Main Logo

Wednesday, 17 July 2019

ශූන්‍යයට අගයක් දුන්නේ සිංහලයන් ද?


ශූන්‍යයට අගයක් දුන්නේ සිංහලයන් ද?

ශූන්‍යය සඳහා පළමු වරට සංකේතයක් යොදා ගත්තේ සිංහලයන් බවට මට තවමත් නිගමනය කිරීමට බැහැ. එහෙත් එසේ වීමට ඇත්තේ විශාල ඉඩකඩක්. මේ සංකේත නිර්මාණය දෙවැනි සියවස හා හතරවැනි සියවස අතර සිදු වන්න ඇතැයි මා විශ්වාස කරනවා. මා කලින් ලිපිවලත් සඳහන් කර ඇති පරිදි ශූන්‍යය සඳහා සංකේතයක් නිර්මාණය කිරීමට අවශ්‍යතා තුනක් සපුරා ලන්න ඕන. 


ඉස්සර ඉලක්කම් (සංඛ්‍යාංක) ලිව්වෙත් අකුරෙන්. ඉලක්කම් සඳහා වෙන ම සංකේත නිර්මාණය කර ගෙන තියෙන්නෙ පස්සෙ කාලෙක. ඒ සංකේත අර පැරණි අකුරු සංකේතවල ම විකාශයක් වන්න ඕන කියලයි මට හිතෙන්නෙ. මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක ආයතනයේ හර්ෂ විජේවර්ධන සඳහන් කර තියෙනවා අද යොදා ගන්නා 7 සංකේතය උ යන්නෙහි විකාශයක් විය හැකි බව. එකල සිංහලයන් උ අක්‍ෂරය යොදා ගෙන තියෙන්නෙත් 7 සඳහා. 

රෝම ඉලක්කම් සම්පූර්ණයෙන් ම අකුරු. එහි ස්ථානගත අගය කියා දෙයක් නැහැ. විවිධ අකුරු විවිධ සංඛ්‍යා සඳහා යොදා ගෙන තියෙනවා. X යන්න 10 සඳහා යොදා ගෙන තියෙනවා. C යන්න 100 සඳහා යොදා ගෙන තියෙනවා. අප රෝම ඉලක්කම් කීවාට ඒවා සංඛ්‍යා. සිංහලයෙහිත් එවැනි සංකේත යොදා ගෙන තියෙනවා. සිංහලයන් අතර සංඛ්‍යා ලිවීමේ ක්‍රම කිහිපයක් තිබී තියෙනවා. එක් ක්‍රමයක් රෝමයෙන් ගත් එකක් වෙන්න පුළුවන්. තවත් එකක් භාරතයෙන් ගත් එකක් වෙන්න පුළුවන්. ඒ අතර සිංහලයන්ට ම ආවේණික වූ ලිත් ඉලක්කම් තිබිල තියෙනවා. 

දහහතරවැනි දා ලියූ සීගිරිය ද සිහිගිරිය ද ලිපියෙහි මේ ලිත් ඉලක්කම් දැක ගන්න පුළුවන්. හර්ෂ විජේවර්ධන කියන්නෙ මේ ලිත් ඉලක්කම් ලංකාවට ආවේණික වූවා කියා. ඒ ඉලක්කම් යොදා ගෙන ඕනෑම සංඛ්‍යාවක් ලියන්න පුළුවන්. අප ඉතා විශාල සංඛ්‍යා යොදා ගත්ත අය. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් යන්න පොඩි සංඛ්‍යාවක් නො වෙයි. සංසාරයේ අප එයටත් වඩා කල් ගත කර ඇති බව මතක් වෙන විට මොකද හිතෙන්නෙ. තව කොච්චර කල් ඉන්න වේවි ද?

කොහොමටත් ස්ථානගත අගයක් සහිත ව ඉලක්කම් මගින් සංඛ්‍යා ලිවීමට පළමුවෙන් තර්කානුසාරි භාෂාවක් තිබිය යුතුයි. දෙවැනුව චතුස්කෝටික න්‍යාය තිබිය යුතුයි. තුන්වැනුව ශූන්‍යතාව සංකල්පය දැන සිටිය යුතුයි. නාගර්ජුනපාදයන් ශූන්‍යතාව යන සංකල්පය හඳුන්වා දුන්නේ දෙවැනි සියවසෙහි. සිංහලයන් එය දැන සිටි බවට සැකයක් නැහැ. නාගර්ජුනපාදයන්ගේ ප්‍රධාන අනුගාමිකයා වී ඇත්තේ අරියදේව නම් සිංහල භික්‍ෂූන් වහන්සේ නමක්. 

