දහනවය සම්මත වූයේ ඇයි?
පසුගිය විසිඅටවැනි දා සිංහල ජාතියට කණකොකා හැඬූ දිනයක් විය. ඉන් දින දෙකකට පසු සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර නිදහස් කරනු ලැබිණි.
එසේ නිදහස් කිරීම වරදක් දැයි ඇතැමුන් මගෙන් ප්‍රශ්න කරනු ඇත. මා අන්ත ජාතිවාදියකු බව තවත් අය කියනු ඇත. මෛත්‍රිපාල සිරිසේන මහතා ඇයට සමාව දුන්නේ අධිකරණ ඇමති විජයදාස රාජපක්‍ෂ මහතාගේ නිදර්දේශයක් මත ය. විජයදාස මහතාට ඒ පිළිබඳ ව කරන ලද ආයාචනා ආදිය ගැන අපට දැනුමක් නැත.
මේ තරුණිය වරද කර ඇත්තේ නො දැනුවත් ව යැයි කියැවෙයි. එය පැහැදිලි නැත. ඇය නීතිය නොදැන සිටියේ ද? සිගිරිය ගැන නොදැන සිටියේ ද? කැටපත් පවුරේ වැදගත්කම ගැන නොදැන සිටියේ ද? අපි ඒ නො දනිමු. එහෙත් එකක් පැහැදිලි ය. ඇයට සිගිරිය ගැන හෝ කැටපත් පවුර ගැන හෝ ගෞරවයක් තිබී නැත. එය ඇගේ නොදැනුවත්කම යැයි කියා අපට එය අමතක කළ හැකි නො වේ. මෙරට දෙමළ දරුවනට රටේ ඉතිහාසයට ගරු කිරීමට ඉගැන්වේ ද? එංගලන්තයේ පැරණි මාළිගාවක කුරුටු ගෑමට ගියහොත් එලිසබෙත් වින්ඩ්සර්ගේ සමාව ලැබේ වි ද? ඇය එසේ කුරුටු ගාන්නන්ට අත් වෑසුම් ගලවා අතට අත දෙයි ද?
පසුගිය අවුරුදු සියයකට වැඩි කාලයක් තිසසේ මෙරට ඉතිහාසය විකෘති කළෝ කවරහු ද? ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ අනුග්‍රහය යටතේ මෙරට ඉතිහාසය නැවත ලිවීමේ කාර්යය යාල්පානම් වෛපව මාලෙයි කෘතියෙන් ඇරඹිණි. සිංහලයන්ට මෙරට උරුමයක් නැතැයි කියන ප්‍රවාද දෙමළ උගත්තු ගොඩ නැගූහ. මඩකලපුවේ තරුණියට සීගිරිය නැරඹීම සත්තු වත්ත නැරඹීමෙන් වෙනස් නොවන්නට ඇත. ඇය ඉතිහාසය නොදැන සිටියේ නම් ඇයට ඉතිහාසයට ගෞරව කිරීමට උගන්වා නැත්නම් ඒ සම්බන්ධයෙන් වග කිව යුත්තෝ කවරගු ද? ඒ වගකිවයුත්තන්ට දඬුවම් කිරීමට මෙරට නීතියක් නැතිවීම ගැන විජයදාස රාජපක්‍ෂ මහතාට කීමට ඇත්තේ කුමක් ද?
ඔහුත් රනිල් වික්‍රමසිංහ මහතාත් මෛත්‍රිපාල සිරිසේන මහතාත් බටහිරයන් ඇතුළු විරෝධීනුත් එකතු වී දහනවවැනි සංශෝධනය සම්මත කර ගත්හ. සංශෝධනයේ අරමුණ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් නොව දෙමළ ජාතිවාදීන්ට කප්පන් දීමත් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිතැන තවදුටත් අඩු කිරීමත් රනිල් වික්‍රමසිංහ මහතාට විධායක බලතල හැකිතාක් හිමිකර දීමත් ය. එය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා වූ සංශෝධනයක් නොව මූලික වශයෙන් ජනාධිපතිගේ විධායක බලතල යම් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට නොව අගමැතිට ලබාදීමටත්, දහහත්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථාදායක සභාව නැවත ඇතිකර ඊනියා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමටත්, මහින්ද රාජපක්‍ෂ මහතා නැවත ජනාධිපති ධුරයට තරග කිරීම වැළැක්වීමටත්, සිංහලයාට මෙරට හිමි සුවිශේෂත්වය නැතිකිරීමටත්, එමගින් රට ආපසු 1833ට ගෙන යෑමටත්, සන්ධීය හෙවත් ෆෙඩරල් රාජ්‍යයක් බිහිකර ඊළමකට පාර කැපීම සඳහාත්, රනිල් වික්‍රමසිංහ මහතා බටහිරයන්ගේ හා ඉන්දියයන්ගේ අවශ්‍යතාවට මෛත්‍රිපාල මගින් පික්පොකට් ගැසූ අගමැතිකම නීත්‍යානුකූල කරගැනීමටත් ගෙනෙන ලද සංශෝධනයකි.
