Main Logo

Wednesday 31 July 2019

මුස්ලිම් අන්තවාදය, දහනවය, ජයම්පති හා මහින්ද

මුස්ලිම් අන්තවාදය, දහනවය, ජයම්පති හා මහින්ද 




ලෝක මුස්ලිම් සම්මේලනයේ නායකයා මල්වතු මහානාහිමියන්ට අතට අත දෙන්න ගිහින් ඊට පස්සේ නාහිමියන්ගේ අසුනෙහි ම වාඩිවෙන්න හදලා. ඒක මෙරටට එන බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයෙ නායකයන් නොකරන වැඩක්. මෙරට මුස්ලිම් නායකයන් ලෝක නායකයාට මෙරට සිරිත් විරිත් කියා දුන්නෙ නැද්ද? එහෙමත් නැත්නම් ඔවුන්ගෙ සිංහල බෞද්ධ සංස්කෘතියට සතපහක ගෞරවයක් නැද්ද? මල්වතු මහානාහිමියන්ට අපේ ප්‍රණාමය පිරිනමන්න ඕන මුස්ලිම් ලෝක නායකයා නියමිත තැන තිබීම ගැන.


අද මුස්ලිම් දේශපාලනඥයන් කටයුතු කරන්නෙ ඔවුන් මෙරට පාලකයන් ලෙස හිතාගෙන. අසාද් සාලිගේ තර්ජන, හිස්බුල්ලාගේ ගර්ජන, බද්‍යුද්දීන්ගේ මර්දන මැද්දෙ අපට ජීවත් වෙන්න සිද්ධ වෙලා. ඒ සිංහල යැයි කියන නිවට දේශපාලනඥයන්ගෙ මුස්ලිම් ඡන්ද පෙරේතකම නිසා. පාස්කු ප්‍රහාරයට වරදකරුවන් මුස්ලිම් අන්තවාදීන් නොවන බව අද කියන්න හදනවා. සිංහලයන් හැම තැන ම බෙදිලා.  නීති, රහස් පොලීසිය වැනි රජයේ දෙපාර්තමේන්තුවලත් සිංහල නිලධාරීන් පක්‍ෂ දේශපාලනය අනුව බෙදිලා. ඒ නිසා එහි මුස්ලිම් නිලධාරීන් තම තමන්ට අවශ්‍ය විධියට වැඩ කරනවා. නීතිපති දෙපාර්තමේන්තුවට පුළුවන් නම් සහරාන් සම්බන්ධ ලියවිලි යට ගහලා එයට "සොරි" කියල බේරෙන්න එහි වරද පැටවෙන්නෙ නිවට සිංහල දේශපාලනඥයන්ට. ඔවුන් ආණ්ඩු පක්‍ෂයේ මෙන් ම විපක්‍ෂයේත් ඉන්නවා. 

අර මුස්ලිම් ඇමතිවරුන් අස්වුණෙ මොකද කියන එක දැන් පැහැදිලියි. ඒ රතන හිමියන්ගෙ උපවාසයක් හින්ද නොවෙයි. බද්‍යුද්දීන් ව විශ්වාසභංගෙන් මුදවන්න. බද්‍යුද්දීන්ට විතරක් අස්වෙන්න බැරි නිසා ඔක්කොම අස්වුණා. ඒකට ඕන නම් මුස්ලිම් සහෝදරත්වය කියන්න. සිංහලයන් අතර එවැනි සාමූහිකත්වයක් නැත්තේ ඇයි? එදා විශ්වාසභංගය ගෙනාව නම් බද්‍යුද්දීන් පරදිනවා. කතෝලික එ ජා ප මන්ත්‍රීන්ද විශ්වාසභංගෙට පක්‍ෂ වෙනවා. ඒක වළක්වන්න එක් පැත්තකින් මුස්ලිම් ඇමතිවරු අස්වුණා. අනෙක් පැත්තෙන් ජ වි පෙ ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ල ආණ්ඩුවට විශ්වාසය පළ කළා. අද නැවතත් බද්‍යුද්දීන් ඇමති. රතන හිමියන් කුමක් කීවත් අද නැවත බද්‍යුද්දීන්ට විරුද්ධ ව විශ්වාසභංගයක් ගෙනැල්ල දිනන එක පහසු නැහැ. මුස්ලිම් අන්තවාදය ගැන තවදුරටත් කතා කරන්න ඕන.  

