පොහොට්ටුව ගෝඨාභය තමන්ගේ කර ගැනීම
ඊයේ ලිපියේ සේපාල ඒකනායකගේ නම සේපාල රත්නායක ලෙස පළ වී තිබුණේ අතපසු වීමකින්. ඒ පිළිබඳ මගේ කණගාටුව ප්‍රකාශ කරනවා.
අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊනියා විශේෂ නියෝජිතයකු පැමිණ පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් බටහිරයන් මුදා ගැනීමට කටයුතු කරනවා. ඔහුට මෙරට විනිසුරුවන් ද හමුවීමට විදේශ අමාත්‍යාංශයෙන් අවසර ලබා දී තිබුණා. පසුව දිනේෂ් විමල් ආදීන්ගේ මැදිහත් වීමකින් එය වැළකුණා. එහෙත් ඔහු උතුරේ සංචාරය කරලා පාස්කු ප්‍රහාරය ගැන හොයන්න. ඔහු තමා මෙරට පැවැත්වූ සාකච්ඡා සම්බන්ධ විස්තර දීමට බැඳී නැතැයි පවසනවා. එමෙන් ම ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට තමන්ට වුවමනා ආකාරයකට කටයුතු කිරීමට ඉඩ සලසන්න ඔහු වෙහෙසෙන්නේ මෙරට අණ පනත්වලට ඇඟිලි ගසමින්.
එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඊනියා රාජ්‍ය නොවන සංවිධානත් බටහිර සංස්ථාපිත ආධිපත්‍යයෙහි උපකරණ පමණයි. ඔවුන් වැඩ කරන්නේ අපේ වැනි නිවට නායකයන් ඉන්න රටවල් තම ආධිපත්‍යයෙහි තව දුරටත් තබා ගැනීමටයි. මෙරට දේශපාලනඥයන් මෙන් ම බටහිර අධ්‍යාපනයෙන් බිහි වී ඇති නිලධාරීන් ද බොහෝමයක් නිවට බටහිර ගැත්තන් පමණයි. ඔවුන් ලවා බටහිරයන්ට බොහෝ දේ බටහිරයන්ගේ මට්ටමෙන් සුළු මුදලකට කර ගන්න පුළුවන්. අයිසිස් සංවිධානයට සම්බන්ධ දෙදෙනකු රටට ආවේ කෙසේ ද? ඔවුන්ට රටට ඒමට අවසර ලැබුණේ කෙසේ ද? ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ පොලීසිය පාස්කු ප්‍රහාරයට අයිසිස් සම්බන්ධයක් නැති බවට කරන ප්‍රකාශ මධ්‍යයෙහි.
අද අලියකු තබා ගත් පමණින් ඇතැම් භික්‍ෂූන් වහන්සේට විරුද්ධ ව නඩු පැවරෙනවා. උන්වහන්සේ අත්අඩංගුවට ගැනෙනවා. එහෙත් හැම පන්සලක ම නො වෙයි. ඒ අතර උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය නැති කිරීමට දෙමළ කතාකරන හා මුස්ලිම් දේශපාලනඥයන් වැඩ කරනවා. පොළොන්නරුවේ ශිව දේවාලය ද ඇතුළු මෙරට ඇති බොහෝමයක් අබෞද්ධ සිද්ධස්ථාන ගොඩ නගා ඇත්තේ බෞද්ධ සිද්ධස්ථාන පිහිටා තිබූ තැන්වල. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ ගැන නිසි අධ්‍යයනයක් කළොත් දැන ගන්නට ලැබේවි.
මගේ ප්‍රශ්නය පොහොට්ටුව මෙවැනි සිංහල බෞද්ධ උරුමය වනසන ක්‍රියා ගැන දක්වන සැලකිල්ල මොකක් ද කියන එක. පොහොට්ටුව ස්මාට් ජාතිකවාදීන් යැයි කියා ගන්නා සිංහල බෞද්ධ විරොධීනට මිස ජාතිකවාදීන්ට තැනක් දෙන්නේ නැහැ. ඔවුන් ජාතිකවාදීන් හඳුන්වන්නේ ජාතිවාදීන් ලෙසයි. මෙයට ප්‍රධාන හේතුව බැසිල්ටවත් ඔහුගේ රුකඩයක් වූ ජී එල් පීරිස්ටවත් ජාතිකත්වයක් නොමැති වීමයි.
අද ශ්‍රී ල නි පක්‍ෂය මරා දමලා. එය මරා දැම්මේ බැසිල් බවයි මගේ අදහස. බැසිල් වැඩ ඉගෙන ගත්තේ එ ජා පක්‍ෂයෙන්. විශේෂයෙන් ම ගාමිණී දිසානායකගෙන්. මහින්දගේ ආණ්ඩුව තියෙන කාලයේ ශ්‍රී ල නි පාක්‍ෂික ප්‍රබලයන්ට ආණ්ඩුව එපා කෙරෙව්වේ බැසිල් නාමල් වැනි අය. මෛත්‍රිපාලගෙන් අහන්න. අද පොහොට්ටුවට එක් වී හෝ එක්වීමට හෝ සිටින සුසිල් ප්‍රේමජයන්ත අද මොනවා කීවත් මෛත්‍රිපාල සමග යහපාලන ගුබ්බෑයමට ගිය අයෙක්. ඔහුගෙන් අහන්න ඔහු එසේ ගියේ ඇයි ද කියා.
