහ. මම පුවත්පතෙහි නිල නොලත් කතුවරයා වීමි. ආරම්භයේ සිට ම අපි කොටින් පරාජය කළ හැකි ය, පරාජය කළ යුතු ය යන මතය දැරීමු. ඒ මතය ඉදිරියට ගෙනයෑම පසු කලෙක නාථ දෙවියන්, ආසනික්, වකුගඩු රෝගයට හේතුව, කෘෂිරසායන ගොවිතැනෙන් ඉවත් කිරීම (ඒ සම්බන්ධයෙන් අපට පෙර බොහෝ අය කතාකර තිබිණි), බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය, බුදුදහම විද්‍යාත්මක නො වේ, ෆෝටෝනවලට ස්කන්ධ නියම කිරීම (පැණවීම), බුදුදහම දැනුම් පද්ධතියක් නො වේ, යක්‍ෂ බෞද්ධ සංස්කෘතිය ආදිය ඉදිරියට ගෙන යෑමට වඩා අසීරු කරුණක් විය. සියල්ලෝ ම පාහේ අපට විරුද්ධ වූහ. ඔවුහු එක් පැත්තකින් මානව හිතවාදී චූහ. ඔවුහු ඊනියා යුද්ධයට විරුද්ධ වූහ. අනෙක් පැත්තෙන් ඔවුහු බටහිර මතයට, එනම් කොටි අනභිබවනීය බවට විරුද්ධව කතාකිරීමට අපට ඇති සුදුසුකම් ප්‍රශ්න කළහ. අපි ඊනියා දේශපාලන විද්‍යාඥයෝ හෝ විශ්ලේෂකයෝ හෝ නො වීමු.     

අප කෙළේ ජනමතය ජනමාධ්‍යවලට ගෙන ඒම පමණ ය. 2005න් පසු එය දේශපාලනඥයන් අතර ද ඒ මතය යම් ප්‍රමාණයකට සාකච්ඡා විණි. අවසානයේ දී මහින්ද රාජපක්‍ෂ මහතා සියලු අභියෝගවලට මුහුණ දී කොටින් පැරදවීමට දේශපාලන නායකත්වය දීමට ඉදිරිපත් විය. ගෝඨභය රාජපක්‍ෂ මහතා සැලසුම් ඉදිරිපත් කෙළේ ය. රණ විරුවෝ දිවි හිමියෙන් කොටි පැරදවීමට කටයුතු කළහ. මෙහි දී නොකියාම බැරි කරුණක් නම් කොටින් පරාජය කිරීමට දෙවියන්ගේ ද සහාය ලැබුණු බව ය. ඒ බව අපි ඒ දිනවල ම කීවෙමු. පඬියන් අපට සිනහසෙනු ඇත. එහෙත් පඬියන්ගේ ලෝකයේ ද දෙවියෝ (ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප) සිටිති. රණවිරුවන්ට හා රණවිරු වැන්දඹුවනට, ඔවුන්ගේ දරුවනට මෙයට වඩා සැලකිය යුතු ය.  රණවිරුවන් දිවි හිමියෙන් ක්‍රියා කෙළේ අප වෙනුවෙනි, රට ජාතිය වෙනුවෙනි. අද අපි වෙනුවෙන් අපි පාඨය නිර්මාණය කළ අයට විරුද්ධව මෙරට කොටි නාලිකාව දැඩි ප්‍රහාරයක් ගෙන යයි.