දහනවය ගැනත් වචනයක් දෙකක් කියන්න ඕන. ජනමාධ්‍යයෙහි ප්‍රචාරය වන්නෙ ජයම්පති දහනවය වැරදිය කියනව වගේ අදහසක්. ඒ සමග මහින්දගෙ ප්‍රකාශයකුත් ප්‍රචාරය වෙනවා දහනවය තම පවුල ඉලක්ක කරගෙන ගෙන ආ සංශෝධනයක් බවත් ඒ අතර ජනාධිපති බලතල කප්පාදු කළ බවත් මෛත්‍රිපාල රැවටුණු බවත්. මට නම් හිතෙන්නෙ ජනමාධ්‍යයි මහින්දයි වෙනත් අයයි අප රවටන බවයි. 

මා ජයම්පති හඳුනන්නෙ අවුරුදු පනහක පමණ කාලයක සිට. ජයම්පති කියන දේ මට තේරෙනවා. වාසුදේවත් ඒ තරම් ම කාලයක තිස්සේ හඳුනනවා. ඒ අප සියල්ලන් එක් කලෙක සමසමාජ පක්‍ෂයෙ සිටි නිසා. ඒත් අද ජයම්පති පමණක් කියාවි තමා තවමත් සමසමාජ පක්‍ෂෙ කියලා. තිස්ස විතාරණ නම් ඒ බව පිළිගන්න එකක් නැහැ. කවුද සමසමාජ කාරයා කියන එක ඒ තරම් වැදගත් ප්‍රශ්නයක් නොවෙයි. කවුද මාක්ස්වාදියා කියන එකත් වැදගත් ප්‍රශ්නයක් නො වෙයි. මාක්ස්වාදය කියන්නෙ කිසි දා වලංගු නොවූ දැනුම් පද්ධතියක්. වලංගු වෙනවයි කියන්නෙත් හරි කියන එක නොවෙයි. සමහර වෙලාවට හරියනව කියන එක පමණයි. 

කාල් කොපර් කියල තියෙන කාරණයක් තමයි ජ්‍යොතිෂය, මාක්ස්වාදය, ෆ්‍රොයිඩ්ගෙ මනෝ විශ්ලේෂණය ආදිය එකක්වත් (බටහිර) විද්‍යා නොවෙයි කියලා. මා පොපර් විශ්වාස කරන්නෙ නැහැ. ඒත් අදත් බටහිර විද්‍යාවේ දර්ශනය ගැන කතා කරන අයට පොපර් තමයි එහි අවසාන වාක්‍යය ලියල තියෙන්නෙ. කාලෝ ෆොන්සේකාගෙන් අහන්න. කාලෝ එකවිට කාල් පොපර් මෙන් ම කාල් මාක්සුත් විශ්වාස කරනවා. හැබැයි කාල් පොපර් කාල් මාක්ස් විශ්වාස කරන්නෙ නැහැ.  එය කාලෝ සහ කාල්ලා අතර විසංවාදයක්. මේ කාලෝ කාල්ලා සමග සමාන කිරීමක් නොවෙයි. සමද්විපාද ත්‍රිකෝණයක කාලෝ ඉන්න ශීර්ෂයට විරුද්ධ පාදය කෙටියි. කාල්ලා දෙන්නා අතර ඇති බුද්ධිමය වෙනස සුළු එකක්. 

