Main Logo

Friday 5 July 2019

අලි ජීප් බලන්න ඇවිත්

අලි ජීප් බලන්න ඇවිත්

වල් අලි බැලීමට බොහෝ දෙනා මින්නේරිය ජාතික උද්‍යානයට යනවා. අපට ජාතික ප්‍රතිපත්ති නැති වුණාට ජාතික පාසල් ජාතික උද්‍යාන ආදිය තියෙනවා. පසුගිය දා අපි මුණුබුරන් සමග වල් අලි බැලීමට මින්නේරි ගියා. මා හිතුවේ අපට වල් අලි කිහිප දෙනකු ඈතින් සිට බලන්න පුළුවන් වේවි කියා. මගේ හිිතිවිල්ල වැරදියි.


අප බැලිමට අලි සියයකටත් වැඩි සංඛ්‍යාවක් වැව අසලට පැමිණ සිටියා. ඔවුන් ජීප් බලන්න ඇවිත්. අපි අලි බලන්න ගිහින්.   අලි බලන්න අපෙන් මුදල් අය කළාට මා හිතන්නේ නැහැ ජීප් බලන්න අලින්ගෙන් මුදල් අය කරනවා කියා. ඒ අය කිරීම රුපියල්වලින් කරන්න ද පවුම්වලින් කරන්න ද ඩොලර්වලින් කරන්න ද යුආන් වලින් කරන්න ද රූබල් වලින් කරන්න ද? ඒ ගැන කාට හරි සම්ක්‍ෂණයක් කරල පත්‍රිකාවක් පළ කර ගන්න පුළුවන් ද? ඒක අලින්ටත් වැදගත් වේවි. මා කියන්නේ කකුල් දෙකේ අලි ගැන නො වෙයි.

කොහොමටත් මින්නේරියෙ වල් අලි නැහැ. එහෙ ඉන්න අලි දෙහිවල සත්වොද්‍යානයෙ ඉන්න අලින්ටත් වඩා පඬියන්ගෙ භාෂාවෙන් කියනව නම් සංස්කෘතික අලි. සමහරවිට පශ්චාත්නූතන අලි වෙන්න බැරි නැහැ. නැත්තන් උන් ජීප් බලන්න ඒවියැ. දෙහිවල අලි ජීප් හඳුනන්නෙ නැහැ. මින්නේරියෙ අලි ජීප් වර්ග ප්‍රවර්ග ගැනත් දන්නවා. මගෙන් අහන්න එපා මින්නේරියෙ අලින් ප්‍රවර්ග (කැටිගරි) ප්‍රවාදය දන්නව ද කියල. දැන නොගත්තත් උන්ට ඒ ගැන වශ්වාසයක් ඇති.  හැමෝට ම තියෙන්නෙ විශ්වාස. ඉතින් අලින්ට විශ්වාස තිබුණ ම මොකෝ?

අලි වැවට එන්නෙ ජීප් බලන්න. අපි යන්නෙ අලි බලන්න. අර කතාවක් තියෙනව අලි මුහුද කෝච්චි කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැහැ කියල. මා හිතන්නෙ අලින්ටත් ජීප් කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැහැ කියල. අලින්ට ජීප් සද්දෙ හොඳට හුරුයි. අලි පැටවුන්ට ජීප් පෙන්නන එක අලි අම්මලගෙ ප්‍රධාන රාජකාරිය වෙලා.

වැව වටේට ජීප්. ජීප්වල විවිධ මිනිස්සු. සුදු කහ රතු දුඹුරු කළු මිනිස්සු. කොණ්ඩෙ කපපු කොණ්ඩ බාපු කොණ්ඩ වවපු මිනිස්සු, පිරිමි ගැහැණු ළමයි වෙනත්. රැවුල කපපු රැවුල වවපු පිරිමි. විවිධ ඇඳුම් ඇඳ ගත්ත ගැහැණු පිරිමි. ඒත්   අලි අඳින්නෙ නැහැ. ඇඳ ගන්නෙත් නැහැ. කකුල් දෙකේ අලි වගේ නො වෙයි. අලි වැවට එන්නෙ ඇඳ ගත්ත මිනිසුනුත් බලන්න.