රනිල් වික්‍රමසිංහ මහතා පෙනී සිටින්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව ය. ඔහුගේ පියා ඇංග්ල්කන් ක්‍රිස්තු භක්තිකයෙක් විය. බාප්පා ඇංග්ලිකන් බිෂොප්චරයෙක් විය. කෙනත් ප්‍රනාන්දු නම් ඇංග්ලිකන් බිෂොප්වරයා ප්‍රභාකරන් මානුෂික පුද්ගලයකු ලෙස හැඳින්වූයේ අරංතලාවේ භික්‍ෂු ඝාතනයට, දළදා මාළිගාවට පහරදීමට, ශ්‍රී මහා බෝධිය අසළ මිනීමැරුම්වලට පසුව ය. රනිල් වික්‍රමසිංහ මහතාගේ මව් පර්ශ්වය බෞද්ධ වුවත් ඔවුන්ට අයිති ව තිබූ ලේක්හවුසියේ පුවත්පත්වලින් ධර්මපාලතුමාට රටෙන් පිට ව යන තුරුම පහර දුන්නේ ය. මෛත්‍රිපාල සිරිසේන මහතා අගමැතිකම නොලැබීම හේතුවෙන් ඒ කෑදරකමෙන් මත් වී පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීමට බටහිරයන්ගේ සිරකරුවකු වී සිංහල බෞද්ධ සංස්කෘතිය පාවා දීමට සූදානම් ය. මේ දෙදෙනාට විරුද්ධව සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් වූවන් එකතු විය යුතු ය. මා සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් වූවන් ලෙස සලකන්නේ සිංහල බෞද්ධයන් නො වේ. හසලක වීරයාගේ පිළිරුව ඉවත්කිරීමට කතාකරන දඹර අමිල හිමියන් වැන්නෝ සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් නො වෙති. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් කතෝලික පූජකවරු ද දෙමළ හා මුස්ලිම් ජනයා ද සිටිති. 

බටහිරයන් ඊනියා යුද අපරාධ ගැන සංහිඳියාවක් ගැන කතා කරන්නේ ද තම අභිලාෂය වෙනුවෙනි. සංහිඳියාව ඇතිකිරීම යනු දෙමළ ජාතිවාදයට සිංහල බෞද්ධ උරුමය පාවා දීම නො වේ.  ආණ්ඩුව ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණයක් ගැන එකඟ වී ඇත්තේ ද බටහිර අභිලාෂ වෙනුවෙනි. මිළඟට මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් පත්වන සංධාන ආණ්ඩුව මේ ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණ අහෝසි කරන බවට මැතිවරණයේ දී පොරොන්දුවක් දිය යුතු ය. එපමණක් නොව කොටින් අහිංසක දෙමළ ජනයා මිනිස් පළිහක් ලෙස යොදාගැනීම සම්බන්ධ පරීක්‍ෂණයක් පවත්වා එයට හවුල් වී ඇති ජීවත්ව සිටින සියල්ලන්ට තදබල දඬුවම් පැණවිය යුතු ය. අරංතලාව ඝාතන ආදිය බෝම්බ පිපිරවීම් ගැන කොටින්ට උපකාර කළ සොල්හයි්ම් ලා ද ඇතුළු  සියලු දෙනා ගැන විධිමත් පරීක්‍ෂණ ආරම්භ කළ යුතු ය. 

මිය ගිය කොටින් වෙනුවෙන් පොදු සැමරුම් උත්සව පැවැත්වීමට කටයුතු කළ විග්නේස්වරන්ලා රටේ ඒකීය භාවයට විරුද්ධ වෙති, රටේ ස්වෛරීභාවයට විරුද්ධ වෙති, ජාතික නිදහස බිල්ලට දෙති. එවැනි සැමරුම්වලට ඉඩ දුන් ආණ්ඩුවක් ද අවසාන වශයෙන් ගත්කල පෙනී සිටින්නේ රටට විරුද්ධව ය, රට දෙකඩ කිරීමට ය. මිය ගිය තම පුතා හෝ සැමියා හෝ වෙනුවෙන් පෞද්ගලික ව කෝවිලකට ගොස් දෙවියන් යැදීමට ඉඩ නොදිය යුතු යැයි අපි නො කියමු. එහෙත් ඒ සියල්ල පෞද්ගලික සැමරුම් පමණක් විය යුතු ය. ඒ කිසි විටෙකත් පොදු සැමරුම් බවට පත් නො විය යුතු ය.  

දෙමළ ජාතිවාදීන් ඉදිරියේ නිවට වූ ආණ්ඩුවකට පැවැත්මක් තිබිය යුතු නො වේ. මෛත්‍රිපාල සිරිසේන මහතා අවසානයේ දී බලපෑම්වලට යට වී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර ඇත. අප මැතිවරණය යොදාගත යුත්තේ  නීති විරෝධී සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුව ගෙදර යැවීමට ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ මුත් දෙමළ බෙදුම්වාදය හා දෙමළ ජාතිවාදය තවමත් ක්‍රියාත්මක වෙයි. එය ද පරාජය කිරීමට මේ සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුව පරාජය කර සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්‍ෂා කරන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අදිටන් කර ගනිමු. 

නලින් ද සිල්වා

2015 මැයි 24