මහින්ද ප්‍රකාශ දෙකක් ම කරයි
අපට අවශ්‍ය වූයේ මහින්ද රාජපක්‍ෂ ලවා ප්‍රකාශයක් කරවීමට ය. ඔහු එක් ප්‍රකාශයක් නොව ප්‍රකාශ දෙකක් ම කළේ ය. ඒ ශ්‍රී ල නි පක්‍ෂය පිලිප් ගුණවර්ධන පිටියේ (හයිඩ් පිටියේ) පැවැත්වූ රැස්වීමට හා එක්සත් ජනතා නිදහස් සංධානය ලලිත් ඇතුළත්මුදලි පිටියේ පැවැත්වූ මැයි දින රැළිවලට ය. එහි ඔහුට අවශ්‍ය කුමක් ද යන්න ගැන ඉඟියක් වෙයි. එහෙත් ඒ දැනට ලැබී ඇති දත්ත අනුව ය.
ඔහු ජනවාරි 9 වැනි දා ශ්‍රී ල නි පක්‍ෂ සභාපතිත්වය මෛත්‍රිපාල සිරිසේනට භාර දුන්නේ ය. ඉන්පසු නුගේගොඩ, මහනුවර හා රත්නපුර රැස්්වීම් තුනට සුබ පැතුම් පණිවුඩ යැවී ය. ඒ අතර රට වටා පන්සල්වලට ගියේ ය. ඔහු යන්නේ කොහේද යන්න ගැන යම් අනාවැකියක් කිව හැකි ය.
මා බටහිර දේශපාලන විද්‍යාව හදාරා නැත. එහෙත් සමාජයීය බලවේග ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න හදාරමි. මාක්ස්වාදීන් බටහිර විද්‍යාත්මක යැයි කියන පට්ටපල් බොරු කතන්දරවල පෞද්ගලික සාධක අමතක කරන නමුත් ඒවා ද වැදගත් වෙයි. මෛත්‍රිපාලගේ ඉවත් වීමෙන් පසු ජනවාරි වන විට ශ්‍රී ල නි පක්‍ෂය මහින්ද කණ්ඩායමකට හා මෛත්‍රිපාල කණ්ඩායමකට කැඩී තිබිණි. එහෙත් පක්‍ෂයේ දේශපාලන අත්තිවාරම කැඩී නො තිබිණි. බෙදීමක් තිබුණේ ඉහළ සාමාජිකයන් අතර ය. ඔවුන් බොහෝ දෙනකුගේ දේශපාලනය අත්තිවාරමේ දේශපාලනයට වඩා වෙනස් ය. උඩ බෙදීම තීව්‍ර වේ යැයි අපි සිතුවෙමු. පෞද්ගලික හේතුවකට හෝ වෙනත් හේතුවකට හෝ මහින්ද එසේ සිතා නැත.
ඇතැම්හු ශ්‍රී ල නි පක්‍ෂය දිය වී ගොස් ඇතැයි සිතූහ. ඔවුන්ගෙන් සමහරකුට අවශ්‍ය වූයේ ශ්‍රී ල නි පක්‍ෂයෙන් කොටසක් කඩාගෙන තම දේශපාලන පක්‍ෂය වර්ධනය කර ගැනී ම ය. අපට අවශ්‍ය වූයේ ශ්‍රි ල නි පක්‍ෂයේ මහින්ද කණ්ඩායම ශක්තිමත් කිරීම ය. අපි ඒ අනුව ලිව්වෙමු. කටයුතු කෙළෙමු. එහෙත් මහින්දට අවශ්‍ය ව තිබී ඇත්තේ කිනම් හේතුවක් නිසා වුව පක්‍ෂය එකතු කිරීම ය.
