Main Logo

Wednesday 3 July 2019

පක්‍ෂ දේශපාලනයෙන් ඉවත් වීම


පක්‍ෂ දේශපාලනයෙන් ඉවත් වීම 

එක් සංස්කෘතියක ඇති අංගයක් වෙනත් සංස්කෘතියකට අවශෝෂණය කිරීම පහසු කටයුත්තක් නො වෙයි. බටහිර සංගීතයේ විශාරදයන් සේ පෙනී සිටින ඇතැමුනට බටහිර සංගීතය මෙරට සංස්කෘතියට අවශෝෂණය කර ගන්න බැරි  වෙලා තියෙනවා. බටහිර විද්‍යාඥයන් ලෙස ඉස්මතු වෙන්න දඟලන්නන් බටහිර විද්‍යාව මෙරට සංස්කෘතියට අවශෝෂණය කිරීම සඳහා කර ඇත්තේ කුමක් ද? සිනමාව, නවකතාව ආදී සෑම ක්‍ෂෙත්‍රයක ම ඒ ප්‍රශ්නය අහන්න පුළුවන්. අනෙක් අතට ඒ ඒ ක්‍ෂෙත්‍රවලට මේ පඬියන් විශාරදයන් කර ඇති දායකත්වය (ප්‍රදානය) මොකක් ද? මහා දාර්ශනිකයන් ලෙස පෙනී සිටින්නන් බටහිර දර්ශනයට එකතු කර ඇත්තේ කුමක් ද?


ඒ කතා පැත්තකින් තියන්න. අපට පාරේ වාහන පැදවීම අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට හැකි වී තිබෙනවා ද? අපට මාර්ග නීති අදාළ නැද්ද? අප මාර්ග නීති පිළිපදින්නේ නැත්තේ ඇයි. මාර්ග නීිති නොවෙයි කිසිම නීතියක් අප පිළිපදිනවා ද? අදාළ පුද්ගලයන්ට අතමිට මොළවා, දේශපාලන හයිය ලබාගෙන, තමන්ට ඇති පිරිස් බලය, සමාජ බලය ආදිය යොදා ගෙන නීතියෙන් පැන යෑමට අප උත්සාහ කරන්නේ නැත් ද? අපට රෝම ලන්දේසි නීතිය අපේ කර ගන්න බැහැ. අප ඔප්පු ලියනවා. හැකි නම් හොර ඔප්පුත් ලියනවා. කච්චේරියේ ඇති පත්තීරු ගලවනවා, වෙනස් කරනවා.

අප රටේ තිබුණේ සාමූහිකත්වය මුල් කර ගත් සිරිත් (නීතිය). රෝම ලන්දේසි නීතිය පෞද්ගලිකත්වය මත ම රැදෙන නීතියක්. අපට ඇති ප්‍රශ්නය සාමූහිකත්වය හා පෞද්ගලිකත්වය අතර මැද තැනක් සොයා ගැනීමට බැරි වීම. අප බටහිරයන්ගේ පෞද්ගලිකත්වය ලබා ගෙන ඇත්තේ සාමූහිතත්වය බල්ලට දැමීමෙන්. එපමණක් නොවෙයි. බටහිරයන්ගේ පෞද්ගලිකත්වයේ ඇති අනෙක් අයගේ පෞද්ගලිකත්වයට ගරු කළ යුතු ය යන්න ද බල්ලට දැමීමෙන්. බටහිරයන් සාමූහිකත්වය යම් ප්‍රමාණයකට නමුත් රඳවා ගත්තේ අනෙක් තැනැත්තාට ද පෞද්ගලිකත්වයක් ඇත හා එයට ගරු කළ යුතු ය යන්න තහවුරු කර ගැනීමෙන්. අප බටහිරයන්ගේ පෞද්ගලිකත්වය ලබා ගත්තේ අනෙක් අයගේ පෞද්ගලිකත්වය බල්ලට දැමීමෙන්. පාරේ වාහන පදවන විට අප හිතන්නේ පාර අපේ ඉඩමේ ඇති එකක් ලෙස සලකමින්. අනෙක් අය ද පාරේ යන බව අප අමතක කරනවා.

