Main Logo

Wednesday 24 July 2019

බිරිතානියට අහිමි වුණු අගමැති රනිල්

බිරිතානියට අහිමි වුණු අගමැති රනිල් 

ඊයේ එංගලන්තයේ කොන්සර්වෙටිව් පක්‍ෂය තම නායකයා ලෙස බොරිස් ජොන්සන් තෝරාගෙන. ඔහු අද බිරිතානි අගමැති ලෙස දිවුරුම් දීමට නියමිතයි. ඔහු කලක් ලංඩනයේ නගරාධිපති වෙලා හිටියා. ඔහුට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයක් නැහැ. ඔහුට සුළු පක්‍ෂවල සහාය ලබා ගැනීමට සිදු වෙනවා. ඔහුට ඇති ප්‍රධාන ප්‍රශ්නය බ්‍රෙක්සිට් හෙවත් බිරිතානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමයි. ඔහු බ්‍රෙක්සිට් ව්‍යාපාරයේ නායකයෙක්. 


මා මේ ටික කීවේ බිරිතානියට නැති වූ අගමැති ගැන කීමටයි. ඒ අන් කවුරුන්වත් නොවෙයි රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ නොඉපදී ලංකාවේ ඉපදීම ඔහුගේත් එංගලන්තයේත් ලංකාවේත් අවාසනාවක්. ඔහු තමයි අද බිරිතානියේ අගමැති වීමට සිටි හොඳ ම තැනැත්තා. එහෙත් බිරිතානියේත් අපේත් අවාසනාවට ඔහු ලංකාවේ අගමැති. 

එක්සත් රාජ්‍ය ලෝකයේ ම බලවත් රට වුවත් බටහිර ක්‍රිස්තියානි දැනුම් නිර්මාණයේ ප්‍රධාන රට වුවත් තවමත් ක්‍රිස්තියානි (කතෝලික නොවන) සංස්කෘතියේ ප්‍රධාන ම රට එංගලන්තය. ක්‍රිස්තියානි ආගමේ ප්‍රධානියා එලිසබෙත් වින්ඩ්සර් ඉන්නෙ එංගලන්තයේ. කැන්ටබරියේ ආච්බිෂොප්තුමා එංගලන්තයේ. යෝක්හි ආච්බිෂොප්තුමා එංගලන්තයේ. ඇංග්ලිකන් ක්‍රිස්තියානි ජාතිකත්වයේ ප්‍රධාන රට එංගලන්තය. බ්‍රෙක්සිට් ව්‍යාපාරයටත් එය මුල් වුණා. එංගලන්තයට අවශ්‍ය වුණේ ලෝකය පාලනය කිරීමට මිස යුරෝපයේ වෙනත් රටවල් සමග එකට වෙළෙඳපොළක් තනා ගැනීමටවත් එකට දේශපාලනයක් කිරීමටවත් නො වෙයි. ලෝකයේ මූල්‍ය අගනුවර ලංඩනය. නිව්යෝක් එයට තරගයක් දෙනවා. ජනමාධ්‍ය හැසිරවෙන්නේ එංගලන්තයෙන්. 

රනිල් වික්‍රමසිංහ ඉතා දක්‍ෂ දේශපාලනඥයෙක්. සමහරවිට එතෙක් මෙතෙක් ලංකාවේ පහළ වූ දක්‍ෂ ම දේශපාලනඥයා විය හැකියි. විසි තිස් වතාවක් පැරදීත් එ ජා පක්‍ෂයේ නායකයා ලෙස සිටීම ම වුවත් ඔහුගේ දේශපාලන විඥානය කියා පානවා. යම් කිසි අයුරකින් සජිත් ජනාධිපති අපේක්‍ෂකයා වුණත් රනිල් දන්නවා කළ යුතු දේ. රනිල් තම ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට පක්‍ෂපාතියි. එයට සේවය කරනවා. ඔහු අද ලංකාවේ සිටින එංගලන්ත නියෝජිතයා. ඔහුට පක්‍ෂය හා ඔහුගේ සංස්කෘතිය වැදගත්. රජිව් විජේසිංහ කියා තිබුණේ මහා බැංකු මංකොල්ලයේ මුදල් එක්සත් ජාතික පක්‍ෂයේ 2015 අගෝස්තු මැතිවරණයට යොදා ගත් බවයි. රනිල්ට බොහෝ අයට මෙන් දේශපාලනයෙන් පෞද්ගලික ධනයක් උපයන්න අවශ්‍ය නැහැ. 

ගැමුණු රජුගේ ව්‍යායාමය බුදු සසුනේ චිරස්ථිතිය සඳහා වුණා. රනිල්ගේ ව්‍යායාමය එංගලන්ත ක්‍රිස්තියානි සංස්කෘතියේ චිරස්ථිතිය සඳහායි. ඔහු දැන් දැන් තිරුපති යනවා වෙන්න පුළුවන්. ඒ කාගේ වුවමනාවට ද කියා කියන්න බැහැ. රනිල් කතා කරන්නේ ලංකාව ක්‍රිස්තියානි නූතනත්වයට ගෙන යෑමටයි. බ්‍රෙස්ලට්, ටැබ්, ජිම් මේ සියල්ල ඒ සඳහා තරුණ පරපුර යොමු කිරීමටයි. එහෙත් ඔහු දන්නවා ලංකාවේ ඡන්දය දිනීමට ඒ ප්‍රමාණවත් නැති බව. එහෙත් ඔහු කොතෙක් වෑයම් කළත් සිංහල බෞද්ධ සංස්කෘතිය අනුව හැඩ ගැහෙන්න බැහැ. 

