Main Logo

Wednesday 27 May 2015

ග්ලයිෆොසේට් තහනම

ග්ලයිෆොසේට් තහනම

ග්ලයිෆොසේට් තහනම පිළිබඳ ව බොහෝ දෙනා දැනටමත් කුලප්පු වී ඇත. එය ජාතික හෙළ උරුමයේ ආධාරය ඇතිව ඊනියා කැලණිය කණ්ඩායමේ  මැදිහත් වීමකින් කෙරුණක් බව කැනඩාවේ වෙසෙන බටහිර විද්‍යාඥයකු වූ චන්ද්‍රසිරි ධර්මවර්ධන අද දින අයිලන්ඩ් පුවත්පතට ලිපියක් ලියමින් පවසයි.  මෙහි දී කිවයුතු ප්‍රධානම කරුණ නම් කැලණිය කණ්ඩායම යනුවෙන් කණ්ඩායමක් අද ක්‍රියාත්මක නොවන බව ය. එබැවින් ඊනියා කැලණිය කණ්ඩායමකට ජනාධිපති කෘමිනාශක කමිටුවක බලය අත්කර ගෑැනීමට හෝ වෙනත් දෙයකට හෝ අවස්ථාවක් නැත. ග්ලයිෆොසේට් තහනම ගැන මා ස්තුතිවන්ත වන නමුත් ඒ ක්‍රියාත්මක වන්නේ ද යන්න පිලිබඳ ව ප්‍රශ්නයක් ඇති බව මා සඳහන් කර ඇත. ග්ලයිෆොසේට් අඩංගු බහාලුම් පහළොවක් පමණ වරායෙන් නිදහස් කෙරී ඇති බව ද සඳහන් කෙළෙමි. එමෙන් ම ග්ලයිෆොසේට් තහනම සම්බන්ධයෙන් ඊනියා කැලණිය කණ්ඩායම හා ජාතික හෙළ උරුමය අතර සාකච්ඡා තබා හඳුනාගැනීමක්වත් සිදු වී නැත.


ග්ලයිෆොසේට් තහනම පිළිබඳ ව තවමත් ලිඛිතව ආණ්ඩුවෙන් කිසිවක් ප්‍රකාශ වී නැත. එසේ ලිඛිතව ග්ලයිෆොසේට් තහනම් කරන තෙක් ඒ වාචික ප්‍රකාශයකට පමණක් සීමා වෙයි. ග්ලයිෆොසේට් තහනම ක්‍රියාත්මක නොකිරීමට මෙරට ඊනියා විද්‍යාඥයන් කටයුතු කරනු ඇතැයි ද මම පැවසීමි. චන්ද්‍රසිරි ධර්මවර්ධන එහි පළමු වෙඩි මුරය පත්තු කර ඇත. මේ ඊනියා විද්‍යාඥයන්ට ඇති මූලික ප්‍රශ්නය කැලණිය කණ්ඩායම එකල නාථ දෙවියන් නමින් හැඳින්වෙන ප්‍රාණියකුගෙන් කෘෂිරසායනික වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බවත් එහි දී පස හා ජලය ද හේතුවන බවත් දැන ගැනීම ය. ඒ දෙවියන්ගේ ආධාරයෙන් ම ඒ සඳහා යාන්ත්‍රණයක් ද පසුව ඉදිරිපත් කෙරිණි. එයින් කියැවුණේ ආසනික් ග්ලයිෆොසේට් සමග දැළිසක් සාදන බවත් කැඩ්මියම් ද එහි දී   උත්තේජකයක් වන බවත් ය.

ඊනියා  විද්‍යාඥයන්ට මෙතෙක් කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව මෙය යැයි කිසිවක් කියා ගැනීමට නොහැකි වී ඇත. ඔවුහු ඒ පිළිබඳ විවිධ කතන්දර කියන නමුත් ඔවුන් අතර එකඟත්වයක් නැත. චන්ද්‍රසිරි ධර්මවර්ධනට ද කතන්දරයක් ඇත. එහෙත් එයට ඔහුගේ සොහොයුරු නන්දසිරි ධර්මවර්ධන හා තවත් පුද්ගලයකු හෝ දෙදෙනකු හෝ හැරෙන්නට අනෙක් අයගේ එකඟත්වයක් නැත. අද ඔවුන් බොහෝ දෙනකු රෝගයට හේතුව පානීය ජලය බව කියනු පෙනෙයි. ඒ සඳහා පිරිසිදු ජලය සැපයීම පිලිබඳ ව බොහෝ දෙනෙක් උනන්දු වෙති. එහෙත් මේ ඊනියා විද්‍යාඥයන් අමතක කරන කරුණ නම් ජලය එක් හේතුවක් බව පළමුවෙන් කීවේ නාථ දෙවියන් බව ය. එකල ම වැව් ජලය පානය කරන්නන්ට රෝගය නොවැළඳෙන බවත් එවකට කැලණිය කණ්ඩායම ප්‍රකාශ කෙළේ ය.