ශූන්‍යය සඳහා සංකේතයක් දෙවැනි සියවසෙන් පසුව නිර්මාණය කරන්නට ඇතැයි මා සිතන්නේ මේ ශූන්‍යතාව දෙවැනි සියවසේ නිර්මාණය වූ එකක් නිසා. ශූන්‍යතාව බුදුන් වහන්සේගේ ශූන්‍ය නොවන බව අවධාරණය කරන්න ඕන. අද ඉන්න කසිකබල් සිංහලයන් මෙන් නොව පැරණි සිංහලයන් බුද්ධිමත් විචාරශීලි අය. අද ඉන්න අයට කිසිම නිර්මාණයක් කරන්න බැහැ. මා කියන්නේ කවියක් ගීතයක් චිත්‍රයක් නිර්මාණය කිරීම නොවෙයි. සංකල්ප ප්‍රවාද නිර්මාණය. කෝට්ටෙ කෝtte ලෙස ලියන එවුන්ට අනුකරණය හැරෙන්න වෙනත් දෙයක් කරන්න පුළුවන් ද? 

එහෙත් මා හිතන්නේ ඊනියා උගතුන් ගැන නො වෙයි. සාමාන්‍ය සිංහල ජනයා ගැන. ඊනියා උගතුන් හැමදාමත් අනුකාරකයන්. එදා ඔවුන් භාරතය අනුකරණය කළා. අද බටහිරයන් අනුකරණය කරනවා. එදා සාමාන්‍ය ජනතාව බුද්ධිමත්. සීගිරි ගී ලියු සාමාන්‍ය ජනයා බුද්ධිමත්. අද කෝtte කියා ලියන අය නිවට අනුකාරකයන්, පුස්සන්, පරපුට්ටන්, සමහරු පරොත්තමවාදීන් ද වෙනවා. ඔවුන්ට ඉංගිරිසි අකුරු නැතිව කුණුහරුපයක්වත් ලියන්න බැහැ.

ශූන්‍යය සඳහා සංකේතයක් ලෙස හල් කිරීම ( ්) පළමු වරට යොදා ගෙන ඇත්තේ දැනට දන්නා ආකාරයෙන් සීගිරියෙහි. හර්ෂ විජේවර්ධන ඒ සංකේත දැක තියෙනවා. පුරාවිද්‍යාඥයන් මේ ගැනත් තම අවධානය යොමු කරන්නේ නම් හොඳයි. ශූන්‍යය සඳහා හල් කිරීම හතරවැනි සියවසට පෙර යොදා ගත්තේ යැයි මා විශ්වාස කරන්නේ හර්ෂගේ මේ සොයා ගැනීම නිසයි. හතරවැනි සියවසට පෙර ලියූ පුස්කොළ පොත්, විශේෂයෙන් ම ජ්‍යොතිෂය සම්බන්ධ පොත්, ඇත්නම් ඒවාහි ශූන්‍යය සඳහා හල් කිරීම යොදා ගෙන තියෙන්න ඕන.   

චතුස්කෝටිකය බුදුන් වහන්සේටත් පෙර තිබුණා. බුදුන් වහන්සේත් ඒ යොදා ගත්තා, ලෝකය පවතිනවා ද පවතින්නේ නැත් ද යනුවෙන් වච්චගොත්ත (වච්ච ට්‍රයිබ් නොවෙයි. පඬියන්ට ඕනැම ගෝත්‍රයක් ට්‍රයිබ් එකක්. පඬියන් දන්නේ බටහිර සංකල්ප පමණයි. ඒකත් හරියට දන්නේ නැහැ) ඇසූ විට උන්වහන්සේ ඒ දෙකට ම නැතැයි කියා දේශනා කළා. දේවානම්පිය තිස්ස රජුත් චතුස්කෝටිකය දැන හිටියා. සාමාන්‍ය සිංහලයන් අදත් යන එන ගමන් ගෙවල්වලට ගොඩ වෙනවා. කවුරුන්වත් අහන්නෙ නැහැ යන ගමන් ද එන ගමන් ද කියලා. සිංහල දේශපාලනඥයන් එහෙන් මෙහෙන් රිංගලා යනවා. මා අතන මෙතන අහවල් හිමියන් ගැන කියන්න යන්නේ නැහැ. 