ඔහු හැදුණේ වැඩුණේ ක්‍රිස්තියානි සංස්කෘතියක. ඔහුගේ මවගේ පැත්තෙන් බෞද්ධ ආභාසයක් තිබූ නමුත් එයත් විජේවර්ධන ඩෙප් සංස්කෘතියේ ම කොටසක්. ඔහු ගියේ ළඟ ම පාසලට. එය ළඟ ම පාසල හොඳ ම පාසල කියන සංකල්පය අනුව සිදු වූවක් ද කියා හරිහැටි කියන්න බැහැ. කොහොමත් එය හොඳ ම පාසල තමයි. ඒ බව මාත් පිළිගන්නවා. මේ සමාජයේ හොඳ මනින්නේ බටහිර සංස්කෘතියට සාපේක්‍ෂ ව බව ඒ අතර ම කියන්න ඕනෙ. ඊනියා බෞද්ධ විද්‍යාලත් කරන්නේ රාජකීය විදුහල අනුකරණය කිරීම. මධ්‍ය මහා විද්‍යාල ගැන කියන්න දෙයක් නැහැ. රාජකීය විදුහල පිහිටා ඇත්තේ රනිල්ගේ නිවසේ සිට හූවක දුරකින්. රනිල්ට ඒ කතාව තේරෙනව ද කියන එක වෙන ම ප්‍රශ්නයක්. ඔහු සමහර විට කියන්න පුළුවන් හූ කියන්නේ කවුද කියන අර්ථයෙන් කියා. 

රාජකීය විදුහල 1835 දී ඉංගිරිසි ආණ්ඩුකාරයා හා පාලකයන් විසින් පිහිටුවනු ලැබුයේ මෙරට ඉංගිරිසින්ගේ වරප්‍රසාද ලත් ඊනියා ලාංකික ප්‍රභූන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා. මේ දරුවන් පුහුණු කෙරුණේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි හා මැතෝදිස්ත සංස්කෘති අනුව. එය ආණ්ඩුවේ පාසලක් වුවත් මෙරට ඇංග්ලිකන් ක්‍රිස්තියානි මැතෝදිස්ත සංස්කෘතිවල ප්‍රධාන පාසල වුණා. පසුව ඇංග්ලිකන් ක්‍රිස්තියානි වූ ශාන්ත තෝමස් විදුහලත් මැතෝදිස්ත වු වෙස්ලි විදුහලත් පිහිටුවනු ලැබුවත් රාජකීය විදුහල ඒ සංස්කෘතිවල ප්‍රධාන පාසල වූවා. මා සංගණනයක් කර නැහැ. නමුත් රාජකීය විදුහලෙන් ඇංග්ලිකන් හා මැතෝදිස්ත පූජකවරුන් අර විදුහල්වලින් වඩා බිහි වී ඇති බවයි මගේ හැඟීම. 

ශාන්ත තෝමස් විදහල පිහිටුවනු ලැබුයේ මූලික වශයෙන් කොළඹ නොවන ප්‍රාදේශීය ප්‍රභූන්ගේ පුතුන්ට ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබා දීමට. පාණදුරේ එවැනි පුතකු පළමුව රාජකීය විදුහලට ගොස් එහි උෂ්ණය වැඩි නිසා ශාන්ත තෝමස් විදහලට ගිය බව අවුරුදු හැටකට පමණ පෙර මා සමග පැවසුවා. ඔහු මගේ පියා දැන සිටි ඒ පරම්පරාවේ අයෙක්. ශාන්ත තෝමස් විදහලට ගිය පාණදුරේ සිටි ප්‍රභූ පවුලක් එකල ලංකාව හා එම් සී සී අතර අර එක් දින තරග පැවැත්වෙන විට ඒ නැරඹීමට ගියේ වාහනයේ එක් පැත්තක සිංහ කොඩියත් අනෙක් පැත්තේ එංගලන්තයේ ජාතික කොඩිය වූ  කුරුස කොඩියත් ප්‍රදර්ශනය කරමින්. ඕන නම් ජී එල් පීරිස්ගෙන් අහල බලන්න.  

නිදහස් අධ්‍යාපනයෙන් පසු රාජකීය විදහල පහළ මධ්‍යම පංතියේ දරුවන්ටත් විවෘත වුණා. ඉන්පසු රාජකීය විදහලේ ඉහළ ම ප්‍රභූන්ගේ දරුවනුත් පහළ මධ්‍යම පංතියේ දරුවනුත් එකට ඉගෙන ගන්නවා. රනිල් පැහැදිලි ව ම ඉහළ ප්‍රභූ පංතියේ දරුවෙක්. 

රනිල් උපතින්, හැදුණු වැඩුණු ආකාරයෙන්, අධ්‍යාපනයෙන් එංගලන්ත ඇංග්ලිකන් සංස්කෘතියේ හොඳ ම ප්‍රතිඵලයක්. ජොන්සන්ට වඩා රනිල් බිරිතානි අගමැතිකමට සුදුසුයි. රනිල් ආසියා පැසිෆික් කලාපයේ කොන්සරවෙටිව් පක්‍ෂවල සම්මේලනයේ ප්‍රධානියා. මේ කලාපයේ ඕස්ට්රේලියාවත් නවසීලන්තයත් ඇති බව අමතක නොකළ යුතුයි. 

රනිල් වික්‍රමසිංහට මා ගරු කරනවා. එහෙත් ඒ  ඔහු ලංකාවෙ අගමැති නොවී බිරිතානි අගමැති වුණා නම්.