Main Logo

Monday 15 June 2015

පාර්ලිමේන්තුව විසුරුවා හරිනු (ඉරිදා රිවිර ලිපියක සුලු සංස්කරණයකි )

පාර්ලිමේන්තුව විසුරුවා හරිනු

ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය මූලික වශයෙන් බොරුව වටා කරකැවෙයි. එහි දී කෙරෙන්නේ හැකිතාක් දෙනා හැකිතාක් දුරට රැවටීම ය. එහෙත් ලංකාවේ අද කෙරෙන ආකාරයේ බොරුවක් ලොවේ කිසි තැනෙක මින් පෙර ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන පාර්ලිමේන්තු දේශපාලනයෙහි සිදු වී ඇතැයි කිව නො හැකි ය. අද රනිල් වික්‍රමසිංහ මහතා කියන ලොකු ම බොරුව ජනතාව විසින් ඔහු අගමැති තනතුරට පත් කෙරුණු බව ය. ජනතාව ජනවාරි 8 වැනි දා කෙළේ ජනාධිපති මාරු කිරීම මිස පාර්ලිමේන්තුව හා අගමැති වෙනස් කිරීම නො වේ. එහෙත් සංධානයේ මන්ත්‍රීන් මේ කතාව ජනතාවට අවධාරණය කරන්නේ යැයි කිව නො හැකි ය.


අප මේ කතාව පුවත්පත් සාකච්ඡා කිහිපයක ම හා සම්මන්ත්‍රණ කිහිපයක ම කී නමුත් විද්‍යුත් ජනමාධ්‍යයෙන් ඒ සඳහා නිසි ප්‍රචාරයක් ලබා දෙනු නො ලැබිණි. ජනමාධ්‍යවේදීන් එක්කෝ අප කියන්නේ ප්‍රවෘත්ති වටිනාකමක් නැති විකාරයක් යැයි සිතනවා විය හැකි ය. නැතහොත් අප කියන දෙය වැරදි යැයි සිතනවා විය හැකි ය. එසේත් නැත්නම් අප කියන කරුණෙහි ඇති වැදගත්කම ඔවුන්ට නොතේරෙනවා විය හැකි ය.  එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටීමට යොදා ගන්නා එක් ප්‍රධාන තර්කයක් නම් ජනතාව ඔහු අගමැති තනතුරට පත්කළ බව ය. එහෙත් ඔහු අගමැති කම පික්පොකට් ගෑසූ අයකු පමණ ය. 

රනිල් වික්‍රමසිංහ මහතා කියන ආකාරයට 2010 දී ජනතාව වර්තමාන පාර්ලිමේන්තුව පත් කෙළේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ලෙස පත්කර ගැනීමෙන් පසු ඒ මහතාට සහාය දීමට ය. එහෙත් පසුගිය ජනවාරි 8 වැනි දා ජනතාව මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත්කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවට දුන් ඒ වරම අහෝසි විය. එබැවින් මේ පාර්ලිමේන්තුවට තවදුරටත් පැවතීමට අයිතියක් නැත. රනිල් වික්‍රමසිංහ මහතා කියන ආකාරයට මේ පාර්ලිමේන්තුව මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දී යුතු ය. එසේ නැත්නම් වෙනත් පාර්ලිමේන්තුවක් පත්කර ගත යුතු ය. 

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට නව එකතුකිරීමක් කරයි. එහි වරදක් නැත. මෙරට බුද්ධිමතුන් යැයි කියාගන්නා අයට තම තමන්ගේ ක්‍ෂෙත්‍රවල නව එකතුකිරීම් කළ නොහැකි බැවින් දේශපාලනඥයන් ඒ කර්යයට අත ගැසීම වරදක් නැත. එහෙත් කරන දෙයක් කරන්නට සිදුවන්නේ අදාළ රටේ පවත්නා ව්‍යවස්ථාවට එකඟව ය. සමහර විට රනිල් වික්‍රමසිංහ මහතා කියනු ඇත්තේ ඔහුගේ නව ප්‍රවාදය අනුව ව්‍යවස්ථාව කුණු කූඩයට දැමිය හැකි බව ය. ඒ එසේ නම් තවදුරටත් ඒ ගැන සාකච්ඡා කිරීම අනවශ්‍ය ය. 

සාකච්ඡා කිරීම අනවශ්‍ය වුවත් වචනයක් නොකියාම බැරි ය. අද රනිල් වික්‍රමසිංහ මහතා මෛත්‍රිපාල සිරිසේන මහතා සමග එකතු වී ව්‍යවස්ථාව කුණු කූඩයට දමා ඇත. රනිල් වික්‍රමසිංහ මහතා  අගමැති වූයේ දි මු ජයරත්න මහතා අගමැති ව සිටිය දී ම ය. ඒ කුමක් වුවත්  පාර්ලිමේන්තුවක් ජනාධිපතිට සහාය දීම යන්නෙන් රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කරන්නේ කුමක් ද? මේ පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්‍ෂ නායක ව සිටිය දී මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දුන්නේ ද? ප්‍රවාද නිර්මාණය ගැන අදහසක් නැති රනිල් වික්‍රමසිංහ මහතාට එවැනි කරුණු ගැන අවබෝධයක් නැති විය හැකි ය. ඔහු කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය ජනාධිපතිට සහාය දිය යුතු බව ද? 

