කුවේරලා හා රාවණලා
දෙරණේ විකාශය වන රාවණ ටෙලිනාට්‍යය නරඹන සමහර අයකුට හිතෙන්න පුළුවන් දැනුත් සිද්ධ වෙන්නෙ එදා සිද්ධ වුණු දේ ම තමයි කියල. ටෙලිනාට්‍යයෙ කියන විධියට එදා කුවේර හෙළයේ රජකම භාරතීයන්ගේ උපකාරයෙන් ලබා ගත්ත. ඒ රජකම රැක ගැනීම සඳහා කුවේර හෙළයේ සෑම දෙයක් ම, විශ්ව ශක්ති කේන්ද්‍රය පවා, භාරතීයයන්ට ලබා දෙනවා. ඔහු එසේ කරන්නේ අර භාරතයෙන් පූජකයන් ගෙන ආ දේවි රඳවා ගැනීමට පමණක් නො වෙයි. විශ්ව ශක්තිි කේන්ද්‍රය ලබා දීමට කටයුතු කළ ද, ඒ සාර්ථක විණි දැයි දැන ගැනීමට හැකි වන්නේ පසුවයි.
අදත් රනිල් ලංකාව ම විකුණනවා. එහෙත් ටෙලි නාට්‍යයෙ කුවේර හා රනිල් අතර වෙනසක් තියෙනවා. කුවේර හිටියේ සීගිරියේ. රනිල් ඉන්නේ කොල්ලුපිටියේ. ඒ බව සජිත් දන්නවා. සජිත් දන්නෙ කුවේර හිටියේ කොහෙද කියල නොවෙයි රනිල් ඉන්නේ කොහේ ද කියල. රනිල් කොහේ හිටියත් ඔහු රට විකුණන්නේ රජකම, බලය, අගමැතිකම ලබා ගැනීමට, ඒ රැක ගැනීමට නො වෙයි. රනිල් අගමැති වන්නේ රට විදේශිකයන්ට විකිණීමට. ඔහු අගමැතිකම රැක ගැනීම සඳහා රට විකුණන්නේ නැහැ. ඔහු රට විකිණීම සඳහා අගමැති වෙනවා.
රාවණ ඉපදී ඇත්තේ දේශය විදේශීය ආක්‍රමණවලින් ගලවා ගැනීමට. අද එවැන්නකු මෙරට නැහැ. අද ඉන්න හැම නායකයකු ම අඩුවැඩි වශයෙන් විදේශිකයන්ට යටයි. ඒ බටහිරයන්ට හරි වෙනත් රටකට හරි වෙන්න පුළුවන්. මෙය බටහිරියන්ට කියා කියන්න ඕන ද? කලකට පෙර මහාචාර්ය මීගස්කුඹුර එසේ සඳහන් කළා මට මතකයි. භාරතයේ අය භාරතීයයන් වෙනවා නම් ලංකාවේ අය ඊනියා ලාංකිකයන් වෙනවා නම් බටහිර අය බටහිරියන් වෙන්න ඕන කියල කියන්න පුළුවන්. ඒත් හෙළයේ අය හෙළයන් ද නැත්නම් හෙළියන් ද? ඒ මගේ සිතිවිල්ලක් පමණයි.
අප රටේ ඉතිහාසය යළි යළිත් එක ම ආකාරයකට සිදු වීම සම්මත රටාව කියා කෙනකුට කියන්න පුළුවන්. මේ දිවයින භාරතයෙන් වෙන් වී වෙන ම බිම්කඩක් වූවාට පසු මෙරට වැසියන්, විශේෂයෙන් ම යක්‍ෂයන් කර තිබෙන්නේ දේශය විදේශීය ආක්‍රමණවලින් රැක ගැනීමයි. යක්‍ෂයන් අමනුෂ්‍යයන් බවට පත් කර ඇත්තේත් භාරතයේ ඇතැමුන්ගේ අවශ්‍යතාවට බව පැහැදිලියි. වංගයන් විසින් යක්‍ෂයන් අමනුෂ්‍යයන් කෙරී නැහැ. කුවේර වැන්නන් විදේශිකයන්ට දණ නමා රජකම සඳහා දේශය පාවා දී තියෙනවා. එකල දේශය පාවා දී ඇත්තේ භාරතයට. අද භාරතයටත් චීනයටත් බටහිරටත්.