මේ ඊනියා විද්‍යාඥයන් ලෝකයේ ඉතා වැඩි පහසුකම් ඇති ආයතනවල විශ්වවිද්‍යාලවල සේවය කළත් ඔවුන් අතින් හරිහමන් ප්‍රවාදයක් හෝ සංකල්පයක් හෝ පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාවට එකතු කෙරී නැත. ඔවුහු නිකම් ම නිකම් විද්‍යාඥයෝ වෙති. ඒ බොහෝ දෙනා සිංහල බෞද්ධයෝ වෙති. හීනමානයෙන් පෙළෙන මොවුහු බුදුදහම (බටහිර) විද්‍යාත්මක යැයි කියති. එමගින් තම බැරිකම වසාගැනීමට උත්සාහ කරති. බෞද්ධයකු නොවන කාලෝ ෆොන්සේකා බෞද්ධයනට බොරු වළවල් කපමින් තමන්ට නොතේරෙන කාළාම  සූත්‍රයක් හා යථාර්ථයක් ගැන කතාකරමින් බුදුදහම විද්‍යාත්මක කිරීමට උත්සාහ කරයි.  යථාර්ථවාදී පංචෙන්ද්‍රිය ගෝචර විද්‍යාවක් ගැන කතාකරන ඊනියා සිංහල බෞද්ධ විද්‍යාඥයෝ සිංහල බුද්ධාගමට විරුද්ධ වෙති.

සිංහල බෞද්ධ බටහිර විද්‍යාඥයන්ට හරිහමන් සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ බටහිර විද්‍යාවට එකතුකිරීමට නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ චින්තනය බටහිර විද්‍යාව පදනම් වන යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් වෙනස් වන බැවිනි. අද ඊශ්‍රාලයේ පිරිසක් කාලය වෙබ් අඩවියේ ලිපි සියල්ල ම පාහේ පිටපත් කරගැනීමට කටයුතු කර ඇතැයි අපි සිතමු. ඒ කුමක් වුවත් අපට අවශ්‍ය වන්නේ අපේ ම වූ දැනුමක් ගොඩනැගීමට ය.

පැරණි සිංහල බෞද්ධයන් දෙවියන්ගෙන් ද දැනුම ලබාගත් බව සිතිය හැකි ය. අපිදු ඒ අනුව කටයුතු කෙළෙමු. අවාසනාවන්ත හේතු නිසා අද කැලණිය කණ්ඩායම ක්‍රියාත්මක නො වෙයි. එහෙත් අප අපේ දැනුමක් ගොඩ නැගීමේ කාර්යය අත්හැර  නැත. එහි දී අපි බටහිරව දැනුමට අවශ්‍ය විට විරුද්ධ වෙමු. චන්ද්‍රසිරි ධර්මවර්ධන නොදැන සිටියාට ප්‍රභාකරන් පැරදවිය නොහැකිය යන බටහිර දැනුම අපි ෙසෙද්ධාන්තික ව පරාජය කෙළෙමු.  

අපට බටහිර විද්‍යාව හා පොදුවේ බටහිර දැනුම පසුපස ගොස් අත්කරගත හැකි විමුක්තියක් නැත. අප අපේ ම වූ දැනුමක් ගොඩනගාගත යුතු ය. කෘසිරසායනික වකුගඩු රෝගය පිළිබඳ දැනුම එසේ ගොඩනගා ගත්තකි. ඊනියා ලාංකික විද්‍යාඥයන් එයට විරුද්ධ වීම පුදුමයක් නො වේ. ඔවුන්ගේ විරුද්ධත්වය අපේ ධෛර්යයට හේතු වේ. ඔවුහු වැඩ බැරි ටාසන්ලා පමණක් වෙති. මේ යුද්ධයේ දෙවැනි අදියරේ ආරම්භය වෙයි. අපි පේන අසමු. කේන්දර බලමු පංචෙන්ද්‍රිය ගෝචර නොවන  ජීවීන් හා වස්තු ගැන විශ්වාස කරමු. චන්ද්‍රසිරි ධර්මවර්ධනට ලංකාව පැමිණි විටෙක බටහිර විද්‍යාව ගැන වාචික ව වාදයකට එළඹෙන ලෙස අභියෝග කරමි. එය පට්ටපල් බොරුවක් බව දෙනෝදාහක් ඉදිරියේ මම පෙන්වමි.

නලින් ද සිල්වා

2015 මැයි 27