දේශපාලනයේදීත් ඒ එසේමයි. පක්‍ෂ දේශපාලනය අපට ලැබුණේත් බටහිර බොහෝ දේ මෙන් ම එංගලන්තයෙන් හා අනෙක් සුද්දාවාසවලින්. මා සුද්දාවාස කියන්නේ බුදදහමේ කියැවෙන සුද්ධාවාසවලට නොව නොව සුද්දන් වාසය කරන රටවලට. පක්‍ෂ දේශපාලනය ඇති වුණේ රදළයන්ගෙන් හා රජුගෙන් යම් ආකාරයකට ඊනියා පොදු ජනයාට බලය මාරු වීමේ දී ඒ බලය යොදා ගැනීමේ ක්‍රමයක් ලෙස. දේශපාලන පක්‍ෂය යන්න රට වෙනුවෙන් බලය ලබා ගැනීමට යොදා ගන්නා ආයුධයක්. අප රටේ දේශපාලන පක්‍ෂ ඇරඹුණේ ලංකා සමසමාජ පක්‍ෂයෙන්. එහි රට වෙනුවෙන් කතාවක් තිබුණේ නැහැ. තිබුණේ ඊනියා කම්කරු පංතිය වෙනුවෙන් කියන එක. කම්කරු පංතියක් අනුර දිසානායක හෙවත් දාසනායකටවත් පෙන්නීමට බැහැ. කම්කරු පංතියක් නැහැ. එය මාක්ස්ගේ හිතළුවක් පමණයි. එහෙත් සමසමාජ පක්‍ෂය ඒ හිතළුව වෙනුවෙන් ඇති කර ගත්තක්. අද සමසමාජ පක්‍ෂය  හිතළුවක් පමණක් බවට පත් වෙලා.

පසුව 1947 මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්‍ෂය හදා ගත්තා. ඒ සඳහා විවිධ කණ්ඩායම් එකතු වුණා. එහෙත් රට ගැන හැඟීමක් තිබුණේ නැහැ. තිබුණේ බලය ලබා ගැනීම පිළිබඳ වුවමනාව පමණයි. ඩී එස් සේනානායක පක්‍ෂයේ නායකයා වුණා. ඔහුට වුවමනා වුණේ ඔහුගෙන් පසු ඩඩ්ලි සේනානායක අගමැති කරන්න. ඔහු ඒ සඳහා එවකට අග්‍රාණ්ඩුකාර සෝල්බරි සමග සාකච්ඡා කර තිබුණා. අද ඇති පවුල්වාදය  සිංහලයන් අතරට ගෙන ආවේ සේනානායකලා. දෙමළ නායකයන් අතර එය ඊට කලින් තිබුණා.

මෙරට දේශපාලන පක්‍ෂ යොදා ගැනෙන්නේ තමන්ගේ හා පවුලේ අපේක්‍ෂා සඳහායි. රටේ අවශ්‍යතා සඳහා නො වෙයි. ඒ නිසා ම තමයි අපට ජාතික ප්‍රතිපත්ති නැත්තේ. සුද්දාවාසවල දේශපාලන පක්‍ෂ ක්‍රියා කරන්නේ රට වෙනුවෙන්. ඔවුන් අතර වෙනස්කම් තිබුණත් රටේ පොදු ප්‍රශ්නයක දී ඔවුන් එකඟ වෙනවා. ඒත් අපට වඩා වැදගත් වන්නේ පෞද්ගලිකත්වය. පවුල්වාදය. සාමූහිකත්වය අපෙන් තුරන් වෙලා.

