Main Logo

Monday, 22 July 2019

සිංහලයන්ට වින කරන නායකයෝ

සිංහලයන්ට වින කරන නායකයෝ 

ඊයේ පාස්කු ප්‍රහාරයට මාස තුනක් පිරීම නිමිත්තෙන් විවිධ සැමරීම් පැවැත්වුණා. කටුවපිටිය පල්ලිය නැවත බැතිමතුන්ට විවෘත වුණා. සමහර පල්ලිවල බෞද්ධ ක්‍රමයට පින් දීලා. ක්‍රිස්තියානි (කතෝලික) ආගම මෙරටට පැමිණියේ යටත්විජිතවාදීන් සමග. එමෙන් ම බටහිරින් පැමිණි යටත්විජිතවාදීන් බුදුදහමට බුද්ධාගමට (බෞද්ධ සංස්කෘතියට) නිගා කළා, පහර දුන්නා. මේ සියළු දේ සමගින් බෞද්ධයන් හා කිතුණුවන් අතර ප්‍රශ්න ඇති වුණා. එහෙත් ඒ අතරත් කුල වශයෙන් ගත් කල බෞද්ධයන් හා කිතුණුවන් අතර ආවාහ විවාහ කටයුතු කෙරුණා. ඇතැම් විට ආගමට වඩා කුලය වැදගත් වුණා.

පාණදුරා වාදය කෙරුණේ බෞද්ධයන් හා ඇංග්ලිකන් ක්‍රිස්තියානින් හා මැතෝදිස්තවරුන් අතරයි. අද වන විට මේ භේද නැති වෙලා. සිංහල බෞද්ධයන්ට නොයෙකුත් දෙවිවරුන් ඉන්නවා. ඊනියා උගතුන්ට අනුව නම් මේ දෙවිවරුන් ඔක්කොම හින්දු දෙවිවරුන්. එසේ වීමට හේතුව සිංහල බෞද්ධ රජවරුන් භාරතයෙන් (වත්මන් දකුණු ඉන්දියාවෙන්) හින්දු බිසෝවරුන් ගෙන්වීම බවත් උගතුන් පෙන්වා දෙනවා. සිංහල බෞද්ධයන්ගේ දෙවියන් ඉන්නේ එයට බොහෝ කලකට පෙර. ගැමුණු රජු මහසෙන් දෙවියන් හමුවේ පුද පූජා පවත්වලා තියෙනවා. ඊනියා උගතුන් සිංහල බෞද්ධයන්ගේ යක්‍ෂ සම්භවය කීමට අකමැති නිසා දෙවියන් හින්දු බිසෝවරුන්ට පවරලා. 

මේ සමහර උගතුන් සඳකඩපහණෙහි ගව රූප පොළොන්නරු කාලයෙහි ඉවත් කෙරුණේ හින්දු බලපෑම නිසා කියා තියනවා.  ගවයා පෑගීම හින්දුන්ට අනුව හොඳ නැහැ. ඒක එහෙම වෙන්න පුළුවන්. ඒත් මේ ඇතැම් උගතුන් සඳකඩපහණෙහි නෙළුම් මල නිවන දක්වන එකක් ලෙස අර්ථ දක්වා එය පාගන්න සලස්වනවා. ඒ කොයි හැටි වෙතත් අපේ දෙවිවරු ලැබුණේ හින්දුන්ගෙන් ම නො වෙයි. අපට හින්දුන්ගෙන් ලැබුණු දෙවිවරුනුත් අප එක්කෝ අපේ දෙවිවරුන් සමග මිශ්‍ර කරගෙන. එහෙමත් නැත්නම් ඒ දෙවිවරුන් බෞද්ධ කරගෙන. විෂ්ණු උපුල්වන් දෙවිවරුන් ගැන සලකන්න. විෂ්ණු දෙවියන් සිංහල බෞද්ධයනට අනුව මතු බුදු වෙනවා. 