ප්‍රශ්නයක් රට ජාතිය ආගම මුල් කරගෙන බැලීමට බොහෝ දේශපාලනඥයන්ට පුරුද්දක් නැත. එසේ කිරීම ජාතිවාදී ලෙස පඬියෝ අර්ථදක්වති. මා දන්නා පරිදි දහනවවැනි සංශෝධනය දෙස රට ජාතිය ආගම පැත්තෙන් බැලූ මන්ත්‍රීවරු දෙදෙනෙක් වූහ. සරත් වීරසේකර මහතා පමණක් සංශෝධනයට විරුද්ධ විය. ඔහුට අපේ ප්‍රණාමය හිමි වෙයි. ලබන මැතිවරණෙයේ දී ඔහුට නාම යෝජනා හිමි නොවනු ඇත. එහෙත් ඔහු වෙනුවෙන් මැතිවරණ සටනට සහභාගි වීම ජාතිකවාදීන්ගේ යුතුකම වෙයි. එමෙන් ම සංශෝධනයට විරුද්ධ වී යම් බලපෑම් හේතුවෙන් කරන්නට වෙන කිසිවක් නොමැතිව සංශෝධනයට ඡන්දය විමසන අවස්ථාවේ දී සභාගැබේ නොසිටි ජානක බණ්ඩාර මහතාට ද අපේ ගෞරවය හිමිවෙයි. එහෙත් ඩිලාන් පෙරේරා මහතාට අනුව සරත් වීරසේකර මහතා මන්ද බුද්ධිකයෙකි. ඩිලාන් පෙරේරා මහතා නම් මන්ද බුද්ධිකයකු විය නො හැකි ය. ඔහු ඇමතිවරයෙකි. ඔහුගේ පියා ආණ්ඩුකාරවරයෙකි.
අද සංධානයේ ඇතැම්හු තමන් නිසා දහනවයේ බලය අඩු විණි යැයි කියමින් ස්වයං වින්දනයක යෙදෙති. එහෙත් ඇත්ත තත්ත්වය එය නො වේ. ඔවුන් ප්‍රශ්නය දෙස බැලුවේ සුද්දන් උගන්වා ඇති කුණුහරුපයක් වූ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇසින් මිස රට ජාතිය ආගම පැත්තෙන් නො වේ. පසුගිය ජනාධිපතිවරණයේ දී ද ජාතිවාදී වීමට බියෙන් ඔවුහු ඊනියා යහපාලනයක් ගැන කතා කළේ දෙමළ ජාතිවාදයෙන් එල්ලවන තර්ජන අමතක කරමිනි. අද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ නියෝජිතයන් වූ රනිල් වික්‍රමසිංහලාට ඩිලාන් පෙරේරාලාට ප්‍රශ්නය වී ඇත්තේ ද ඊනියා ජාතිවාදය ය. ඔවුහු ඊනියා ජාතිවාදීන්ගේ ප්‍රකාශන තහනම් කිරීමට නීති පැනවීමට කතා කරති. සංධානයේ නායකයන් බොරු ප්‍රජාතන්ත්‍රවාදය අමතක කර ජාතිකවාදීන් වීමට කටයුතු කළ යුතු ය. ඊනියා ස්වාධීන කොමිෂන් සභා තිබිය හැක්කේ ඒවාහි සාමාජිකයන් මිය ගොස් ඇත්නම් පමණකි. ඔවුන් පත්කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාව විසිනි. ව්‍යවස්ථාදායක සභාවේ ඇතැම් සාමාජිකයෝ අගමැති හා මෛත්‍රිපාල සිිරිසේන මහතාගේ එකඟත්වයෙන් පත්වෙති. අනෙක් අතට මේ සියල්ලන්ට, විශේෂයෙන් ම සුද්දන් ඉගැන්වූ මතවාද ඇත. මතවාදවලින් ස්වාධීන වන්නේ මීය යෑමෙනි.
පාර්ලිමේන්තුවට වගකීම යන්න සුද්දන් අපට උගන්වා ඇති තවත් ව්‍යාජයක් පමණකි. පසුගිය 27 වැනි දා හා 28 වැනි දා මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු මෙහෙයවනු අපි දුටුවෙමු. මින් ඉදිරියටත් ඔහු පාර්ලිමේන්තුවට වග කියනු වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් වී පාර්ලිමේන්තුව මෙහෙයවනු ඇත. සුද්දන්ගේ පොත්වලට පමණක් සීමා වූ ප්‍රජාතන්ත්‍රවාදය නමැති කුණුහරුපයට අප වහල් වි් ඇත්තේ සුද්දන්ගේ අධ්‍යාපනය නිසා ය. බටහිර විද්‍යාව ද ඇතුලු සුද්දන්ගේ දැනුම පට්ටපල් බොරුවකි.
