විද්‍යා සම්බන්ධ විශේෂ අධිකරණයක්
සමූහ දූෂණයකට ලක්ව ඝාතනය කරනු ලැබූ කයිට්ස්හි විද්‍යා දැරිය සම්බන්ධයෙන් නඩුව විශේෂ අධිකරණයකට යොමු කරන බව මෛත්‍රිපාල සිරිසේන යාපනයේ දී පවසා ඇත. බැලූ බැල්මට එය යහපත් ක්‍රියාවකි. මහත් ආන්දෝලනයකට ලක් වී ඇති මේ නඩුව විශේෂ අධිකරණයකට යොමු කිරීම වැදගත් යැයි බොහෝ දෙනා සිතනු නො අනුමාන ය. එහෙත් මේ යොමු කිරීම සිදුවන්නේ ඊනියා යහපාලන ආණ්ඩුවකින් බැවින් කුකුසක් පැන නගිනු නොවැළැක්විය හැකි ය.
අප එසේ පවසන්නේ මහා බැංකුවේ බැඳුම්කර පිළිබඳ ව පත්කරන ලද ඊනියා විශේෂ කමිටුවේ අත්දැකීම් ද, මුලතිවු ප්‍රදේශයේ කොටින් සැමරීම තහනම් කරමින් උසාවි නියෝගයක් තිබිය දී සැමරුම් පැවැත් වූ විග්නේෂ්වරන් හා එ ජා ප නියෝජ්‍ය ඇමතිවරියක පිළිබඳ මතක සටහන් ද තවමත් අපේ සිත් සතන්වලින් මැකී ගොස් නොමැති සන්දර්භයක ය. මහා බැංකුවේ සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණයට නීතිඥයන් තුන්දෙනකු රනිල් වික්‍රමසිංහ නම් පික්පොකට් අගමැතිවරයා (මොහු පික්පොකට් අගමැතිවරයකු බව ද ඔහු පත්කරනු ලැබුයේ දි මු ජයරත්න අගමැති ව සිටිය දී ම බව ද එය නීති විරෝධි බව ද අපි ජනවාරි 9 වැනි දා සිට ම කීවෙමු. එහෙත් බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියන දෙවියන්ගෙන් වකුගඩු රෝගයට හේතුව දැනගත්තේ යැයි කියන අප වැනි අප්‍රබුද්ධයන්ගේ කතා ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීහු නොසලකා හැරිය හ. ඇතැමුනට අනුව ගණිතයවත් හරිහැටි නොදන්නා අප නීතිය ගැන දන්නේ මොන ඉටිගෙඩියක් ද? එහෙත් අද තම මතය කමිස හෝ සරොම් හෝ මාරුකරන්නාක් මෙන් මාරුකරන සරත් නන්ද සිල්වා ඒ බව කී විට ජනමාධ්‍යවේදීහු ඒ සෘෂි භාෂිතයක් ලෙස සලකා ප්‍රචාරය කරති!) විසින් පත්කෙරුණු විට ගොනා හැරෙන්නේ කුමකට දැයි තේරුම් ගැනීමට හැකි විය. අවසානයේ දී නීතිඥයන් තුන්දෙනාට අනුව අර්ජුන් මහේන්ද්‍රන් කිසිවකට වරදකරු නොවන බව පමණක් නොව වරදකරුවකු නොමැතිව වරදක් සිදු වී ඇති බව ද හෙළි විය. අලි මදිවාට හරක් යැයි (මේ කියන්නේ එ ජා ප අලි හා නීතිඥයන් ගැන යැයි වරදවා නොසිතිය යුතු ය) කීවාක් මෙන් දැන් රනිල්ට ප්‍රශ්නය වී ඇත්තේ 2015 දී සිදු වූ දේ නොව ත්‍රිපුද්ගල නීතිඥ වාර්තාවට අනුව 2012 –- 14 කාලයේ දී සිදු වූ දේ ය.
විද්‍යා දැරියගේ දූෂණය හා ඝාතනය සම්බන්ධයෙන් ඇතැම් කරුණුවල දී ඉහත සඳහන් එ ජා ප නියෝජ්‍ය ඇමතිවරියගේ නම ද කියැවෙයි. සැකරුවන් නිදහස් කිරීම, නැවත අත් අඩංගුවට ගැනීම, පොලිසියට හා උසාවියට ගල්ගෑසීම, රාජ්‍ය දේපොළවලට අලාභහානි කිරීම, ආදිය සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයන්ගේ නම් සඳහන් වීම ගැන ද අප සිතා බැලි ය යුතු ය. අධිකරණ ක්‍රියාදාමය පිළිබඳ කිසිම සැකයකට ඉඩ නොතැබිය යුතු ය. මෛත්‍රිපාල සිිරිසේන යාපනයට ගිය අවස්ථාවේ උසාවි නියෝගය කැඩූ මහා ඇමති විග්නේෂ්වරන් මෙන් ම උතුරේ බලධාරිනියක වූ නියෝජ්‍ය ඇමතිවරිය ද හමුවූවා පමණක් නො වේ. මෛත්‍රිපාල සහභාගි වූ බොහෝ උත්සවවලට ඔවුහු ද සහභාගි වූහ.
මේ විශේෂ අධිකරණය පිහිටුවන්නේ කෙසේ ද? එහි යාන්ත්‍රණය කුමක් ද? එයට විනිසුරුවන් පත් කෙරෙන්නේ කෙසේ ද? ආදී කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් විය යුතු ය. යහපාලනය යනු යමපාලනයක් බව ද අපි බොහෝ කලක සිට කියමු. යමපාලන ආණ්ඩුව ගැන කියන විට හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් යන්න ද අමතක කළ නො හැකි ය. විද්‍යා දැරිය පිළිබඳ සිද්ධියෙන් අප දේශපාලන වාසියක් ගැනීමට උත්සාහ කරන්නේ යැයි යමකු කීමට ඉඩ ඇත. නඩුව විශේෂ අධිකරණයකට යොමු කිරීමෙන් මෛත්‍රිපාල, රනිල්, විග්නේෂ්වරන් දේශපාලන වාසියක් හෝ වෙනත් වාසියක් හෝ ගැනීමට උත්සාහ නොකරන්නේ ද යන්න දැනගැනීමට ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් සරත් නන්ද සිල්වා හමුවිය යුතු ද? එසේ හමුවන්නේ නම් ඒ ඔහු කිනම් සරොමක් ඇඳ සිටින විට ද?
නලින් ද සිල්වා
2015 මැයි 27