Main Logo

Friday 19 July 2019

ගෝඨාභයගේ අනාගතය

ගෝඨාභයගේ අනාගතය



ඇවන්ගාඩ් සමාගමට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට තීරණය කර තිබෙන බව පැහැදිලියි. ඉන් කිහිප දෙනකු දැනටමත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් කල් යෑමේ දි නිදොස් කර නිදහස් කරන්නත් පුළුවන්. එහෙත් මේ කාලයේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට සමහරුන්ට අවශ්‍ය වෙලා. 


පොලිස් කොමිසමේ ලේකම් ද අත්අඩංගුවට අරගෙන. පොලිස්පති ඇප පිට නිදහස්. ඒ වෙනත් කරුණක් සම්බන්ධයෙන්. හිටපු ආරක්‍ෂක ලේකම් ද එසේමයි. මෙරට මෙවැනි දේ සිදුවන්නේ ඇයි? අගවිනිසුරුවරුනුත් පාර්ලිමේන්තුව හරහා හෝ නැතුව හෝ ඉවත් කෙරෙනවා.  දේශපාලනඥයන්ට ඉන්නේ තමන්ට පක්‍ෂපාත අය, නැත්නම් විරුඳ්ධ අය, එසේත් නැත්නම් නාහෙට අහන්නෙ නැති අය. 

ගෝඨාභය ඇවන්ගාඩ්  සමග යම් සම්බන්ධයක් තිබුණා යැයි හිතන්න පුළුවන්. ඔහු එහි කොටස්කරුවකු වූ බවක් නොවෙයි ඉන් කියැවෙන්නේ. මා හිතන්නේ ගෝඨාභය ඇවන්ගාඩ් නීත්‍යානුකූල ආයතනයක් වූ බව පිළිගත්තා කියන එකයි. මා වැරදි වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් ගෝඨාභය  ඇවන්ගාඩ් ආයතනය නීති විරෝධී ආයතනයක් ලෙස සැලකූ බවක් පෙනෙන්න නහැ. 

අද ගෝඨාභයගේ නම කියැවෙන්නේ තව මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා සම්බන්ධයෙන්. ඔහු ඒ සඳහා ඉදිරිපත් වීම වැළැක්වීමට ආණ්ඩුවේ මෙන් ම විපක්‍ෂයේත් කිහිප දෙනකු කටයුතු කරන බව පේන්න තියෙවා. ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට ඇතැමුන් උත්සාහ කරන බව පේන්න තියෙනවා. 

මේ සෑම දෙයක් ම එක් සැලසුමක් පරිදි සිදුවෙන දේ වෙන්න පුළුවන්. මට හැම තිස්සෙම මතක් වෙන්නෙ අර එක්තරා මිය ගිය ප්‍රධාන දේශපාලනඥයකු කළා යැයි කියන බල්ලො බලු මස් කන්නෙ නැහැ කියන ප්‍රකාශය. බටලන්දට මොකද වුණේ? මහින්දට හා පවුලට විරුද්ධ ව තිබූ තවමත් ඇති චෝදනාවලට මොකද වුණේ? මහා බැංකු කොල්ලයට මොකද වුණේ. පාස්කු ප්‍රහාරයට මොකද වුණේ. හිස්බුල්ලාට බද්‍යුද්දීන්ට මොකක් වෙයි ද? රතන හිමි මේ දිනවල වැඩ ඉන්නෙ කොහෙද කියල අහන්න ඕන නැහැ. 

දේශපාලනඥයන් එකිනෙකාට චෝදනා කිරීම පමණක් නොවෙයි විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන් එකිනෙකාට විරුද්ධව කරන චෝදනාත් දැන් මාධ්‍ය සංදර්ශනවල අංග බවට පත් වෙලා. සමහරුන් මේ චෝදනා කරන්නේ දේශපාලනඥයන් වෙනුවෙන්. කනගාටුවට කරුණ ඇතැම් භික්‍ෂූන් වහන්සේත් දේශපාලනඥයන්ගේ ඉත්තන් බවට පත් වීම. 

අද ජනාධිපතිවරණය පේන තෙක් මානයකට ඇවිල්ලා. එහෙත් එය ස්ථිර වශයෙන්ම පවත්වාවිද යන්න පිළිබඳ සැකයක් තියෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති කියන විධියට මුරුගසං වරුසාවක් ආවෙ නැත්තන් ජනාධිපතිවරණය තියේවි. මුරුගසං වරුසාව අහසින් ම එන්න ඕන නැහැ. අපි හිතමු ජනාධිපතිවරණය නිසි කල පැවැත්වේවි කියා. පළාත් සභා මැතිවරණය ගැන විශේෂ උනන්දුවක් ඇති වී තිබීම එතරම් හොඳ දෙයක් නො වෙයි. පළාත් සභා තියෙනවා. ක්‍රියාත්මක නැහැ. අර කවුදෝ කිව්වාක් මෙන් එයත් මරණ දඬුවම වගේ. 

ඒ කොහොම වුණත් ජනාධිපතිවරණයට සූදානමක් තිබිය යුතුයි. දේශපාලන ලෝකයේ සිදුවන බොහෝ දේ පිළිබඳ තොරතුරු මට ලැබෙන්නේ නැහැ. මා දන්නේ ජනමාධ්‍යයෙහි ප්‍රචාරය වන දෙයක් පමණයි. මේ තොරතුරුවලින් මා කලක සිට කියන්නේ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇති ඉඩකඩ අඩු බවයි. ඒ සඳහා විවිධ හේතු තියෙනවා. ඒ සියල්ල දේශපාලනඥයන්ගෙ පෞද්ගලික හේතු. රට ගැන බලා ගන්න තීරණ නැහැ. 

මෙය සිංහලයන්ට පමණක් සීමා වුවක් නොවෙයි. දෙමළ කතා කරන ජනයාත් මුස්ලිම් ජනයාත් දේශපාලනඥයන්ට රැවටෙනවා. එහෙත් වඩාත් රැවටෙන්නේ සිංහලයන් විය යුතුයි. අගමැති දන්නෙ නැතිව ම පිටි මිළ වැඩි වෙලා කියලයි කියන්නෙ. ඒ අතර බොහෝ සාමාන්‍ය ජනයාට රටට වන විපත ගැන වැටහීමක් තියෙනවා. 

ගෝඨාභය ගැන පමණක් බලාපොරොත්තු තියන්නෙ නැතිව විපක්‍ෂය වෙනත් ජනාධිපති අපේක්‍ෂකයකු ගැනත් සොයා බලන්න ඕන. එහෙත් පොහොට්ටුවත් ශ්‍රී ල නි පක්‍ෂයත් අතර තවම එකඟත්වයක් නැහැ. පොහොට්ටුවේ බොහෝ දෙනාට තමන් ගැන ම අධිතක්සේරුවක් තියෙනවා.  විපක්‍ෂයට තවමත් ඇති එක ම වාසිය එ ජා පක්‍ෂයේත් කුළල් කා ගැනීමක් පැවතීමයි.