Main Logo

Thursday 4 July 2019

මහින්ද හුදු ඡන්දකාන්ත තත්වයෙන් මිදිය යුතුයි

මහින්ද හුදු ඡන්දකාන්ත තත්වයෙන් මිදිය යුතුයි


පූජිත ජයසුන්දරට හා හේමසිරි ප්‍රනාන්දුට විරුද්ධව නඩු පවරලා. ඒ ගැන නඩුව ඉවරවන තුරු කතා කරන්න බැහැ. එහෙත් මේ නඩුව මෙසේ පැවරෙන්නේ දේශපාලන කුලල් කා ගැනීම නිසා. ඊනියා පාර්ලිමේන්තු තේරීම් කමිටුව (මෙයට ඊනියා යන පදය එක් කරන්නේ ඇයි ද යන්න කලින් ලිපියක කියා ඇති) පත් නොකරන්න මේ නඩු පැවරෙන එකක් නැහැ. ඊනියා පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ සභාපති විසින් කියවන ලද ලිපියකින් පූජිත ජයසුන්දර නිදහස් කෙරුණා. 


අද රටේ ආණ්ඩු දෙකක් තියෙනවා. යුක්තිය පසිඳලන ආයතනත් දෙකක් තියෙනව ද කියන ප්‍රශ්නය අහන්න වෙනවා. පහුගිය ඔක්තෝම්බර් විසිහය වැනිදා පිහිටුවන ලද ආණ්ඩුව රැක ගැනීමට විපක්‍ෂයේ ඇතැමුන් කටයුතු නොකිරීම මේ සියල්ලේ මුල තියෙනවා. එදා ආණ්ඩුව රැක ගැනීමට හැකියාව තිබියදීත් එසේ හැකියාව තිබෙනවා යැයි ජනතාව සිතා ගෙන සිටි පුද්ගලයන් ම යම් යම් හේතු නිසා ආණ්ඩුව පාවා දුන්නා. ඒ අයට ජාතියේ ම ශාපය හිමි වනු ඇති. 

ඔක්තෝම්බර් විසිහය වැනි දා සිට අද වන විට මාස අටක් පමණ ගත වී තිබෙනවා. ඉන් මාස දෙකක් පමණ තිබුණේ දින පනහේ ආණ්ඩුව. ඒ කියන්නේ මෙරට අරාජික වී දැන් මාස හයක් පමණ ගත වී තිබෙනවා. ඒ මාස හය ඇතුළත අමාත්‍ය මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ හෝ අනුමැතිය නොමැති ව රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස අත්සන් කර ඇති කිසිම ගිවිසුමක් වලංගු වන්නේ නැති බව විපක්‍ෂය කියන්නේ නැහැ. 

රට අරාජික වීමෙන් පසුවයි පාස්කු ප්‍රහාරය සිදු වුණේ. ඔක්තෝම්බර් විසිහය ආණ්ඩුව තිබුණා නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට තිබුණා. පාස්කු ප්‍රහාරයෙන් පසුව ඒ කෙළේ කවුද එහි පසුබිම කුමක් ද අයිසිස් සංවිධානයේ මෙරට සාමාජිකයන් නියෝජිතයන් කවුද අයිසිස් ආසියාවට ව්‍යාප්ත වන්නේ ඇයි ද අයිසිස් සහ සමස්තයක් ලෙස වහාබ්වාදී සංවිධාන පිටුපස අද ඉන්නේ කවුද මෙරට වහාබ්වාදය පරාජය කරන්නේ කෙසේ ද ආදී ප්‍රශ්න පිළිබඳ ව කිසිවකු කිසිවක් කරන දෙයක් පේන්න නැහැ. ඒ කුලියාපිටියේ ෆෝක්ස්වාගන් කම්හල මෙනි. පේන්න නැහැ.

ඒ වෙනුවට එක් ආණ්ඩුවක් හා එයට පක්‍ෂපති නිලධාරීන් අනෙක් ආණ්ඩුවට හා අනෙක් ආණ්ඩුවට පක්‍ෂපාති නිලධාරීන්ට චෝදනා එල්ල කිරීම්, තමන්ගේ අය බේරා ගැනීම් ආදිය පමණක් පේන්න තියෙනවා. එක් ආණ්ඩුවක් පොලිස්පතිට හා ආරක්‍ෂක ලේකම්ට විරුද්ධ ව චෝදනා ඇත්නම් ඒ දින කිහිපයක් ඇතුළත භාර දීමට යැයි කීම තරම් අපරාධයක් තවත් තියෙන්න බැහැ. ආණ්ඩුව කවරක් හෝ වේවා පාස්කු ප්‍රහාරය ගැන නිසි පරීක්‍ෂණ පවත්වනවා වෙනුවට ඉදිරිපත් වූ චෝදනා පමණක් දින කිිහිපයක් ඇතුළත විභාග කර චූදිතයන් නිදහස් කිරීම අලුත් විමර්ෂණ පටිපාටියක් වෙන්න ඕන.