යමකු දේශපාලන පක්‍ෂයකට බැඳෙන විට සමාජය ගැන හැඟීමක් තියෙන්න පුළුවන්. එහෙත් පක්‍ෂ ක්‍රියාකාරීත්වය ඇත්තේ සමාජය හා රට අමතක කර තමාට හා පවුලට සේවය කිරීමට. අර පුද්ගලයා වැඩි කල් නොගොස් ඒ රටාවට අනුගත වෙනවා. අප කෙසේ නමුත් මේ දේශපාලන පක්‍ෂ ක්‍රමයට වෙනුවට වෙනත් ක්‍රමයක් සකස් කර ගන්න ඕන. එළඹෙන ජනාධිපතිවරණය ඒ සඳහා සුදුසු අවස්ථාවක්.

මෙරට රජුන් තනනු ලැබුවේ භික්‍ෂූන් වහන්සේ විසින්. ජනාධිපති අපේක්‍ෂකයා ප්‍රධාන පක්‍ෂයකින් නම් කළ යුතු නැහැ. අපේක්‍ෂකයා නම් කළ යුතුව ඇත්තේ භික්‍ෂූන් වහන්සේ විසින්. අද ඔය දේශපාලන පක්‍ෂ නම් කිරීමට පෙර ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තෝරා ගෙන අවසන්. භික්‍ෂූන් වහන්සේත් එලෙස ම තෝරා ගෙන ඇති බව මා දන්නවා. භික්‍ෂූන් වහන්සේ ගෝඨාභයගේ නම ප්‍රකාශ කරන්නේ නම් ඉන් රටට යහපතක් වේවි. ගෝඨාභය ප්‍රධාන දේශපාලන පක්‍ෂයකින් ඉදිරිපත් නොවී වෙනත් අප්‍රසිද්ධ දේශපාලන පක්‍ෂයකින් ඉදිරිපත් වෙනවා නම්  හොඳයි. අද තිබෙන ක්‍රමය අනුව අපට පක්‍ෂ දේශපාලනයෙන් සම්පූර්ණයෙන් මිදෙන්න බැහැ. අද තිබෙන ක්‍රමය අනුව යමකු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර නැත්නම් දේශපාලන පක්‍ෂයකින් ම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුයි. එබැවින් අපට යම් දේශපාලන පක්‍ෂයක් අවශ්‍ය වෙනවා. එහෙත් ප්‍රධාන දේශපාලන පක්‍ෂයකින් ඉදිරිපත් නොවූ විට අනෙක් පක්‍ෂවල අනුගාමිකයන්ටත් ඒ අපේක්‍ෂකයාට ඡන්දය දීමේ අවස්ථාව හිමි වෙනවා.

මහා සංඝායා වහන්සේත් ජනතාවත් ගෝඨාභය රාජපක්‍ෂ තෝරා ගෙන ඇත්තේ ඔහු මහින්ද රාජපක්‍ෂගේ සොහොයුරකු වීම නිසා නො වෙයි. ඔහුගේ හැකියාව අනුව ඔහු තෝරා ගෙන ඉන්නවා. යම් අයුරකින් ඔහුට ඉදිරිපත් විය නොහැකි නම් භික්‍ෂූන් වහන්සේ රජුන් තනන්නන් ලෙස වෙනත් අපේක්‍ෂකයකු තෝරා ජනතාවට ඉදිරිපත් කිරීම අපේ සම්ප්‍රදායයි. ඒ රාජපක්‍ෂ කෙනකු විය යුතු නැහැ. ධාතුසේන කුමරු තනනු ලැබුවේ මහානාම හිමියන් විසින්.

අපේක්‍ෂකයා තෝරා ගැනීම පක්‍ෂවලට පැවරිය යුතු නැහැ. අද අප කරන්නේ පක්‍ෂවලින් තෝරාගත් කිහිප දෙනකුගෙන් එක් අයකුට ඡන්දය දීම පමණයි. ඒ වෙනුවට තමන් තම පවුල ගැන නොව රට ගැන සිතන භික්‍ෂූන් වහන්සේ අපට අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් එය පක්‍ෂ දේශපාලනයෙන් ඉවත් වීමට සුදුසු ආරම්භයක් ලබා දේවි.