දහනවවැනි සංශෝධනය තවත් පැත්තකින් හැඳින්විය හැක්කේ සුද්දන්ගේ ක්‍රමයට නම් විධායක බලතල සංස්ථිති නියමය සපුරාලන්නක් ලෙස ය. එයින් විධායක බලතල අහෝසි නො වේ. එයින් සිදුවන්නේ විධායක බලතල සුළු ප්‍රමාණයක් ජනාධිපතිගෙන් අගමැතිට මාරු වීම පමණකි. ඒ බලතල පාර්ලිමේන්තුවට හිමි නො වේ. අඩුම තරමෙන් අගමැති තෝරා ගැනීමේ බලයවත් පාර්ලිමේන්තුවට හිමි කෙරී නැත. එය ජනාධිපතිගේ අණසක යටතේ ම පවතියි.
තමාගේ බලතල යම් ප්‍රමාණයක් අඩුකිරීම ගැන මෛත්‍රිපාල සිරිසසේන මහතාට විරුද්ධ විය නොහැකි ය. ඔහු බලලෝභී නො වේ යැයි කීවේ කවු ද? බලලෝභී ඔහු තමාට අගමැතිකම නොලැබුණු බැවින් ඊනියා පොදු අපේක්‍ෂකයා බවට පත්වීමේ දී ම යම් ගනුදෙනුවක් (අද භාෂාවෙන් ඩීලයක්) කර ඇති බව පැහැදිලි ය. ඒ ගනුදෙනුවේ කොටසක් ලෙස විධායක බලතල යම් ප්‍රමාණයක් අගමැතිට ලබා දිය යුතු ය. ගනුදෙනුව තව තවත් හෙළිවනු ඇත්තේ ඔහුගේ ඉදිරි ක්‍රියා මාර්ග හරහා ය. එහෙත් මහින්දට එයට විරුද්ධ විය හැකිව තිබිණි. ඔහු කළ යුතුව තිබුණේ සෘජු දේශපාලනයට පිවිස දහනවයට විරුද්ධ අරගලයට නායකත්වය සැපයීම ය. ඔහු එය නො කෙළේ ය. සංධානයේ මන්ත්‍රීවරුන්ට නාම යෝජනා ප්‍රශ්න ඇති විය.
අවසානයේ දී සංධානයේ නායකයෝ ද ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකයන් අනුගමනය කරමින් ඊනියා සංශෝධන කිහිපයකට මුවා වී දහනවයට පක්‍ෂ වූහ. සුපුරුදු පරිදි විමල් වීරවංශ මහතා තම ව්‍යාජ වීරත්වය ප්‍රදර්ශනය කරමින් සංශෝධනවලට පක්‍ෂ නිසා දහනවයට පක්‍ෂ යැයි කීවේ ය. එය සුපුරුදු ගැලරි කතාවක් විය. සංධානයේ විශාල පිරිසක් දහනවයට පක්‍ෂ වූයේ විමල් වීරවංශ මහතා මෙන් ම සංශෝධනවලට මුවා වී ය. එහෙත් ඔවුහු එය පුහු වීරත්වයකට හරවා ගැනීමට උත්සාහ නො කළහ.
මහින්ද රාජපක්‍ෂ මහතා දැන්වත් සෘජු දේශපාලන ක්‍රියා මාර්ගයකට නොඑළඹෙන්නේ නම්, ඔහුට පරාජයේ මාවත හැරෙන්නට වෙනත් මාවතක් වේ නම් ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ අදුරදර්ශී ක්‍රිිියා නිසා ඇතිවන්නක් විය යුතු ය. එසේ රනිල් වික්‍රමසිංහ මහතා අදූදර්ශී ක්‍රියා මාර්ග නොගන්නට ඔහු (රනිල්) තව තවත් බලය තහවුරු කරගනු ඇත. මහින්ද රාජපක්‍ෂ මහතා නායකත්වය නොදෙන්නේ නම් අද නැවත වරක් සිංහල ජනමතයට සවන් දෙන ජාතික නායකයකු සොයා ගැනීමට (නිර්මාණය කිරීමට) සිදු වී ඇත. එහෙත් එය එක් රැයකින් සිිදු කළ හැක්කක් නො වේ. අපට එසේ කිරීමට සිදු වී ඇත්තේ ව්‍යජත්වය ඔඩු දුව ගොස් ඇති සමාජයක ය. මැයි දෙවැනි දා ලංකාවට පැමිණෙන ඇමරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී තොරණක් විවෘත කරන බවට ද කතාවක් පැතිර යයි. මෝඩ සිංහල බෞද්ධයන් පිරිසක් අනේ සාදු යැයි කීමට ඉඩ ඇත. එහෙත් අපි අනේ කාලේ වනේ වාසේ යැයි නො කියමු.
(මෙම ලිපිය පසුගිය මැයි 03 වැනි දා දිවයින ඉරිදා සංග්‍රහයෙහි පළ නො විණි. මෙ ලිපිය ලියන ලද්දේ මහින්ද ප්‍රකාශ දෙකක් ම කරයි යන්න ලිවීමට පෙර ය. මහින්ද මෛත්‍රිපාල එකඟත්වයක් කාහට හොඳ වුවත් රටට හොඳ නැති බව මගේ විශ්වාසය වෙයි.)
නලින් ද සිල්වා
2015 මැයි 03