කාල් පොපර් මාක්ස්වාදය විද්‍යාවක් නොවේ යැයි කියන එක  මෙරට මාක්ස්වාදී පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට ප්‍රශ්නයක් වේවි. මනෝ විශ්ලේෂණය ගැන කියන දේත් ඒ තරම් සතුටක් ගෙන දෙන එකක් නැහැ. එහෙත් ජ්‍යොතිෂය ගැන කියන දේ ගැන නම් සතුටු වේවි. මට නම් ජ්‍යොතිෂය මාක්ස්වාදයට වඩා හරි යන වැඩ කරන පද්ධතියක්. අර "කම්කරු පංතියට" තාම කම්කරු පංති විඥානය ගෙන යන්න ඊනියා බුද්ධිමතුන්ට බැරි වුණා ද? 

අද ජාතිකත්වය හැම රටක ම බලවේගයක් බවට පත් වෙලා. ලෙනින්ගෙන් පසු රුසියාවේ පුටින් මුස්ලිම් ව්‍යාප්තවාදයට විරුද්ධ ව කියා තියෙන දේ කියවන්න. එක් මාක්ස්වාදී පඬියකු කියල තිබුණා ජාතිකත්වය ඉදිරියට එන්නෙ ධනවාදයට විරුද්ධව මාක්ස්වාදී ව්‍යාපාරයක් නැති නිසා කියලා. මේක පරණ කතාවක්. අපේ කාලෙ මාක්ස්වාදීන් ඊට වඩා හොඳ උත්තරයක් දුන්නා. ඔවුන් කිව්වෙ කම්කරු පංති විප්ලවයට වාස්තවික තත්වයන් සම්පූර්ණ කර තිබුණත් ආත්මීය නායකත්වයක් නැති කම එයට හේතුව කියලා. නායකත්වය ආත්මීය කාරණයක් කියමු. දැන් ප්‍රශ්නය ආත්මීය සාධකය නැති වීමට ඊනියා වාස්තවික සාධකයක් තියෙනවා ද කියන එක. අද ධනවාදයට විරුද්ධ ව සටන් කිරීමට මාක්ස්වාදී ව්‍යාපාරයට නොහැකි නම් එයට වාස්තවික හේතුව මොකක් ද කියලා පඬියාට කියන්න පුළුවන් ද? එහෙමත් නැත්නම් මෙයිසු ද කවුද කියනව වගේ ඇත්තේ ගණිතමය යථාර්ථයක් ද? විඥානවාදී යථාර්ථයක් ද?

ඒ කොහොම වුණත් ජයම්පති තමන්ගෙ දායකත්වයෙන් බිහි වුණු දහනවය වැරදිය කියන්නෙ නැහැ. ඔහු කියන්නෙ ඔහුට අවශ්‍ය තරමට ජනාධිපති බලතල ඉවත් කරන්න බැරි වුණ නිසා අද මේ ජනාධිපති අගමැති පොරය ඇති වී තියෙන බවයි. ජයම්පති ඇත්තක් කියනවා. දහනවයෙන් ජනාධිපති බලතල කියන තරම් අඩුවෙලා නැහැ. මෛත්‍රිපාලගෙ ප්‍රශ්නය ඔහුට තියෙන බලතල ක්‍රියත්මක කිරීමට  ශක්තියක් නොමැති වීමයි. අප කාලයක සිට කිව්වේ මහින්ද ඒ ශක්තිය මෛත්‍රිපාලට ලබා දී රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතු බව. එය නොකෙරුණ නිසා රනිල් තවමත් අගමැති.

දහනවයට මෛත්‍රිපාල රැවටුණත් නැතත් මහින්ද තම මන්ත්‍රීන්ට එයට ඡන්දය දෙන්න කිව්වේ ඇයි? මහින්ද අද කතා කරන්නේ එදා විපක්‍ෂය දහනවයට විරුද්ධ ව ඡන්දය දුන්නා වගේ. මහින්ද එදා රැවටිලා හරි නැතිව හරි අද ජනතාව රවටන්න හදනවා.