Main Logo

Saturday, 27 July 2019

බේරීම් කමිටුව ගැන තවදුරටත්

බේරීම් කමිටුව ගැන තවදුරටත්



ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ව පාර්ලිමේන්තුව විසින් පත් කර ඇති කාරක සභාවේ (එය ඊනියා තේරීම් කමිටුවක් නොවන බව කෙතෙක් කීවත් අනෙක් බොහෝ කරුණුවල දී මෙන් ම වැඩක් වන්නේ නැහැ) දී නීතිපති තම සේවාදායකයන් හමුවේ සාක්‍ෂි දීම ප්‍රතික්‍ෂෙප කළා. කමිටුව ඒ ප්‍රතික්‍ෂෙප කිරීම පිළිගත්තා. මේ කාරක සභාව අධිකරණ කටයුත්තක් කරනවා වෙන්න බැහැ. අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) අනුව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙනවා.


“4(ඇ): නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ම ක‍්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත‍්‍රීවරයන්ගේ වරප‍්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක‍්‍රියාත්මක කළ යුත්තේ ය.”

කාරක සභාව පාර්ලිමේන්තුවේ, එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් නොවෙයි. ඒ කරුණුවල දී හැරෙන්නට පාර්ලිමේන්තුවට ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ අධිකරණ හා වෙනත් ආයතන මගින්. පාර්ලිමේන්තුවට නැති බලයක් එහි කාරක සභාවකට තියෙන්න බැහැ. මේ කාරක සභාවට  කිසිවකු වරද කරුවකු කරන්නවත් නිදොස්කර නිදහස්කරන්නවත් බැහැ. 

මා නම් මේ කමිටුව රනිල් ඇතුළු බටහිරයන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බේරීමේ කමිටුවක් ලෙසයි සලකන්නේ. මේ කමිටුවට අද විපක්‍ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධ නොවූවත් (ජ වි පෙ හා දෙමළ ජාතික සංධානය විපක්‍ෂයේ වාඩි වී සිටින ආණ්ඩුවේ දේශපාලන පක්‍ෂ) එකී කමිටුව සම්මත කර ගැනීමට සහාය දුන්නා. ඒ මහින්දගේ නායකත්වයෙන්. මහින්දට දැක්මක් නැහැ. ඔහු ජනප්‍රිය දේශපාලනයක යෙදෙන්නෙක් පමණයි. ඔහුට කශේරුකාවක් තියෙනවා. එහෙත් බැසිල් හා වෙනත් අය ඔහු මෙයෙවනවා. මෛත්‍රිපාලත් සමහරවිට ඔහු මෙහෙයවනවා. මහින්ද ම කියන විධියට ඔවුන් දහනවවැනි සංශෝධනයට ඡන්දය දුන්නේ මෛත්‍රිපාල විශ්වාස කරමින්. දහනවය විසින් කෙරී ඇති අවුල නිසයි රට අරාජික වී ඇත්තේ. පඬි නැට්ටකු කියන්න පුළුවන් විශ්වාසය හා මෙහෙයවීම දෙකක් කියා. විශ්වාසය දිනාගෙන හෝ නැතිව හෝ මෙහෙයවන්න පුළුවන්. 

ඊයේ පාරිලිමේන්තු කමිටුවේ දී තවත් වැදගත් කතාවක් හෙළි වුණා. හිස්බුල්ලාට විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට හෝ වෙනත් කටයුත්තක් සඳහා හෝ කෝටි ගණනක මුදල් විදේශවලින් ලැබී ඇති බව. ඒ විස්තර මහා බැංකුවේ තියෙන්න ඕන. එහෙත් ඊයේ මතු වූ කරුණක් තමයි මේ පිළිබඳ සොයා බැලීමට මහා බැංකුවට බලයක් නොමැති බව. 2017 සම්මත වූ විදේශීය විනිමය පනතෙන් මහා බැංකුවට විදේශ මුදල් ලැබීම සම්බන්ධයෙන් සොයා බැලීමට තිබූ බලතල අහිමි කර ඇති බව. ඒ අනුව දැනට හිස්බුල්ලාට මුදල් ලැබුණේ කෙසේ දැයි සොයා බැලීමට බැහැ. 