සංසාරයත් නිවනත් දෙක ම එකක් අනෙක තුළ ඇතැයි කීමෙන් නාගර්ජුනපාදයන් චතුස්කෝටිකය වැරදියට යොදා ගෙන තියෙනවා. අනෙක් අතට මෙරට සිටි බෞද්ධ දර්ශනය ගැන ප්‍රමාණික උගතකු ලෙස සැලකෙන මහාචාර්ය කේ එන් ජයතිලක බටහිර නූතනත්වයට යට වී ලෝකය මෙහෙම නම් එක විධියක් මෙහෙම නොවේ නම් තවත් විධියක් වශයෙන් ගෙන චතුස්කෝටිකය  ද්විකෝටිකයට ලඝු කර තියෙනව. ඒ කේම්බ්රිජ් විශ්වවිද්‍යාලයේ බලපෑම. මහාචාර්ය ජයතිලකට හුණු කෑල්ල දීමට බැරි ඇතැම් විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරුන්ට චතුස්කෝටිකය තේරෙන්නෙ කොහොම ද? 

චතුස්කෝටිකය තමයි හල් කිරීම ශූන්‍ය සඳහා සංකේතයක් ලෙස යොදා ගැනීමට බලපා ඇත්තේ. ශූන්‍ය සංකේතය සිංහලයන්ගේ ද ලිපිය කියවන්න. හර්ෂ විජේවර්ධන කියන විධියට ලිත් ඉලක්කම් මෙරට යොදා ගෙන ඇත්තේ පන්සලෙන් පිටත කටයුතු සඳහා. විශේෂයෙන් ම ජ්‍යොතිෂයේ. ලිත හා ජ්‍යොතිෂය අතර සම්බන්ධය අමුතුවෙන් කියන්න ඕන නැහැ. අපේ ජ්‍යෙතිෂය නකත් හෙවත් නැකැත් මත පදනම් වූවක්. අපට රාශි ලැබුණෙ පස්සෙ. නැකැත් 27 තමයි අපේ පදනම. 27 ලිත් ඉලක්කම්වලින් ලියන්නෙ ණඋ ලෙස. මා මෙහි 2 වත්මන් ණ ලෙස ලියා තිබුණත් එය පැරණි මූර්ධජ ණ විය යුතුයි. සීගිරිය ද සිහිගිරිය ද ලිපිය බලන්න

හල් කිරීම සමහර ඉන්දු භාෂාවල තිත (.) යනුවෙන් ලියන්න ඇති. ඒ භාෂාවල ශූන්‍ය සඳහා හල් කිරීම වෙනුවට තිත ලියන්න ඇති. තිත පසුව අද ඇති 0 ලෙස විකාශය වන්න ඇති. ඇක්සල් කාම්බෝජයෙන් සොයා ගෙන ඇත්තේ තිතක්. කිසිවකු තායි ක්මර් ලාඕස් භාෂා ගැන අධ්‍යයනයක් කරනවා නම් හොඳයි. මේ ථෙරවාදී රටවලට සිංහල බෞද්ධ සංස්කෘතියේ බලපෑම තිබුණා.  ඒ වගේ ම ඉන්දු භාෂා ගැනත් අධ්‍යයනයක් කරන්න ඕන. හල් කිරීම ( ් )  >  තිත (.) > 0 ලෙස විකාශය වනවා මිස අනෙක් පැත්තට විකාශය වන්නේ නැහැ. සිංහලයන් වෙන භාෂාවකින් (.) ගත්තා නම් එය හල් කිරීම යනුවෙන් යොදා ගන්නේ නැහැ. හල් කිරීමට වඩා තිත පහසුයි. 

පරොත්තමවාදීන් මේ අදහස්වලට ගරහන බව මා දන්නවා. එකල ලංකාවේ සාමාන්‍ය ජනයා අතර දක්‍ෂ ගණිතඥයන් සිටින්න ඇති. එහෙත් හතරවැනි සියවසෙන් පමණ පසු ගණිතය යන්න ජ්‍යොතිෂයට පමණක් පසුව සීමා කළ බවක් පේන්න තියෙනවා. එපමණක් නොව ගණිතයා යන්න යෙදා ගෙන තියෙන්නෙත් සම්මානිත අර්ථයකින් නො වෙයි. හතරවැනි සියවසෙන් පමණ පසුව නිල වශයෙන් සංඛ්‍යා ලියා ඇත්තේ අකුරෙන් පමණයි. ඉලක්කම් යොදා ගෙන ඇත්තේ ගණිතයන් ලෙස පරිභවයට ලක් වූ අය පමණක් වෙන්න ඕන.