Main Logo

Wednesday, 10 July 2019

ආදිවාසීන් හා බටහිර චින්තනය

ආදිවාසීන් හා බටහිර චින්තනය

එක්තරා ගුරුවරියක් හිබාබය හෝ බුර්කාව හෝ ඇඳීමට ඇති අයිතිය ඉල්ලා අධිකරණයට ගිහින්. මා ඒ නඩුව ගැන කතා කරන්න යන්නේ නැහැ. මට අවශ්‍ය රෝම ලන්දේසි නීතිය යොදා ගැනීමෙන් රටට ඇති වන ප්‍රශ්න ගැන කතා කිරීමට පමණයි. එය කතා කිරීමෙන් එතරම් වැඩක් වන්නේ නැති බවත් මා දන්නවා. එය බොහෝ දෙනකුට විෂය වන්නක් නො වෙයි. ඊනියා ආදිවාසීන් පිළිබඳ කතාවත් ජනතාව අතරට යන්නේ නැහැ. ප්‍රබුද්ධ යැයි කියන ජනමාධ්‍යවේදීන් අතරටවත් යන්නේ නැහැ.


ඔවුන් ආදිවාසීන් කියන්නේ වැදි ජනතාවට. එමගින් සිංහලයන් පිටින් පැමිණි පිරිසක් බවට පත් කරනවා. එවිට සිංහලයන් දෙමළ කතා කරන ජනයා මුස්ලිමුන් මැලේ හෙට්ටි ආදීන් සමග සම තත්වයකට පත් කරනවා. ඒ සියල්ලන් ම පිටින් පැමිණි පිරිස්. මේ කතාවට දිපවංසයත් මහාවංසයත් තරමක් හෝ වග කියන්න ඕන. අප හිතන්නේ සිංහලයන් විජය හා පිරිසගෙන් පැවත එන්නන් කියා. 

මෙරට විසූ යක්‍ෂ නාග දේව ආදී හෙළයන් ගැන අප හිතන්නේ නැහැ. බොහෝ විට අපට ඔවුන් අමනුෂ්‍යයන්. මෙරට සිටින චීන ඔත්තුරුවන් ඊනියා දාර්ශනිකයන් හිතන්නේ එහෙමයි. චීන ඔත්තුකරුවාට නම් අවශ්‍ය මා කියන සියල්ල බොරු බව පෙන්වීම. ඒ සඳහා ඔහු ඉන්දියාවට විරුද්ධ වෙද්දීත් සිංහලයන් වංගයෙන් හා කාලිංගයෙන් පැමිණි බව කියනවා. ඔවුන් කිසිවකු හිතන්නේ නැහැ සිංහලයන් යනු සිංහයන් හා හෙළයන් එකතු වී (සිංහ + හෙළ > සිංහෙළ> සිංහළ ලෙස හිතන්න පුළුවන්) තනාගත් ජාතියක් බව. කුමාරතුංග මුනිදාස මහතා කිව්වේ සිව්හෙළ (යක්‍ෂ නාග දේව රාක්‍ෂස) සිංහළ වූ බවයි. ඒ මහතා සිංහයන් ලානය කළ නිසා සිංහල වූ බවකුත් කියා තියෙනවා. කුමාරතුංග මහතා සිංහයන් සම්පූර්ණයෙන් ම මෙන් අයින් කරන අතර මහාවංසය අනුව යන පිරිස් හෙළයන් අයින් කරනවා.

එහෙත් සිංහලයන් මේ කොටස් දෙකේ ම මිශ්‍රණයක්. අපේ ජාන වංග කාලිංග පෙදෙස්වල වැසියන්ගේ ජාන හා සම්බන්ධයි. සිංහබාහු නමින් අයකු වත්මන් කල්කටාව අසල වාසය කර ඇති බවට පුරාවිද්‍යාත්මක සාක්‍ෂි තියෙනවා. මේ සාක්‍ෂි ගැනත් මා කලින් සඳහන් කර තිබෙනවා. එහෙත් කිසිවකුවත් ඒ ගණන් ගත්තේ නැහැ. හෙළයන් භාවිතා කළ වචන තවමත් අප යොදා ගන්නවා. හතරවැනි සියවසෙන් පමණ පසු අප සංකල්පීය වශයෙන් හිතන එක නවත්තලා. සිංහලයන් අද පිටින් පැමිණි ජාතියක් වෙලා. ඒ ඊනියා දෙමළ ජාතිය මුස්ලිම් ජාතිය සමග. මෙරට තිබෙන එකම ජාතිය සිංහල බවවත් ඔවුන් හිතන්නේ නැහැ. දෙමළ කතා කරන ජනයා ජාතියක් තබා ජනවර්ගයක්වත් නො වෙයි.