හින්දු හා බෞද්ධ සංස්කෘතීන් අතර ඇති නෑකම පවත්වා ගෙන යෑමට ඉඩ නෙදෙන්නේ දේශපාලනඥයන්. ඒ බලයට පත්වීම සඳහා භේද කර ඡන්ද ලබා ගැනීමට. ක්‍රිස්තියානි හා බෞද්ධ සංස්කෘතීන් අතරත් භේදයක් ඇති කරන්නේ බලලෝභී දේශපාලනඥයන්. පාස්කු ප්‍රහාරයෙන් සිදු වු එක් දෙයක් නම් කතෝලික හා බෞද්ධ සංස්කෘතීන් අතර ඇති වූ සම්බන්ධයයි. එය තව තවත් වර්ධනය කර ගත යුතුයි. කලකට පෙර ක්‍රිස්තුස් වහන්සේ බෝධිසත්වයකු ලෙස සැලකීමට මා යෝජනා කළ අවස්ථාවේ එයට  දසතින් විරෝධය පැන නැගුණා. මා කියා සිටියේ ක්‍රිස්තියානි (කතෝලික) ආගමේ යටත්විජිත සම්භවය නොවන්නට එය පහසු කටයුත්තක් විය යුතු බව. විෂ්ණු දෙවියන් බෝසතකු කර ගත් සිංහල බෞද්ධයනට ක්‍රිස්තුස් වහන්සේ බෝධිසත්වයකු කර ගැනීම අපහසු විය යුතු නැහැ. 

සිංහල බෞද්ධ සංස්කෘතික සෙවණේ සියළු ජනතාව එකතු කිරීමට ඉඩ නොදෙන්නේ දේශපාලනඥයන්. අද මේ දේශපාලනඥයන් බලය ලබා ගැනීම සඳහා මුස්ලිමුන් ඈත් කර තබා මුස්ලිම් ඡන්ද ලබා ගැනීමට කටයුතු කරනවා. මුස්ලිම් ඡන්දවලට ඇති පෙරේතකම නිසා ඔවුන් පාස්කු ප්‍රහාරය ගැන විධිමත් පරීක්‍ෂණයක් කරන්නේ නැහැ. කාදිනල්තුමා ඊයේ ඒ ගැන කතා කර තිබුණා. මේ ඡන්ද පෙරේතකම ඇත්තේ මුස්ලිම් දේශපාලනඥයන් හරහා. සිංහල දේශපාලනඥයන් කෙලින් ම දෙමළ කතා කරන ජනයාට, මුස්ලිම් ජනයාට කතා කරන්නේ නැහැ. ඔවුන් දෙමළ කතා කරන  හා මුස්ලිම් දේශපාලනඥයන් සමග ගණුදෙනු කරනවා. ඒ ගණුදෙනුවල දී අදාළ දේශපාලනඥයන්ට විචිධ පොරොන්දු දෙනවා. ඒ පොරෙන්දු දේශපාලනඥයන්ට දෙන පොරොන්දු. දේශපාලනඥයන්ගේ බලතල වැඩි කරන පොරොන්දු. ඒත් ජනතාවට එයින් සතපහක වැඩක් වන්නේ නැහැ. 

පළාත් සභා ඇති කිරීමෙන් සිංහල හෝ දෙමළ කතාකරන හෝ මුස්ලිම් හෝ ජනතාවට වු සෙත කුමක් ද? මහා විශාල මුදලක් වියදම් කර තැනූ බස්නාහිර පළාත් සභාවේ ගොඩනැගිල්ලේ වටිනා පුටු රත් කිරීමේ අවස්ථාව හා ඒ මගින් වරප්‍රසාද ලබා ගත් අයට හැරෙන්නට ජනතාවට සිදු වී ඇති සෙත කුමක් ද? දේශපාලනඥයන් තම තමන් අතර ගණුදෙනු (ඩීල්) ඇති කර ගන්නේ තම තමන්ගේ යහපත සඳහා පමණයි. 

අද මුස්ලිම් ඡන්ද (ඒ කියන්නේ දේශපාලනඥයන්ගේ ඡන්ද) ලබා ගැනුමට හැම පක්‍ෂයක් ම පොර කනවා. රනිල් ඒ සම්බන්ධයෙන් කරන දේ පැහැදිලියි. ඔහු පාස්කු ප්‍රහාරය ගැන පරීක්‍ෂණ  නිසියාකාර ව කරන්න දෙන උපදෙසක් නැහැ. හකීම්ලා තවදුරටත් එකට සිටින බව කියමින් අවශ්‍ය නම් විපක්‍ෂයේ අසුන් ගන්නා බව කියමින් ගණන් උස්සනවා. 