2017 මේ පනත කෙටුම්පත් කෙළේ කවුද? කාගේ මැදිහත් වීමකින් ද? මේ පනතට කතානායක අනුමැතිය ලැබී ඇත්තේ 2017 ජූලි මාසයේ. රවි කරුණානායක 2017 මැයි වන තුරු මුදල් ඇමති. පනත කෙටුම්පත් කෙරුණේ රවි කරුණානායක මුදල් ඇමති ව සිටි කාලයේ දී ද? රවි කරුණානායක පාර්ලිමේන්තු කමිටුවේත් ඉන්නවා. ඔහුත් බැංකු නිලධාරීන්ගෙන් ප්‍රශ්න අහනවා. රවි කරුණානායක මහා බැංකු නිලධාරීන්ගේ සේවාදායකයකු නො වෙයි. එබැවින් එසේ ප්‍රශ්න ඇසීමේ වරදක් නැතැයි කිසිවකු හිතන්න පුළුවන්.

මහා බැංකු නිලධාරීන්ට අනුව 2017 විදේශ විනිමය පනත කෙටුම්පත් කෙරී ඇත්තේ ඔවුන්ගේ අනුදැනුමකින් තොරව. අඩුම තරමින් ඔවුන්ගෙන් විමසීමක්වත් කර නැහැ. රවි කරුණානායක මහා බැංකු නිලධාරීන්ට ඊයේ කාරක සභාව රැස්වු අවස්ථාවේ දී කියා සිටියේ පනත කෙටුම්පත් කිරීමට එකී නිලධාරීන්ගෙන් උපදෙස් ගත් බවයි. එහෙත් නිලධාරීන් තමන් දැනුවත් නොකළ බව කියා සිටියා. 

2017 විදේශ විනිමය පනත ඉදිරිපත් කෙළේ ම හිස්බුල්ලා බේරා ගැනීමට ද? මහා බැංකු නිලධාරීන් කියන විධියට මෙරට මුදල් විශූද්ධිකරණය ගැන ක්‍රියාත්මක වීමේ හැකියාවක් නැහැ. අපට පේන ආකාරයට හිස්බුල්ලා එක් අයකුගේ නොව කිහිප දෙනකුගේ ම බුල්ලා. 

මෙරට පාර්ලිමේන්තුවට අතීතයට බලපාන පරිදි නීති හදන්න පුළුවන්. සේපාල ඒකනායකට ගුවන් යානයක් පැහැර ගැනීමේ වරදට දඬුවම් කෙළේ අතීතයට බලපාන පරිදි නීති සකස් කරලා. 2017 විදේශ විනිමය පනත අහෝසි කරන්න වෙන ම පනතක් පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන්. ඒ වගේ ම පහුගිය අවුරුදු හැත්තෑපහක පමණ කාලයක මෙරටට ලැබුණු විදේශීය මුදල් තෑගි හා වෙනත් දේ ගැන සෙවීමට හැකි වන සේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(6) අනුව්‍යවස්ථාවෙන් ඒ සඳහා අවහිරයක් වන්නේ නැහැ. එය හොඳින් කියවා බලන්න. දිග වැඩි නිසා මෙහි ඉදිරිපත් කරන්නේ නැහැ.  

පාර්ලිමේන්තුව අඩු තරමෙන් කාරක සභාවට ඉදිරිපත් වෙන කරුණු සලකා බලා අවශ්‍ය පියවර ගැනීමට පනත් සම්මත කර ගන්නවා ද? ඒසේ නොවේ නම් කමිටුව බේරීම් කමිටුවක් හා තවත් මහජන මුදල් නාස්තියක් පමණයි.