Main Logo

Monday 15 July 2019

ජනාධිපති ධුරකාලය අවසන් වන දිනය

ජනාධිපති ධුරකාලය අවසන් වන දිනය



ජනාධිපතිධුර කාලය අවුරුදු පහක් පමණක් බව ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය කරල. එහෙත් තවමත් නොවිසඳී ඇති ප්‍රශ්නය වනුයේ  ඒ අවුරුදු පහ පටන් ගත්තේ කවදා ද අවසන් වන්නේ කවදා ද යන්නයි. මේ ඒ ප්‍රශ්නය විසඳීමට කරන උත්සාහයක්. 


මෙහි දී අපට දහනවවැනි සංශෝධනය වෙනමත් කියවන්න (අපොයි අර පඬියන්ගෙ පඬි කියවීම reading නොවෙයි) වෙනවා. ඒකට හේතුව දහනවවැනි සංශෝධනයෙ සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යන්නෙ නැති වීම. මෙය අඩුවක්. ව්‍යවස්ථා සංශෝධනයක දි අදාළ සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් වෙන විධියට සංශෝධනය ගෙන එන්න ඕන.

අද තර්ක කරන එක කාරණයක් වන්නේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය බලපවත්වන්නේ කවදා සිට ද කියන එක. සමහරු කියනවා දහනවයට කතානායක අත්සන් කළ 2015 මැයි 15 දින සිට කියල. සමහරු එහෙම නොවෙයි කියනවා. මේ කාරණය පැහැදිලි කර ගන්න දහනවයෙ පළමුවැනි වගන්ති තුන උපකාර වෙනවා. ඒ වගන්ති තුන මෙහෙමයි. 

“1. (1) මේ පනත දහනව වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනුවෙන් හඳුන්වනු ලැබේ.
(2) (ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46 වන ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවට අදාළ වන තාක් දුරට වූ මේ පනතේ 9 වන වගන්තියේ විධිවිධාන සහ මේ පනතේ 15 වන වගන්තියේ විධිවිධාන හැර) මේ පනතේ අනෙකුත් විධිවිධාන මේ පනත ක‍්‍රියාත්මක වන දිනයේ දී බලාත්මක විය යුත්තේ ය.
(3) ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46 වන ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවට අදාළ වන තාක් දුරට වූ මේ පනතේ 9 වන වගන්තියේ විධිවිධාන ද, මේ පනතේ 15, 28, 29, 30 සහ 31 වන වගන්තිවල විධිවිධාන ද මේ පනත ක‍්‍රියාත්මක වන දිනයට ඉක්බිතිව ම පවත්වනු ලබන මහ මැතිවරණය අවසන්වීමේ දී බලාත්මක විය යුත්තේ ය.”

මේ නවවැනි වගන්තියේ විධිවිධාන ජනාධිපති ධුරකාලයට අදාළ නැහැ. ඒ වගේමයි 15, 28, 29, 30 හා 31 වගන්තිත්. ඒ වගන්ති 2015 අගොස්තු මැතිවරණය අවසන බලාත්මක වුණත් අනෙක් වගන්ති 2015 මැයි 15 සිට බලාත්මක වුණා. ඒත් ඒකෙන් කියන්නෙ නැහැ ජනාධිපතිධුර කාලය පටන් ගන්නෙ 2015 මැයි 15 සිට කියලා. 

දහනවයෙ හතරවැනි වගන්තියෙන් කියැවෙන්නෙ මෙයයි.
“4. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31 වන ව්‍යවස්ථාව පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ ඃ-
(ආ) ඒ අනු ව්‍යවස්ථාවේ (ඈ) ෙඡ්දයේ ”අවුරුදු හයක කාලයක්” යන වචන යෙදෙන කවර හෝ තැනක ”අවුරුදු පහක කාලයක්” යන වචන ආදේශ කිරීමෙන්”

මේ වගන්තිය බලාත්මක වන්නෙ 2015 මැයි 15 සිට. ඒත් ඒකෙන් කියන්නෙ නැහැ වත්මන් ජනාධිපතිගෙ ධුරකාලය පටන් ගන්නෙ එදා සිට කියල. ඒකෙන් කියන්නෙ වත්මන් ජනාධිපතිගෙ ධුරකාලය කවදා පටන් ගත්තත් එදා ඉඳන් අවුරුදු පහකින් ධුරකාලය අවසන් වෙනවා කියන එක. වත්මන් ජනාධිපතිගෙ ධුර කාලය පටන් ගන්නෙ කවද ද කියන එක දැන ගන්න අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ වෙනත් ව්‍යවස්ථාවල පිහිට පතන්න වෙනවා.