අලි පැටවු ජීප් ළඟට ම එනවා. උන් ජීප්වලට බය නැහැ. ජීප්වලට ගහන්න එන්නෙත් නැහැ. අලි පැටවු හරි හුරතල්. උන් තණකොළ කනවා. හොඬවැලෙන් තණකොළවලට ගහනවා. ටිකක් කනවා. වැඩිය විසිවෙනවා. ඒ කියන්නෙ තණකොළ අහක යනවා. ඒක අහක දැමිල්ලක් ද කියල වනජීවියෙන් අහන්න බැහැ. මේ අලි වනජීවි නොවෙයි. උන් පශ්චාත්නූතන සංස්කෘතික අලි.

අලි බැරිවෙලාවත් ඇහුව නම් වනජීවි ඇමති කවුද කියල අපි අමාරුවේ වැටෙනවා. අප්පච්චි මළෝ දැන් නැහැ නොවැ. මේ ඇමතිල වෙනස් වන හැටියට අලියකුටවත් බහැ ඇමති ලැයිස්තුව මතක තියා ගන්න. අගමැති නම් වෙනස් වෙන්නෙ නෑහැ. අර කවුද කිව්ව වගේ අවුට් වුණත් යන්නෙ නැහැ. ඒත් ගිය අවුරුද්දෙ නම් අවුට් වෙලා යන්න ගියා. එතකොට අර පන්දු යවන පැත්තෙ  කවුද දෙන්නෙක් අම්පයර්ට ගිහිල්ල කිව්ව අවුට් නැහැ කියල. ඒ ගොල්ලන් අනෙක් පැත්තෙ ඉඳන් ක්‍රීඩා කරල තියෙන්නෙ පිතිකරුවන්ගෙ පැත්තට. අම්පයර් කිසි කතාවක් නැතිව නොටවුට් කිව්ව පිට්ටනියෙ කොණකට ගිහින්. අම්පයර් පිට්ටනියෙ පකොහේ හිටියත් අම්පයර් ම තමයි කියාපි. ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රශ්නය ඔවුන්ට හොඳ පිට්ටනි වගේ ම හොඳ අම්පයර්ලා හම්බ නොවීම කියල හිතෙනවා.

වැව වටේට ඉස්සර නම් ජීප් සිය ගණනක් තියෙනවළු. ඒත් අර සහරාන් ඒක වෙනස් කරල. ඒ ගැන දන්න කෙනෙක් නැහැලු. කවුරුන්වත් සහරාන් ගැන දැනගෙන ඉඳලා නැහැ. හැමෝ ම මොකක් හරි කියල නිදොස් වෙනවා. දැන් ජීප් දහයක් විතර තමයි එන්නෙ කියල අපේ ජීප් රථයෙ රියැදුරු මහතා කිව්ව. අර මොකක් ද සඟරාවක ලංකාව ලෝකයෙ හොඳ ම රට කියල තියෙන නිසා තව ටික කලකින් ජීප් වැඩිවෙයි කියල අලි හිතන් ඉන්නවා. ඒ සඟරාව අච්චු ගහන්නෙ රජයෙ මුද්‍රණාලෙ ද කියල අලි පැටියෙක් අහපි. අලි අම්ම කෙනෙක් කිව්ව ඒ අයට හැමදා ම ගැසට් ගහන්න තියෙන නිසා සඟරා ගහන්න වෙලාවක් නැහැ කියලා.

ඒත් පශ්චාත්නූතනවාදී අලි බලාපොරොත්තුවෙන් ඉන්නව ජීප් වැඩිවෙයි කියල. වැව වටේ සිය ගණනක් ජීප් බලන්න අලින්ට ආසයි. ඒ ආවත් වැව වටේ ජීප් පිරුණත් වැව පිරෙයි ද? දැන් නම් වැවේ වතුර අඩුයි.