බැසිල් රාජපක්‍ෂ මුස්ලිම් හා දෙමළ කතා කරන ඡන්දවල ඇති වටිනාකම කියමින් සිංහල ඡන්දවලින් පමණක් දිනන්න බැහැ කියමින් පොහොට්ටුව නොමග යවනවා. සිංහල ඡන්දවලින් දිනන්න පුළුවන් හොඳ ම අවස්ථාව දැන් පැමිණිලා. නිවට සිංහල දේශපාලනඥයන් සිංහලයන්ට සෘජුව කතා කරන්නේ නැහැ. 75%ක් සිංහලයන් සිටින රටක ඔවුන්ගෙන් තුනෙන් දෙකක් (66. 7 %) පමණ ගත්තොත්  දිනන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයන්ගෙන් 60%ක් පමණ එ ජා පක්‍ෂයට විරුද්ධ ව ඡන්දය දෙනවා. ගියවර පළාත් පාලන ආයතන ඡන්දයේ දී පොහොට්ටුවට ඒ ලබා ගැනීමට බැරි වුණා. එපමණක් නොව පහුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද පැරදුණා. ඒ බැසිල්ගේ සංවිධානාත්මක ශක්තිය යටතේ. මේ හැම වතාවක ම  බැසිල් හා පිරිස (ජී එල් පීරිස්, චන්ද්‍රප්‍රේම වැනි) ඊනියා සුළු ජාතික ඡන්ද සොයා ගොස් සිංහල බෞද්ධ ඡන්ද නැති කර ගත්තා. අදත් එය කරනවා. 

අද සිංහලයන් ආගමික භේදයකින් තොරව එකතු කරන්න පුළුවන්. ඒත් මුස්ලිම් නායකයන්ගේ ඡන්දවලට කෑදර කමින් බොරු උපකල්පන මත පදනම් වෙමින් සිංහල දේශපාලනඥයන් සිංහලයන්ට කතා කරන්නේ නැහැ. එසේ කතා කිරීම ජාතිවාදි යැයි ඔවුන් සිතනවා. මේ අය ඊනියා ස්මාට් ජාතිවාදීන්. සිංහල ඡන්දවලින් තුනෙන් දෙකක් ලබා ගැනීම අද අමාරුවක් නැහැ. ඒ අතර දෙමළ කතා කරන ජනයාගෙන් ද ඡන්ද ලැබෙනවා. ප්‍රශ්නය සෘජුව කතා කළොත් මුස්ලිම් ඡන්දත් යම් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේ ඊනියා සිංහල නායකයන් වැඩ කරන්නේ බටහිර දැනුම්  ආධිපත්‍යය අනුව. 

ඒ ගමන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයකු එනවා මුස්ලිම් ජනයාට අප රටේ ඇති වී තිබෙන ප්‍රශ්න ගැන කතා කරන්න. මුස්ලිමුන් ගැන මෙරට සැකයක් ඇති වී තිබෙනවා. එයට හේතුව ඇතැම් මුස්ලිමුන්ගේ ක්‍රියා කලාපයයි. ඒ ක්‍රියා නැති කරන්න එවිට සැකය ද නැති වේවි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලික වශයෙන් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතික සංස්ථාපනයේ තවත් ආයුධයක්. රුසියාවට හා චීනයට වීටෝ (නිෂේධ) බලය තියෙන එක පමණයි එහි ඇති විශේෂත්වය. මේ සංවිධානවල නියෝජිතයන්ට ආපහු යන්න කියන්න කොන්දක් නිවට නායකයන්ට නැහැ. 

මේ නායකයන් ඉවත් කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ඇති වෙනවා. පහුගිය ඔක්තෝම්බරයේ රනිල් ඉවත් කෙරුණා. එහෙත් පොහොට්ටුව මහින්දගේ ආණ්ඩුව රැක ගැනීමට කටයුතු කෙළේ නැහැ. බැසිල් ඇතිව මහින්දගේ හෝ ගෝඨාභයගේ හෝ ආණ්ඩුවක් පිහිටුවා ගත්තත් එතරම් වැඩක් වෙන එකක් නැහැ. එහෙත් අපට වෙන විකල්පයකුත් නැහැ. අද ජාතිකවාදීන් අභිබවා ඊනියා ස්මාට් ජාතිකවාදීන් ඉදිරියට ඇවිත්. 

රනිල්ට ගෙදර යන්න කිව්වට ඔහු යන්නේ නැහැ. ගෙදර යැව්ව වෙලාවෙත් ජ වි පෙ දෙමළ ජාතික සංධානය හා මුස්ලිම් පක්‍ෂ මෙන් ම තිරයෙන් පිටුපස පොහොට්ටුවත් රනිල් රැක ගත්තා.