දහනවවැනි සංශෝධනයට විරුද්ධව මහින්ද කණ්ඩායමට හා සංධානයට මන්ත්‍රීවරුන් හැත්තෑහය දෙනකු සොයා ගැනීමට නො හැකි විය. මහින්ද ඒ කණ්ඩායමට පැහැදිලි සෘජු දේශපාලන නායකත්වයක් දී නොතිබීම එයට ප්‍රධාන හේතුව විය. ඒ කණ්ඩායමට හැත්තෑහය දෙනකු සිටියේ නම් දහනවය සම්මත නොවීමට තිබුණු අතර රටේ දේශපාලනය අලුත් ම මාවතකට යොමු වීමට තිබිණි. එහෙත් ඒ එසේ නො වී ය.
හැත්තෑහය දෙනකු සොයා ගැනීමට නොහැකි වූ මහින්ද කණ්ඩායම (උපරිම වශයෙන් ඔවුන්ට සිටයේ හැටපස් දෙනකු පමණ ය. එහෙත් කණ්ඩායම දුර්වල යැයි නොසිතිය යුතු ය) දහනවයට සංශෝධන ගෙන ආවේ ය. රනිල් සංශෝධනවලට විරුද්ධ විය. ඔහු තම දඩබ්බර මාවතේ ඉදිරියට ගියේ නම් සමහර විට මහින්ද කණ්ඩායමට හැත්තෑහය දෙනකු සොයා ගැනීමට ඉඩ නොතිබුණා නො වේ. මෛත්‍රිපාල ඒ අනතුර දුටුවේ ය. ඔහු සාකච්ඡා කර සංශෝධනවලට එකඟ විය. දහනවයට අවසානයේ දී විරුද්ධ වූයේ සරත් වීරසේකර පමණ ය.
තවමත් ශ්‍රී ල නි පක්‍ෂයේ නිල නොවන නායකයා මහින්ද ය. පිලිප් ගුණවර්ධන පිටියේ ද ඔහුගේ නම කියැවෙන විට ඔල්වරසන් හඬ නැඟිණි. මහින්දට අවශ්‍ය කුමන හේතුවක් නිසා වුව පක්‍ෂය එකතු කිරීම ය. ඔහු මැයි රැළි දෙකට ම සුබ පැතුවේ ය. දහනවයෙන් පසු තමා දුර්වල වී නැති බවට මහින්ද අපට සංඥාවක් දෙයි. ශ්‍රී ල නි පක්‍ෂයේ අභිවෘද්ධිය සඳහා කළ යුතුව තිබුණේ එක්කෝ මහින්ද කණ්ඩායම ශකතිමත් කිරීම ය. නැත්නම් පක්‍ෂයේ ඉහළ නායකත්වය එකතු කිරීම ය. අපි පළමු මග තෝරා ගත්තෙමු. මහින්ද දෙවැන්න තෝරා ගෙන ඇත.
මහින්ද තෝරාගත් මගෙහි කෙතරම් දුරක් යෑමට හැකි දැයි නිශ්චිත ව කිව නො හැකි ය. එහෙත් ඒ එකතුව රනිල් හා එ ජා පක්‍ෂය පරාජය කිරීමට බර දැමිය යුතු ය. අද (මැයි දෙවැනි දා) වෙනත් රටවලට ද යන අතරමග ලංකාවට පැමිණෙන ජෝන් කෙරී රනිල් ආරක්‍ෂා කිරීමට ක්‍රියා කරනු ඇත. මෛත්‍රිපාල ද ඒ බව දනියි. එහෙත් කෙරීට, කැමරන්ට, මිලිබෑන්ඩ්ට හා මෝදිට අවශ්‍ය රනිල් ආරක්‍ෂා කිරීම පමණක් නො වේ. ඔවුන්ට ආරක්‍ෂා කිරීමට දෙමළ ජාතිවාදය ද ඇත මහින්ද මෛත්‍රිපාල එකතුව කෙරීලාගේ දෙමළ ජාතිවාදයට මුහුණ දෙන්නේ කෙසේ ද?
නලින් ද සිල්වා
2015 මැයි 02