"31(3 ආ) (ඈ) මේ අනුව්‍යවස්ථාව යටතේ පවත්වන ලද ඡුන්ද විමසීමක දී ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇතැයි ප‍්‍රකාශ කරනු ලැබූ තැනැත්තා -
(ii) එවකට ධුරය දරන ජනාධිපතිවරයා නොවේ නම්, ඒ ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කරනු ලැබූ දිනයෙන් ආරම්භ වන අවුරුදු පහක කාලයක් ධුරය දැරිය යුත්තේ ය.
31 (4)ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් පවත්වනු ලබන අවස්ථාවක, ඒ ඡන්ද විමසීමේ දී ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තාගේ ධුර කාලය එවකට ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසාන වූ විට, ආරම්භ විය යුත්තේ ය ඃ
31 (4) (ආ) ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීමක දී එවකට ධුරය දරන ජනාධිපතිවරයා අපේක්ෂකයකු නොවන්නා වූ හෝ නැවත තේරී පත් නොවන්නා වූ හෝ අවස්ථාවක, ඔහුගේ ධුර කාලය, ඒ ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල ප‍්‍රකාශ කරනු ලැබූ දිනයේ දී අවසන් වූවාක් සේ සැලකිය යුත්තේ ය. ඒ ඡන්ද විමසීමේ දී ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගන්නා ලද තැනැත්තා අප‍්‍රමාදව එහෙත් ඒ දිනයේ සිට සති දෙකක් ඉකුත් වීමට පෙර ධුරය භාර ගත යුත්තේ යඃ"

මේ අනුව්‍යවස්ථාවලින් කියන්නෙ වත්මන් ජනාධිපතිගෙ ධුරකාලය මහින්ද රාජපක්‍ෂගෙ ධුරකාලය අවසන් වූ දිනෙන් පසු මෛත්‍රිපාල දිවුරුම් දුන් දින සිට ඇරඹෙන බවයි. මහින්ද රාජපක්‍ෂගෙ ධුරකාලය 31 (4) (ආ) අනුව 2015 ජනවාරි නවවැනි දා උදේ අවසන් වුණා. මෛත්‍රිපාලගෙ ධුරකාලය එදින සවස දිවුරුම් දුන් වෙලාවෙ ආරම්භ වුණා. මේ අනුව්‍යවස්ථා දහනවවැනි සංශෝධනයෙන් වෙනස් වෙලා නැහැ.

2015 මැයි 15 වැනි දා සිට බලාත්මක වන්නෙ දහනවයෙන් සංශෝධනය වූණු වගන්ති කිහිපයක්. සංශෝධනය වුණු තවත් වගන්ති කිහිපයක් 2015 අගෝස්තු මැතිවරණයෙන් පස්සෙ ක්‍රියාත්මක වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ඉතිරි ව්‍යවස්ථා හා අනුව්‍යවස්ථා ඒ දින දෙකට ම පෙර සිට බලාත්මකයි. ඒවා සංශෝධනය වී නැහැ. ජනාධිපතිධුර කාලය පටන් ගැනීම අවසන් වීම ආදිය දහනවයෙන් සංශෝධනය වුණෙ නැහැ

මේ පිළිබඳ කිසියම් සැකයක් තියෙනවා නම් එයත් දහනවයෙ පහත සඳහන් වගන්තියෙන් දුරු වෙන්න ඕන කියල හිතනවා. ඒත් මෛත්‍රිපාලවාදීන්ට හැර.
“49 (ආ) 2015 අප්රේල් මස 22 වන දිනට පෙර පිළිවෙලින් ජනාධිපති ධුරය සහ අග‍්‍රාමාත්‍ය ධුරය දරන තැනැත්තන් එම දිනෙන් පසු, මෙම පනත මගින් සංශෝධිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව එම ධුර දැරිය යුතු වන්නේ ය.”

මේ සංශෝධිත විධිවිධානවලින් ජනාධිපති ධුරකාල ආරම්භ වන දිනය හෝ අවසන් වන දිනය හෝ සංශෝධනය වෙලත් නැහැ.