මේ පාර්ලිමේන්තුවේ බහුතරය මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය නෙදෙන්නේ නම් කළ යුත්තේ පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර වෙනත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම ය. එහෙත් ඒ පාර්ලිමේන්තුවේ බහුතරය සිරිසේන මහතාට සහාය දේවි යැයි සහතිකයක්  දීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි ද? ඒ පාර්ලිමේන්තුවත් සහාය නොදුනහොත් කළ යුත්තේ කුමක් දැයි රනිල් ප්‍රවාදයෙහි සඳහන් වේ ද? එවිට ජනාධිපති ඉවත් කළ හැකි ද?  

මෛත්‍රිපාල සිරිසේන මහතා තම ගනුදෙනුව (ඩීලය) අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති නොකර ජයරත්න මහතාට ම අගමැති ධුරයේ කටයුතු කිරීමට ඉඩ දුන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතාට තමාට නොතේරෙන ප්‍රවාද නිර්මාණය කිරීමේ කටයුත්තට අතගැසීමට අවශ්‍යතාවක් නොවන්නට තිබිණි.  එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා ඒ කිසිවකින් පසුබට නො වෙයි.
     
ඔහු දැන් අලුත් තර්කයක් ගෙන එයි. ඒ දින සියයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එ ජා පක්‍ෂයට අවශ්‍ය වූ නමුත් අද ආණ්ඩුව පවත්වාගෙන යන්නේ සංධානයේ අවශ්‍යතාවට බව ය. මෙය මුළුමනින් ම අසත්‍ය ය. මේ නීති විරෝධී පික්පොකට් ආණ්ඩුව යනු ඡන්ද පදනමක් නැති ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රිපාල කණ්ඩායමේ ආධාරය ලබන එ ජා ප ආණ්ඩුවකි. මෛත්‍රිපාල සිරිසේන මහතාට ජාතික හෙළ උරුමයේ  සහාය ලැබෙන අතර රනිල් වික්‍රමසිංහ මහතාට දෙමළ හා මුස්ලිම් පක්‍ෂ කිහිපයක ආධාරය ලැබෙයි. එහෙත් සංධානය කිසිම අයුරකින් ආණ්ඩුවේ කොටස් කරුවකු නො වේ. අප මේ වෙනස පැහැදිලි කරගත යුතු ය. රනිල් වික්‍රමසිංහ මහතාට ජනතාව රැවටීමට ඉඩ නොතැබිය යුතු ය. 

අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රධාන කරුණු දෙකක් වෙයි. ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් පත් කිරීම වැදගත් ප්‍රශ්නයක් නො වේ. ප්‍රධාන ප්‍රශ්න නම් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය, රනිල්ට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාව හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ය. පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නො හැකි ය. එය ජනාධිපතිගේ කාර්යයකි. එබැවින් ඒ ප්‍රශ්නය පාර්ලිමේන්තුව හමුවේ නැත. එහෙත් ඒ කරුණ ප්‍රධාන ප්‍රශ්න දෙක සමග බැඳී ඇත.

අපට වඩා වැදගත් වන්නේ මේ පික්පොකට් ආණ්ඩුව පළවා හැරීම ය. විශ්වාසභංග යෝජනාවේ අරමුණ කුමක් වුවත් එය සම්මත වීමෙන් පසුව සඵල ව සිදුවන්නේ ද එයම ය. අගමැති විශ්වාසභංග යෝජනාවකින් පරාජය වූ විට සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය යටතේ නම් ජනාධිපති (ඒ සඳහා බලය ඇති අය) පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනගත හැකි යැයි සිතන අයකු  අගමැති තනතුරට පත්කළ යුතු ය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංගය පැරදුණු පසු මෛත්‍රිපාල සිරිසේන මහතා එසේ නො කරනු ඇත. ඔහු සමහර විට අගමැති කෙනකු නැතිව කැබිනට්ටුව හා පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට උත්සාහ දරනු ඇත. 