පසුගිය අවුරුදු හතරයි මාස හයක පමණ කාලයක මහින්ද රාජපක්‍ෂ දේශපාලන වශයෙන් වැරදි තීන්දු ගණනාවක් ගෙන තිබෙනවා. මා මෙසේ කීම ගැන ඔහුට ඡන්දය දුන් අයගෙන් පනස් ලක්‍ෂයක්වත් මට දොස් පවරාවි. එහෙත් මා මහින්දට දොස් පවරනවා. ඒ වෙනත් කෙනකුට කඩේ යෑමට නො වෙයි. කතන්දරේ මට තේරෙන විධියට කීම කිසිවකුටවත් කඩේ යෑමක් නො වෙයි.

ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය මෛත්‍රීපාලට භාරදීම පළමු වරදයි. දහනවයට ඡන්දය දීමට ඒකාබද්ධ විපක්‍ෂයට උපදෙස් දීම තවත් වරදක්. විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ කරුණු දන්නවා. එහෙත් තම ආසන සංවිධායක තනතුරු මන්ත්‍රී තනතුරු අහිමි වේය යන බියෙන්  ඔවුන් නිහඬ වෙනවා. රාජපක්‍ෂවරුන් යටතේ තමන්ට විඳීමට සිදුවන තාඩන පීඩන ගැන ඔවුන් දන්නවා. මහින්ද කියන්නෙ හිත හොඳ මිනිහකු බවත් එහෙත් ඔහුට දැක්මක් ප්‍රතිපත්තියක් නැති බවත් යම් පිරිසක් දන්නවා.

පහුගිය දිනවල ඔහු කළ වරදක් වුණේ ඔය ඊනියා පාර්ලිමේන්තු තේරීම් කමිටුව පත් කිරීමට පක්‍ෂව ඡන්දය දීම. මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට මහින්ද එයට පක්‍ෂ වුණා. තම මන්ත්‍රීවරුන්ට පනතට පක්‍ෂව ඡන්දය දීමට උපදෙස් දුන්නා. එය පනතක් ලෙස ඉදිරිපත් කිරීමට සිටි අවස්ථාවේ ඇතැමකුගේ උපදෙස් පරිදි මහින්ද කටයුතු කළා. ඒ උපදෙස් ඔහුට ලබා දුන්නේ කාගේ අණින් ද? කවරකුගේ අවශ්‍යතාවන්ට ද? ඒ අය හා රනිල් අතර සම්බන්ධය කුමක් ද? මහින්දගේ කතා ලියන තැනැත්තකු මෙයට සම්බන්ධ ද? මේ පුද්ගලයා කලකට පෙර හදිසියේ එ ජා ප  පැත්තෙන් මේ පැත්තට ආවේ ඇයි?

මහින්දට දැක්මක් නැති වීමත් අද තිබෙන තත්වයට හේතුවක්. එහෙත් නන්දිකඩාල් ජයග්‍රහණයට පසුව ඔහු ඡන්දකාන්ත කෙනකු වුණා. ඒ ආකර්ෂණය ඔහුට තියෙනවා. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ඔහු වටා ස්මාට් ජාතිකවාදන් එක්රොක් වුණා. සිංහල බෞද්ධ ඡන්ද විශාල ප්‍රමාණයක් විශේෂයෙන් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්වල ඔහුට නැති වුණා. මේ ඡන්ද තව තවත් නැති වෙනවා. 

මෛත්‍රිපාල හා මහින්ද අතර තිබූ සම්බන්ධය අද වන විට ඇතැම් පුද්ගලයන් විසින් කඩා බිඳ දමනු ලැබ තිබෙනවා. එය ඉතාමත් අවාසනාවන්තයි. ඒ සම්බන්ධතාව නැවත ඇති කර මහින්ද හුදු ඡන්දකාන්ත තත්වයෙන් මුදා ගත යුතුයි.