ශූන්‍යය ගැන ලියූ ලිපිය නම් මේ සියවසේවත් සාකච්ඡාවට ගැනෙන එකක් නැහැ. එහෙත් ඇතැම් දේශපාලන අදහස් නම් ඇතැමුන් යොදා ගන්නවා. භික්‍ෂූන් වහන්සේ රජුන් තනන්නන් බවත් අදත් භික්‍ෂූන් වහන්සේ අපට අපේක්‍ෂයන් ඉදිරිපත් කළ යුතු බවටත් මා කී දේ යම් තරමකට භික්‍ෂූන් වහන්සේ අතරට ගිහින්. එය හොඳයි. එහෙත් දේශපාලනඥයන් පසුපස යන භික්‍ෂූන් වහන්සේට ඒ කාර්යය කරන්න බැහැ. එවැනි භික්‍ෂූන් වහන්සේ ඉදිරිපත් කරන අපේක්‍ෂකයන් ගැන ජනතාවට විශ්වාසයක් තියෙන එකක් නැහැ.

වැදි ජනතාව කියන්නේ හෙළයන් හා සිංහයන් එකතු වූ අවස්ථාවේ ඒ එකතුවට පිටින් හිටි ජන කොටසක්. ඔවුන් සිංහලයන් සමග එකතු නොවී අවුරුදු දහස් ගණනක් ජීවත් වූවා. එහෙත් දැන් බටහිර සංස්කෘතික ආධිපත්‍යය යටතේ ඔවුන් තම අනන්‍යතාව නැති කර ගනිමින් සිංහල ජාතියට එකතු වනු දකින්න පුළුවන්. වැදි ජනතාවට ආදිවාසීන් කීමෙන් සිංහලයන්ට හෙළයන් සමග ඇති සම්බන්ධය නැති කර ගන්නවා. සිංහලයන් ද වැදි ජනතාව මෙන් ම මෙරට ආදිවාසීන්.
ආදිවාසීන් යන්න ඉංගිරිසින් ඇමරිකාව ඕස්ට්රේලියාව නවසීලන්තය වැනි රටවලට ගිය විට ඒ රටවල සිටි ජනතාව හැඳින්වීමට යොදා ගත් වචනයක්. ඉංගිරිසින් ඒ ආදිවාසීන් සම්පූර්ණයෙන් ම මෙන් නැති කළා. සිංහලයන්ට එසේ කිරීමේ වුවමනාවක් තිබුණේ නැහැ. හෙළයන් වැදි ජනතාව සමග එකට ජීවත් වූවන්. අප වැදි ජනතාවට ආදිවාසීන් කීමෙන් අපේ ආදිවාසිකම නැති කර ගන්නවා. 

ඊනියා ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන්ට මේ කතා වැඩක් නැහැ. ඔවුන් වැදි ජනතාවට ආදිවාසීන් කීමෙන් තම පඬි බව පෙන්වනවා. ඔවුන් හරි කැමතියි ඉංගිරිසින්ගේ සංකල්ප යොදා ගන්න. ඔවුන් සමහර විට හිතනවා ඇති තමනුත් ඉංගිරිසින් වගේ කියා. ඔවුන් හිතනවා ඇති විජය හා පිරිස මෙහි පැමිණ ලංකාව ජනාවාස කළාය කියා. ඔවුන් හිතනවා ඇත්තේ විජයට පෙර මෙරට ජීවත්වූයේ වැදි ජනතාව හා අමනුෂ්‍යයන් ය කියා. 

අප බටහිරයන්ගේ සංකල්ප අවිචාරයෙන් යොදා ගැනීමෙන් අපට ම වින කර ගන්නවා. අර ගුරුවරියගේ කතාව පසුව ගන්නම්. එය සම්පූර්ණයෙන් ම පෞද්ගලිකත්වය හා සාමුහිකත්වය අතර ප්‍රශ්නයක්. බටහිරයන් ක්‍රිස්තියානි නූතනත්වය යටතේ පෞද්ගලිකත්වය ඉස්මතු කරනවා. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය යම් දිනෙක නැති වන්නේ මේ පෞද්ගලිකත්වය හා සාමුහිකත්වය අතර ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකිව. අද අප එක රටක් එක නීතියක් යන සටන් පාඨය යොදා ගන්නේත් මේ පෞද්ගලිකත්වය හා සාමුහිකත්වය අතර ප්‍රශ්නයේ කොටසක් ලෙස. එහෙත් එසේ කීම බොහෝ දෙනකුට තේරෙන්නේ නැහැ. එක රටක් එක නීතියක් යැයි කීම ඔවුන්ට ඊට වඩා තේරෙනවා. මගේ කරුමයකට දෝ මට තරමක් වියුක්ත ව හිතන්න පුළුවන්. හතරවැනි සියවසට පෙර ශූන්‍යය සඳහා සංකේතයක් නිර්මාණය කළ ජාතියකට නැවතත් වියුක්තය ගැන චතුස්කෝටිකය ගැන කියා දෙන්න බැරි ද?