අපේ ඉතිහාසයේ ප්‍රතාපවත් චරිත කිහිපයක් හමු වෙනවා. රාවණ එක් අයෙක්. රාවණ ඓතිහාසික චරිතයක් ද කියා පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ප්‍රශ්න කරාවි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කියන්නේ බටහිරයන්ගෙ සුවච කීකරු සේකයන්. ගැමුණු විජයබාහු පළමුවැනි පරාක්‍රමබාහු (අර බදු අය කළ තැනැත්තා) හයවැනි පරාක්‍රමබාහු, විමලධර්මසූරිය ඉන් කිහිප දෙනෙක්. මෙයට පිටින් යන අයත් හිටියා. එහි දී කාශ්‍යප, රාජසිංහ අපේ මතකයට එනවා. මා හිතන විධියට නම් ගැමුණු රජුත් අයත් වන්නේ කාශ්‍යප රාජසිංහ ගණයට. කාශ්‍යප රාජසිංහ පිතෘ ඝාතකයන් ලෙස ඉතිහාස ගත කරලා. ගැමුණු රජු යම්තම් පියාට ගැහැණු ආභරණ යැවූ තැනැත්තකු ලෙස පමණක් ඉතිහාසයට එක් කරලා. කෙසේ වෙතත් ඔහු දුටුගැමුණු කෙනකු කරලා.
ඒ කොහොම වුණත් අද එවැනි ගණයේ නායකයන් නැහැ. එහෙම කිව්ව ම ඒ ඒ පක්‍ෂවල ඉන්න අයට අනුගාමිකයන්ට තරහ යනවා. අද අපට සිද්ධ වෙලා තියෙන්නෙ ටික කලක් අල්ලන් ඉන්න. ඒ අතර ඉහත කී ගණයේ නායකයකු බිහි කර ගැනීම. දැනට ඉන්න නායකයන්ගෙන් ප්‍රාතිහාර්ය බලාපොරොත්තු වෙන්න බැහැ. උකුණන් ලවා ගල් අද්දවන්න බැහැ.
එදා රජකමට කුඩා කල සිට පුහුණු කෙරුණා. රාවණ ටෙලි නාට්‍යයෙ වුවත් රාවණ සක්විති රජකමට පුහුණු කෙරෙනවා. අද එවැනි පුහුණුවක් ලැබෙන්නෙ නැහැ. නාථ දෙවියන් නමින් පෙනී සිටින භූතයකු නම් එක්තරා වෛද්‍ය වෘත්තීය සමිති නායකයකු ජනාධිපතිකමට සූදානම් කරනවා. ඒ හැරෙන්නට ඇතැම් තාත්තලා තම පුතාලා දේශපාලනයට ගෙන එන්න උත්සාහ කරනවා.
ජයන්ත චන්ද්‍රසිරි ගායක ගායිකාවන් හා ඔවුන්ගේ දරුවන් ගෙනැවිත් ලෙය සහ ලය කියා වැඩ සටහනක් මෙහෙයවනවා. ජයන්ත ඝරසර්ප නමින් විවිධ දැනුම් පද්ධතීන් ගැන කියන සාර්ථක චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කළා. ඒ ගැන මා විචාරයක් ද කළා. එහෙත් දැන් කරන නිවේදක කටයුත්ත නම් හුදෙක් ප්‍රචාරක කටයුත්තක් පමණයි.
ඒ කොහොම වුණත් දේශපාලනයේ තාත්තලා පුතාලා ගෙන්වල ලෙය හා බය කියා වැඩ සටහනක් නිෂ්පාදනය කරන්න පුළුවන් ද? දේශපාලනයෙවත් කලාවෙවත් ව්‍යාපාරවලවත් වෙන කොහෙවත් පුතාලා වැඩ්ඩන් වෙන්නෙ කලාතුරකින්. සමහරවිට පුතාලා වෙනත් ක්‍ෂෙත්‍රයක වැඩ්ඩන් වෙන්න පුළුවන්. දේශපාලනයෙදි නම් පුතාලා ගෙනෙන්නෙ බය විතරයි. ඒ කියන්නෙ වරිග සභාවලින් පිට ඉන්න අය බය නොගෙනනවා කියන එක නො වෙයි. වොයිස්කට්වල හිනහ වෙවී ඉන්න ඇතැම් දේශපාලනඥයන් වෙනත් වෙලාවට ඉන්නෙ දත්මිටිකමින්.
සුනිල් ශාන්තයන් තම ගීයක කියනවා බලි තරු රාවණ ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා කියා. අද ඉන්න දේශපාලනඥයන් ගැන එහෙම අභිමානයකින් කතා කරන්න බැහැ. හැමෝගෙ ම කිල්ලෝටවල හුණු තියෙනවා. අද අප කරන්නේ හුණු අඩුවෙන් තියෙන කිල්ලෝට තෝරා ගැනීම පමණයි.