Main Logo

Wednesday 6 May 2015

සිංහලයන්ට නායකයකු නැද්ද?

සිංහලයන්ට නායකයකු නැද්ද?

අද පැවැත්තෙන මහින්ද මෛත්‍රිපාල හමුවත් සමග සිංහලයන්ගේ දේශපාලනයෙහි තවත් යුගයක් අවසන් වනු ඇත. ඇතැම් විට ඒ සිංහලයන්ගේ ඉතිහාසයෙහි යුගයක අවසානය ද විය හැකි ය. සිංහලයන්ට අද නායකයකු නැති තත්ත්වයකට පත් වී ඇත. මහින්ද රාජපක්‍ෂ ඵලදායී (සඵල) දේශපාලනයෙන් ඉවත් වීමට ද ඉඩ ඇත. මෛත්‍රිපාල සිරිසේන බටහිරයන් සමග යම් සම්මුතියකට එළඹී ඇත. එය රනිල් ඇතිව හෝ නැතිව හෝ ක්‍රියාත්මක වනු ඇත. කොටින් පරාජය කළ යුතුව තිබූ බව ජෝන් කෙරී පවසා ඇත්තේ නිකමට විය නො හැකි ය. 


අවාසනාවකට මට නොලියා සිටීමට නො හැකි ය. එබැවින් තවදුරටත් කාලයටත් ඉරිදා රිවිරටත් වෙබ් අඩවිවලටත් ලියමි. ඉරිදා දිවයිනට ලිවීම ශ්‍රමය නාස්තියක් යැයි සිතෙන්නේ ඔවුන් පළකරන්නේ ඔවුන්ට අවශ්‍ය ලිපි පමණක් වීම හේතුවෙනි. එහෙත් ඒ කිසිදු ලිවීමකින් ඵලක් නොවන බව දනිමි. අවුරුදු තිහකට අධික කාලයක් ලිවීමේ ශේෂ පත්‍රය අනුව මම ජාතිද්‍රෝහියෙක්මි. විඥානවාදියෙක්මි. මිථ්‍යා මත වපුරවන්නෙක්මි. නොපෙනෙන දෙවියන්ගෙන් පේන අසන්නෙක්මි. සමාජයට අහිතකර පුද්ගලයෙක්මි. ථෙරවාදයට විරුද්ධ වූවෙක්මි. සමාජයීය දියුණුවට බාධා කරන පසුගාමී චින්තනයක් සහිත ලිංමැඩියෙක්මි. බොහෝ දෙනාට අවශ්‍ය මා නොලියා සිටිනු දැකීමට ය. එහෙත් මට එය තවමත් ඉටු කිරීමට නො හැකි ය.

මහින්ද යම් ප්‍රමාණයකට සිංහලයන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියා කළේ ය. ඔහු දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන්නේ ය. ඔහු එතැනට තල්ලූ වූ බව සත්‍යයකි. ඒ පොදු සිංහල මතයට ඇහුම්කන් දීමෙනි. අප කෙළේ පොදු සිංහල මතය කරළියට ගෙන ඒම පමණකි. එහෙත් එය කළ හැකි බව ද අපි දැනගෙන සිටියෙමු. මහින්ද හැරෙන්නට වෙනත් අයකු දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය නොදීමට ඉඩ තිබිණි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ හැකි බව අප කියා සිටින්නේ අනූවේ දශකයේ සිට ය. එදා විමල් වීරවංශ, ගුණදාස අමරසේකර, චම්පක රණවක ආදීහු අපත් සමග නො සිටියහ.  

දහතුන්වැනි සංශෝධනයට විරුද්ධව ද අපි ක්‍රියා කෙළෙමු. අනුවේ දශකයේ මුල පැකේජයට විරුද්ධව කළුතර සිට කතරගමට පාගමන් සංවිධානය කෙළෙමු. කැලණියේ සිට කතරගමට රිය පෙරහැර සංවිධානය කෙළෙමු. එහි දී අප සමග කටයුතු කෙළේ බෙංගමුවේ නාලක හිමියන් හා ඕමාරේ කස්සප හිමියන් පමණක් බව කෘතවේදීව සඳහන් කළ යුතු ය. ඒ හිමිවරුන් සමග චින්තන පර්ෂය රට පුරා සම්මන්ත්‍රණ රැස්වීම් පැවැත්වූ බව අද බොහෝ දෙනාට අමතක වී ඇත. කෙසේ වෙතත් පැකේජය පරාජය කිරීමට ජාතික ව්‍යාපාරයට හැකි විය. එහෙත් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉතිරි විය.  

