Main Logo

Friday 12 July 2019

භංග වුණු විශ්වාසභංගෙ

භංග වුණු විශ්වාසභංගෙ

ඊයේ මා ඕල්ඩ් ට්‍රැෆර්ඩ් කියල ලිව්ව විධිය හරි ද? Trafford  කියන එක සිංහලෙන් ලියන්නෙ කොහොමද? මා හිතන්නෙ නැහැ අති විශාල බහුතර සිංහලයන්ට ඒ ප්‍රශ්නයක් කියා. ඉස්සර නම් ඉංගිරිසි උගත් සිංහලයන්ට Trafford  කියල ඉංගිරිසියෙන් හරියට ම ලියන්න ඕන. දැන් නම් මා හිතන්නේ ඉංගිරිසි ලියන කියන සිංහලයන්ට ඒකත් Traford  කියල ලිව්වත් Traffod  කියල ලිව්වත් වෙන විධියකට ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. අද හැමෝ ම ඉංගිරිසියෙන් මොනව හරි ලියන්න කැමතියි. ඒක වැරදියි කියල මා කියන්නෙ නැහැ. දකුණට හැරෙන්න කියල ඉංගිරිසියෙන් ලියන්නෙ Turn to the right  කියල ද?  ඉංගිරිසි සම්ප්‍රදාය මොකක් ද? 


ඒක පැත්තකින් තියන්න. රකාරංශය ඇති විට පිලි ලියන්නෙ කොහොම ද? ට් + රැ > ට්‍රැ ද? ට් + රු ලියන්නෙ කොහොම ද? ටෘ ද? true ලියන්නෙ ටෲ කියා ද? ඉස්සර ටෲමන් කියල ජනාධිපතිවරයකු හිටියා. වාසනාවට ලංකාවෙ නො වෙයි. උත්තර ධ්+රු වය ලියන්නෙ උත්තර ධ්‍රැවය කියා ද? උත්තර ධෘවය කියා ද? සංස්කෘතයෙහි නොව සිංහලයෙහි කෘ ශබ්ද කරන්නෙ ක් +රු කියා ද ක්+ර කියා ද? එහෙමත් නැත්නම් ගැමි වහරින් කුරු කියා ද?  

පසුව ඒ ගැන තවදුරටත් කතා කරමු. තවත් මාධ්‍ය සංදර්ශනයක් ඉවර වෙලා. රනිල්දාසගෙ විශ්වාසභංගෙ පැරදිලා. රනිල්දාස දිනලා. රනිලුත් දිනලා. සම්බන්ධන් ආණ්ඩුවට පක්‍ෂව විශ්වාසභංගෙට විරුද්ධව ඡන්දෙ දීලා. රනිල්දාස නිකමටවත් හිතල නැහැ සම්බන්ධන් එහෙම වැඩක් කරාවි කියලා. සම්බන්ධන් කියල මහින්දගෙ ආණ්ඩුවෙන් දෙමළ කතා කරන ජනයාට තිබූ හිරිහැර දැන් සිද්ධ වෙන්නෙ නැහැ කියල. අර මඩකලපුවෙ පල්ලියෙ මැරුණෙ සිංහලයන් වෙන්න ඇති. 

2009 මැයි මාසෙට ඉස්සර දෙමළ කතාකරන ජනයා ඉඳලා තියෙන්නෙ හරිම සතුටින්. ප්‍රභාකරන් ඔවුන් හොඳට රැක බලාගෙන. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පස්සෙ තමයි දෙමළ කතා කරන ජනයාට දුකෙන් ඉන්න වෙලා තියෙන්නෙ. 2015න් පස්සෙ ඔවුන් නැවතත් සතුටින් ඉන්නව. රනිල් සම්බන්ධන්ට අමුතුවෙන් පොරොන්දු වෙන්න දෙයක් නැහැ. මේ ආණ්ඩුව රනිල්ගෙ හා සුමන්තිරන්ගෙ. රනිල්දාස ඒක දැනගෙන හිටියෙ නැද්ද. ඔහු රනිල්දාස පමණක් නොව තිරන්දාසත්. 

රනිල්දාස විශ්වාසභංගෙ ගෙනාවෙ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ව. ඔවුන් කියා සිටියෙ බද්‍යුද්දීන්ට පමණක් චෝදනා කරන්නෙ නැතිව සමස්ත ආණ්ඩුවට ම විශ්වාසභංගයක් ගේන්න ඕන කියලා. ඒකෙන් වුණෙ බද්‍යුද්දීන් පමණක් නොව ආණ්ඩුවත් ආරක්‍ෂා කිරීමක්. කාගෙ ද චූටි මොළේ? සහරාන්ගෙ වෙන්න බැහැ. සහරාන් මැරිලා. අනෙක සහරාන් හිටිය නම් ඔහුත් කියාවි තමන් සහරාන් හඳුනන්නෙ නැහැ කියලා. 

බද්‍යුද්දීන්ට විතරක් විශ්වාසභංගයක් ගෙනාව නම් අර එ ජා ප කතෝලික මන්ත්‍රීවරුන්ට කතෝලිකයන් සතුටු කරන්නවත් විශ්වාසභංගෙට පක්‍ෂ වෙන්න වෙනවා. ආණ්ඩුවට විරුද්ධව ගෙනාව ම ඔවුන්ට විශ්වාසභංගෙට විරුද්ධ වෙන්න වෙනවා. රනිල්දාස ඕක නොදන්නවැයි. 