පොහොට්ටුව බැසිල්ගේ නිරමාණයක් නොවෙයි. මහින්ද සුළඟ නිර්මාණය වූ දවස්වල බැසිල් හිටියේ කැලිෆෝනියා සුළඟේ ආශ්වාදය විඳිමින්. දිනේෂ්ලා විමල්ලා වාසුලා ගම්මන්පිළලා ගොඩ නැගු දේශපාලන ව්‍යාපාරයකට බැසිල් පසුව පැමිණ නමක් හා ලිපිනයක් දුන්නා පමණයි. අද පොහොට්ටුව කපන්න බැරි අත සිඹින්නාක් මෙන් ගෝඨාභය තමන්ගේ බවට පත්කර ගන්න හදනවා. එහෙත් ගෝඨාභය ඉල්ලනු ලැබ සිටියේ ජනතාව විසිනුයි. මුල දී පොහොට්ටුව ගෝඨාභය ඉල්ලා සිටියා ද?
ගෝඨාභය ජනතාව විසින් භික්‍ෂූන් වහන්සේගේ ආශිර්වාදයෙන් ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කෙරි බොහෝ කල්. ඒ ඔහු පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන ඇත්නම් එයට බොහෝ කලකට පෙර. පොහොට්ටුවට ලබන එකොළොස්වැනි දා ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කිරීමට දෙයක් ඉතිරි වී නැහැ. ඔවුන්ට කළ හැක්කේ ඒ නම අනුමත කිරීම පමණයි. එහෙත් අද පොහොට්ටුව ගෝඨාභය තමන්ගේ කර ගැනීමට උත්සාහ කරනවා. එය ගෝඨාභයට අවාසියි.
රාජපක්‍ෂලාගෙන් ජනතාවගේ ආකර්ෂණය දිනා ගෙන ඇත්තේ මහින්ද හා ගෝඨාභය පමණයි. ඒ වෙන් අන්කිසිවක් නිසා නොවෙයි කොටි පරාජය කළ මෙහෙයුමට නායකත්වය දුන් නිසා. අනෙක් රාජපක්‍ෂලාගෙන් එහි දී සිදු වූ සේවයක් නැහැ. ට්‍රොයිකා සාකච්ඡාවල දී මෙන් ඔවුන් කටයුතු කර ඇත්තේ අනෙක් පැත්තට.
මහින්ද 2015 දී පැරදෙණ විටත් බැසිල් සංවිධායක. 2018 පෙබරවාරි මැතිවරණයේ දී පොහොට්ටුවට ලැබුණේ ඡන්ද 40%ක් පමණයි. පොහොට්ටුව උද්ධච්ඡ වී තමන්ට පමණක් දිනන්න පුළුවන් කියා හිතුවාට එසේ කරන්න බැහැ. ගෝඨාභය තමන්ගේ කර ගැනීමෙන් කොහොමටවත් දිනන්න බැහැ. පොහොට්ටුව නිසා ගෝඨාභයට විරුද්ධ වන පිරිසක් ඉන්නවා.
අද අවශ්‍ය වන්නේ ජාතික හා වාම කේන්ද්‍ර කඳවුරේ පුළුල් සංධානයක්. පොහොට්ටුව ක්‍ෂුද්‍ර පක්‍ෂ දහයක් සමග වෙන වෙන ම ගිවිසුම් අත්සන් කරලා. මේ පක්‍ෂ ගැන බොහොා දෙනා අසාවත් නැහැ. පොහොට්ටුව උද්ධච්ඡකමට ම එ පෙ, ජා නි පෙ ආදී පක්‍ෂ සමගත් වෙන වෙන ම ගිවිසුම් අත්සන් කරන්නයි බලාපොරොත්තු වුණේ. එහෙත් ඒ පක්‍ෂ එයට කැමති වුණේ නැහැ. බැසිල්ගේ ගැට හැම තැන ම ගහන්න බැහැ. මේ ගැට දේශපාලනයෙන් මිදෙන්න ඕන.
ශ්‍රී ල නි පක්‍ෂය අද බොහෝ දුර්වලයි. පසුගිය පෙබරවාරියට වඩා දුර්වලයි. එහෙත් ඔවුන්ටත් යම් බලයක් තියෙනවා. අර පක්‍ෂ දහය එකතු කර ගත්තත් ශ්‍රී ල නි පක්‍ෂයට ඊට වඩා විශාල බලයක් තියෙනවා. අද අවශ්‍ය වන්නේ පනස්හයේ මෙන් සංධානයක්. පනස්හයේ ම එ පෙ කියන්නෙ සංධානයක්. අවාසනාවකට බැසිල් පනස්හයේ දරුවකු නොවෙයි. ඔහු පනස්හයට පටහැණිව යනවා. එහෙත් මහින්දත් මෛත්‍රිපාලත් දිනේෂුත් පනස්හයේ දරුවෝ.
මහින්ද හා මෛත්‍රිපාල හැකි ඉක්මණින් හමුවන්න ඕන. අවශ්‍ය පනස්හයේ මෙන් සංධානයක් මිස ඒ ඒ පක්‍ෂ සමග ඇති කර ගන්නා ඊනියා ගිවිසුම් නො වෙයි. ගෝඨාභය අයත් වන්නේ එවැනි සංධානයකට මිස පොහොට්ටුවට නොවෙයි. පොහොට්ටුව කපන්න බැරි අත සිඹිමින් ගෝඨාභය තමන්ගේ කර ගැනීමට වෙහෙසෙන්නේ රටේ යහපතට නම් නො වෙයි.