අද කැබිනට්ටුවේ අනුමත වී ඇති විස්ස රනිල් වික්‍රමසිංහ මහතාගේ ය. එය සංශෝධන ඇතිව සම්මත කරගත හැකි නම් ප්‍රමුඛතාව දිය යුත්තේ එයට ය. ඉන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සංධානයට ප්‍රශ්නයක් විය නො හැකි ය. මෛත්‍රිපාල සිරිසේන මහතා අගමැතිවරයකු නොමැතිව කැබිනට්ටුව හා පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමේ පියවරක් නොගන්නට විශ්වාසභංග යෝජනාවෙන් ද සඵල ව සිදුවිය යුත්තේ එයයි. විශ්වාසභංගය සම්මත වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහරින ලෙස සංධානය කොතැනකවත් කියා නැත. සංධානය කියන්නේ හෙට වුවත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් තමන් එයට විරුද්ධ නොවන බව ය. මේ සම්බන්ධයෙන් අජිත් පෙරේරා මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ කියන කතා අපි නො පිලිගනිමු. ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි යැයි කී කිරිඇල්ල මහතා රෑට රෑට සංධාන මන්ත්‍රීවරුන් තමන් හමු වී විශ්වාසභංගයට ඡන්දය නොදෙන බව කියන්නේ යැයි පාර්ලිමේන්තුවේ දී සඳහන් කර ඇත. එසේ නම් ඔහු සභානායක ලෙස විශ්වාසභංගය විවාදයට ගැනීමට පියවර ගෙන ඒ පරාජය කළ යුතු ය.

රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන මහත්වරු හොරා පොලිස් සෙල්ලම් කරති. එක් පැත්තකින් හොරා හොරා කියමින් ඊනියා රාජපක්‍ෂ රෙජිමය දඩයම් කිරීමට ඔවුහු කටයුතු කරති. අනෙක් පැත්තට එකිනෙකා ආරක්‍ෂා කරමින් 2016 අප්‍රේල් දක්වා පික්පොකට් ආණ්ඩුව පවත්වාගෙන යෑමට ඔවුහු කටයුතු කරති. එහි දී තම සගයන් ලවා එකිනෙකාට චෝදනා කරවීමට ද ඔවුහු අමතක නො කරති. විස්ස ගෙන ඒමට නම් විශ්වාසභංගය අස්කරගත යුතු යැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධියේ කියා ඇත. මෛත්‍රිපාල සිරිසේන මහත සංධාන නායකයන්ට ඒ බව කියා ඇත. මෛත්‍රිපාල සිරිසේන මහතාට රනිල් වික්‍රමසිංහ මහතා ආරක්‍ෂා නොකර පැවැත්මක් නැත. විස්ස හා විශ්වාසභංගය අතර ඇති සම්බන්ධයක් ද නැත. 

අපේ ප්‍රමුඛතාව අපි මෙසේ දක්වමු. සංශෝධන සහිත ව විස්ස සම්මත කරගත හැකි නම් එසේ කර ඉන්පසු වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ය. එහෙත් එ ජා පක්‍ෂය විස්සට නිසගයෙන් ම විරුද්ධ ය. මැතිවරණයක දී සමානුපාතික ක්‍රමය එ ජා පක්‍ෂයට වාසි ගෙන දෙන බව රහසක් නො වේ. එතනොල් කුඩු කතා මොනවා වුවත් අත දිග හැර වියදම කළ හැකි අය වැඩි වශයෙන් ඇත්තේ එ ජා පක්‍ෂයෙහි ය. එබැවින් එ ජා ප සංශෝධන සහිත ව විස්ස සම්මත කර ගැනීමට බාධා පමුණුවනු ඇත. විස්ස සම්මත කරගත නොහැකි නම් විශ්වාසභංගය සම්මත කර වහාම පාර්ලිමේමන්තුව විසුරුවා හැරීමට මෛත්‍රිපාල සිරිසේන මහතාට බල කළ යුතු ය. ඔහු ලවා සංධාන ආණ්ඩුවක් පිහිටුවීමට කතාකිරීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් පමණක් නොව සංධානයට විරුද්ධව රනිල් වික්‍රමසිංහ මහතාට ආයුධ සැපයීමකි. ඒ දෙකෙන් එකක්වත් කළ නොහැකි නම් පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරීමට මෛත්‍රිපාල සිරිසේන මහතාට බල කළ යුතු ය. එ ජා ප උඩින් කුමක් කීව ද යටින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධ ය. මැතිවරණයක දී ඔවුන්ගේ පරාජය සිකුරු ය. එ ජා පක්‍ෂයට රටේ ඡන්ද හැට දෙලක්‍ෂයක් නැත. ඒ ඡන්ද දෙමළ හා මුස්ලිම් පක්‍ෂවල ද ඡන්ද එකතුවීමෙන් ලැබිණි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එ ජා පක්‍ෂයේ  විරෝධය දැනට ඊනියා සංධානයක් පිටින් යැවීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරයි. එයට ඉඩ දිය යුතු නො වේ. පාර්ලිමේන්තුව විසුරුවා නොහරින්නේ නම් සංධානය පාර්ලිමේන්තුව වර්ජනය කර විසුරුවා හරීමට කරන උද්ඝෝෂණය ඉන් පිටතට ගෙන ගිය යුතු ය.  

නලින් ද සිල්වා

2015 ජූනි 14