Main Logo

Monday 25 May 2015

මහා බැංකු කොල්ලය වසං කිරීම

මහා බැංකු කොල්ලය වසං කිරීම 

රනිල් වික්‍රමසිංහ ලෝකයට පෙන්නුම් කරන්නේ තමන් හොරමැරකම්  දූෂණ ආදියෙන් තොර පුද්ගලයකු ලෙස ය. එහෙත් ඔහු ජනවාරි 9 වැනි දා සිට ම ක්‍රියාකර ඇත්තේ වෙනත් ආකාරයකට ය. ජනවාරි 8 වැනි දා පවත්වන ලද ජනාධිපතිවරණය කිසිසේත් ම පාර්ලිමේන්තු මැතිවරණයක් නො වී ය. එහෙත් ජනාධිපතිවරණයට පෙර සිට ම මෛත්‍රිපාල හා රනිල් අතර එකඟතාවක් විය. ඒ රනිල් අගමැති කිරීමට ය. ඒ පිටුපස බටහිරයන් හා ඉන්දියයන් සිටි බව රහසක් විය නො හැකි ය.
 

ඒ එකඟතාව හුදෙක් රනිල් අගමැති කිරීමට පමණක් නො වේ. රනිල් විධායක අගමැති කිරීමට ය. මෛත්‍රිපාල වුවමනාවෙන් විධායක බලතල අත්හැරියා නො වේ. ඔහුට ජනාධිපති අපේක්‍ෂකත්වය ලැබුණේ ම විධායක වලතල අගමැතිට පැවරීමේ පොරොන්දුව මත ය. අදත් ඔහු ක්‍රියා කරන්නේ ඒ පොරොන්දුව පරිදි ය. බටහිරයන් මෛත්‍රිපාලගෙන් බලාපොරොත්තු වූ අනෙක් කරුණ වූයේ ආණ්ඩුව ගෙන යෑමට අවශ්‍ය ශ්‍රී ල නි ප මන්ත්‍රීන් සැපයීම ය. ඒ හැරෙන්න ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් එහි නො වී ය. අද මෛත්‍රිපාලට වෙනත් විකල්පයක් නැත. ඔහු ඒ පොරොන්දු ඉටු කළ යුතු ය. 

මෛත්‍රිපාල තමා ජනාධිපති වූ විගස ව්‍යවස්ථාවට ද පිටින් ගොස් රනිල් පික්පොකට් අගමැති ධුරයකට පත් කෙළේ ය. එදා සිට රනිල් ආණ්ඩුව මෙහෙයවයි.  එහි දී ඔහුට බටහිරයන්ගේ සහාය ලැබෙයි. මෛත්‍රිපාල අද සිටින්නේ මග සිටියොත් තෝ නසී, ගෙදර ගියත් තෝ නසී තත්ත්වයක ය. ඔහුට සහායට සිටින්නේ චම්පක, රතන හිමි, ප්රාජිත හා වෙල් විදානේ පමණ ය. 

රනිල් අගමැති වී මහා බැංකුව තමා යටතට ගත්තේ ය. එය නීතිය අනුව කෙසේ වෙතත් සම්ප්‍රදාය අනුව වැරදිය. සමහර විට ඔහු මුදල් ඇමති රවි කරුණානායක විශ්වාස නොකළා විය හැකි ය. සමහර විට ඔහුට වෙනත් අදහස් තිබුණා විය හැකි ය. ඒ කුමක් වුවත් ඔහු අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු අධිපති ලෙස පත් කෙළේ ය. මහේන්ද්‍රන් ශී ලාංකිකයෙක් නො වේ. ඔහු සිංගප්පූරු වැසියෙකි. ඔහුට සිංහලෙන් අත්සන් කිරීමට නො හැකි ය. මුදල් නෝට්ටුවල ඔහු අත්සන් කරන්නේ ඉංගිරිසියෙනි. 

ඔහු මහා බැංකුවේ අධිපති බවට පත්කට නොබෝ කලකින් ම මහා බැංකු බැඳුම්කර නිකුතුවක් පිලිබඳ ප්‍රශ්නයක් ඇති විය. එයින් ඔහුගේ බෑණනුවකු වූ අර්ජුන් ඇලෝෂියස්ට විශාල වාසියක් අත් වූයේ රටට පාඩුවක් වන පරිදි ය. ඒ පිළිබඳ මහත් ආන්දෝලානයක් ඇති විය. යමපාලන හුරෙ කණ්ඩායම නිහඬ විය. කරකියා ගැනීමට දෙයක් නැති වූ රනිල් නීතිඥයන් තුන්දෙනකුගෙන් සමන්විත පරීක්‍ෂණ කමිටුවත් පත් කෙළේ ය.

කමිටුව බටහිර පරීක්‍ෂණ ක්‍රමවේදය අනුගමනය කරමින් වාර්තාවක් නිකුත් කෙළේ ය. ඒ අනුව මහේන්ද්‍රන් කිසිම චෝදනාවකට වරදකරු නො වේ. ඔහු මහා බැංකුවේ අධිපති වුවත් ඒ නිකුතුව සම්බන්ධයෙන් කිසිවක් දැන සිට නැත. එය සිදු වී ඇත්තේ ටෙන්ඩර් මණ්ඩලය හරහා ය. එයට අවසානයේ දී වරදකරුවකු නැත. ඒ අනිත්‍ය මෙනි. වෙනස්වන යමක් නොමැතිව වෙනස්වීමක් වෙයි. වරදකරුවකු නොමැතිව වරදක් සිදුවී ඇත. මහා බැංකුවේ අධිපති සියළු ගනුදෙනු ගැන වගකිව යුතු ය.

රනිල් සිතන්නේ මෙරට මිනිසුන්ට ඇස් කන් ආදිය නොමැති බව ද? ඔහුගේ හැරිසන් වැනි ඇමතිවරුන්ට නම් රනිල්ගේ කතා රසවත් ය. ඔවුහු ඒ කතාවලට තව තවත් පලිප්පු දමති. පළාත් පාලන ආයතනවල ඡන්දය නොපවත්වා ජනතාවගේ මැතිවරණ අයිතිය නැති කිරීම වැනි කරුණු පැත්තකට දැමුවත් මහා බැංකු කොල්ලය පමණක් වුවත් රනිල්ට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට ප්‍රමාණවත් වෙයි. එය වහාම ගෙන ඒම ශ්‍රි ල නි පක්‍ෂයේ වගකීම වෙයි. ආණ්ඩුව ගෙන යෑමට මන්ත්‍රීවරුන් සැපයීම මෛත්‍රිපාලගේ රාජකාරිය (ජනාධිපතිකාරිය) වුවත් මන්ත්‍රීවරුන් ඒ සඳහා බැඳී නැත. අද ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන් රටේ බහුතරය බලාපොරොත්තුවන්නේ රනිල් විශ්වාසභංගයෙන් පරාජය කිරීම ය. එමගින් මහේන්ද්‍රන් ද නඩු විභාගයකට යටත් කිරීම ය. ඔහුට සිංගප්පූරුවට පැන යෑමට ඉඩ නොදිය යුතු ය. 

නලින් ද සිල්වා

2015 මැයි 25