රතන හිමිත් පාස්කුව අල්ල ගෙන ගොඩ එන්න හදනවා. ඒක ගොඩ වඩින්න කියල කියන්න ඕන ද? රනිල්දාසලා රතන හිමිලා යුග පෙරළි කාරයො චම්පකලා එකතු වෙලා මේ ආණ්ඩුව හදන්න දර දිය ඇද්ද. මේ ජනමාධ්‍ය තවමත් චම්පක කොණ්ඩෙ පස්සට පිරල ඉන්න ඡායාරූප ප්‍රදර්ශනය කරන්නෙ මොක ද? ඔහු දැන් කොණ්ඩෙ පැත්තට පීරලා. චම්පක හිතනව ද දන්නෙ නැහැ කොණ්ඩෙ පීරන විධිය වෙනස් කරාම වෙනස් මිනිහෙක් එනවා කියලා. 

රතන හිමිගෙ උපවාසෙ බද්‍යුද්දීින් අස්වෙන්න ඉස්සෙල ම අස් කර ගත්ත. අසාද් සාලිටයි හිස්බුල්ලටයි විතරයි රස්සාව නැති වුණෙ. බද්‍යුද්දීින්ලා ඊට පස්සෙ රොත්ත පිටින් ම අස්වුණා. දැන් ඉතින් විශ්වාසභංගෙත් පැරදිච්ච එකේ රොත්තට ම පුළුවන් ආපහු ඇමතිලා වෙන්න. දැනටමත් දෙන්නෙක් වැඩ. කොහොමට හරි පාස්කු ඉරිදායින් මාස තුනක් ගත වෙන කොට මියගිය අයට ආබාධ වුණු අයට ඔවුන්ගෙ නෑදෑ මිතුරන්ට හැරෙන්න වෙන්න කාටවත් කිසිම දෙයක් වෙලා නැහැ. පාස්කු ඉරිදා සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය පිළිබඳ ව රනිල්දාස පාර්ලිමේන්තුව මගින් සහතිකයකුත් ලබා දීල.

පාස්කු ප්‍රහාරය ගැන අර පාර්ලිමේන්තු ඊනියා තේරීම් කමිටුව නම් තාමත් ක්‍රියාත්මක වෙනවා. ඒකට යන්නෙ නැහැ කියපු දයාසිරි ගිහිල්ල හොඳට කරුණු ඉදිරිපත් කරල. ඊනියා තේරීම් කමිටුව බේරීම් කමිටුවක් වෙලා. පාස්කු ඉරිදා ටාජ් සමුද්‍රා (මේක සමුදෘ වුණා නම් ලියන්නෙ කොහොමද කියල ප්‍රශ්නයක් වෙන්න තිබුණා.) හෝටලයෙ කවුද හිටියෙ කියන එක අප දන්නෙ නැහැ. කවුරුවක්වත් විශේෂ කෙනෙක් නොහිටින්නත් ඇති. 

ඒත් මේ ඊනියා තේරීම් කමිටුවෙන් ඇති වැඩේ මොකක් ද? පාර්ලිමේන්තුව  ඒක පත් කරල තියෙන්නෙ රනිල් බේරල  මෛත්‍රිපාල වැරදි කාරයා කර්න්න.  ඒ පත්කරපු එකට විපක්‍ෂයත් හවුල්. මෛත්‍රිපාල හදනවා රනිල්ගෙ පොලිස්පති වැරදි කාරයා කරන්න. මේ ඔක්කො ම රනිල්දාසගෙ විශ්වාසභංගෙ වගේ ම සමහරුන් වැරදි කරුවන් කරන්න තවත් සමහරුන් නිවැරදි කරුවන් කරන්න උත්සාහ කරන්නෙ.

මේ රටේ ඊනියා ස්වාධීන කොමිසම් කියන්නෙ දීන කොමිසම්. දහනවවැනි සංශෝධනයෙන් ඇති කළ මේ දීන කොමිසම්වලින් සිද්ධ වෙලා තියෙන යහපත මොකක් ද? පාස්කු ප්‍රහාරය ඊනියා ස්වයං බෝම්බ කරුවන්ගෙ වැඩක් වගෙයි. එක ම ප්‍රශ්නය ස්වයං බෝම්බ කරුවන් එක දවසෙ එක වෙලාවට ක්‍රියත්මක වුණෙ කොහොම ද කියන එක. ඒකට ඉතා කුඩා සම්භාවිතාවක් (ඉඩක්) ඇති. 

ඒත් මා දන්නා සංඛ්‍යානයට අනුව සිද්ධියක් සිදු වූවාට පසු එයට ඇති සම්භාව්තාව ගණනය කිරීම වැරදියි. සම්භාවිතාව ගණනය කරන්න ඕන සිද්ධිය සිදු වීමට පෙර. ඕන නම් ඊළඟට ස්වයං බෝම්බ කරුවන් එකම දවසෙ එකම වෙලාවට ක්‍රියාත්මක වීමට ඇති සම්භාව්තාව ගණනය කරන්න පුළුවන්. ඒත් ඒ සම්භාවිතාව රනිල් අගමැති ලෙස ඉන්නවා ද නැද්ද යන්න අනුව වෙනස් වෙනවා. මට මතක නැති වුණා. රනිල්දාසත් පාර්ලිමේන්තුවෙ ඉන්නව ද නැද්ද යන්න මතත් වෙනස් වෙනවා.