දහතුන ඉවත් කිරීමට නම් පළමුවෙන් දෙමළ ජනයාට අසාධාරණයක් වී නැත යන මතය තහචුරු කළ යුතු ය. දහතුන නිසා රට බෙදේය යන්න තර්කයෙන් පමණක් පෙන්විය නො හැකි ය. දෙමළ ජනයාට අසාධාරණයක් වී ඇත්නම් වෙන ම රාජ්‍යයක් ඇති කිරීම හැර විකල්පයක් නැත්නම් දහතුන අවශ්‍ය යැයි කියන අය පරාජය කළ හැක්කේ දෙමළ ජනයාට අසාධාරණයක් වී නැත යන්න සිංහලයන් අතර තහවුරු කිරීමෙනි. එහෙත් අප කෙතෙක් උත්සාහ කළත් ඒ කිරීමට නොහැකි වී ඇත. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් ද යන ප්‍රශ්නය අවුරුදු විසිපහකට අධික කාලයක් අසා ඇති නමුත් ඒ සමග වෙනත් කරුණු අතර මෙරට දෙමළ ජාතිවාදයක් දේශපාලනික ව අඩුම තරමෙන් 1833 සිට ඇති බව පෙන්වා දී ඇති නමුත් සියළු සංස්කෘතීන් සමාන යන අරූතින් මෙරට ඊනියා බහු සංස්කෘතික රටක් නොවන බවත් සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බව පිළිගත යුතු බව පෙන්වා දී ඇති නමුත් දෙමළ ජනයාට ඊනියා ප්‍රශ්නයක් තිබුණත් උතුරට හා නැගෙනහිරට පමණක් බලය බෙදීමෙන් අනෙක් පළාත්වල සිටින දෙමළ ජනයාගේ ඇතැයි කියන ප්‍රශ්නය විසඳන්නේ කෙසේ ද යන ප්‍රශ්නය අසා ඇති නමුත් ඒ එකක්වත් සිංහල සමාජය විසින් පිළිගැනී නැත. මේ සියල්ලටත් වඩා අප පරාජය වන්නේ බටහිර දැනුම නිසා ය යන්න උගත් සිංහලයන් කිසි දිනෙක නො පිළිගනු ඇත. අශෝකගේ සංස්කෘතික ආක්‍රමණයක් ගැන කතාකරන්නකුට සිංහල බෞද්ධ සමාජයෙහි කිසිදු ඉඩක් තිබිය හැකි නො වේ. සිංහලයෝ, විශේෂයෙන් ම උගත්තු අපට සවන් නො දෙති. එසේ තිබියදීත් අපේ කරුමය අපට නොලියා සිටීමට නොහැකි වීම ය. 

අසූවේ අගභාගයේ හා අනූවේ දශකයේ මෙරට ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් විය. එහෙත් විසිවැනි සියවසේ අගභාගය වන විට ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණයට ලක් කෙරිණි. පළමුව චම්පක රණවකත් පසුව විමල් වීරවංශත් එකී දේශපාලනීකරණයෙහි දී මූලික ව කටයුතු කළහ. දේශපාලනීකරණයට ලක් වූ ජාතික ව්‍යාපාරය මහින්ද තම අතට ගත්තේ ය. ඉන් පසු ජාතික ව්‍යාපාරයට හිස එසවීමට නො හැකි විය. අවාසනාවකට සියල්ල මහින්ද කේන්ද්‍රීය ව ගොඩ නැගී ඇත. සිංහලයන්ට වෙනත් නායකයකු පෙනෙන තෙක් මානයක නැත. තම තමන් නායකයන් බව ඒත්තු ගැන්වීමට අදහස් කරන අය පෞද්ගලික න්‍යාය පත්‍ර උඩ ක්‍රියා කරති.

මහින්ද මෛත්‍රිපාල හමුවේ ප්‍රතිඵල සියල්ල අපට දැනගැනීමට නො හැකි වනු ඇත. එහි දී මහින්ද පිළට ජී එල් පීරිස් හා ඩලස් අලහප්පෙරුම අයත්වනු ඇතැයි කියැවෙයි. මේ දෙදෙනාගෙන් එක් අයකුවත් මහින්දගේ ජනවාරි අටවැනි දා පරාජයෙන් මසක් පමණ වන තුරු සොයා ගැනීමටවත් නොහැකි වූ බව මහින්ද දනියි. එහෙත් ඔවුහු අද මහින්ද සමග වැදගත් සාකච්ඡාවකට සහභාගි වෙති.   

මෙරට දේශපාලනය ඉදිරි සති කිහිපයෙහි තීරණය වනු ඇත. මෛත්‍රිපාල දහනවය සම්මත වීමෙන් පසු ශක්තිමත් වී ඇති බව අමතක නොකළ යුතු ය. දහනවය පරාජය කිරීමට මහින්ද නායකත්වය නොදීම රටට ම බලපාන කරුමයක් වී ඇත.


නලින් ද සිල්වා

2015 මැයි 06