Main Logo

Monday 22 June 2015

ශ්‍රී ල නි ප සමගිය හා විස්ස (ඉරිදා රිවිර ලිපියක සුලු සංස්කරණයකි)

ශ්‍රී ල නි ප සමගිය හා විස්ස

ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද පිළ හා මෛත්‍රිපාල පිළ එකතු කිරීම ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් හයදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කෙරී ඇත. කුමක් ප්‍රසිද්ධියේ කීව ද කමිටුවෙන් බලාපොරොත්තු වනුයේ දෙපිළ එකතු කිරීම ය. අප සති කිහිපයකට පෙර කී පරිදි බල තුලනයේ වෙනසක් සිදු වී ඇත. සති කිහිපයකට පෙර ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද පිළ බලවත් විය. මාතර දී ඒ තහවුරු විය. අද ඒ රැල්ල නැවැත්වීමට කිසිම ජගතකුට විජාතික ඔත්තු සේවයකට නො හැකි ය. ඔත්තු සේවාවන්ට ද තම ක්‍රමෝපායන් වෙනස් කිරීමට සිදු වී ඇත. අප ඒ පිළිබඳ ව සිහි කල්පනාවෙන් සිටිය යුතු ය. ශ්‍රී ල නි පක්‍ෂයේ බලය මහින්ද කණ්ඩායම අතට පත්වීමත් සමග පාර්ලිමේන්තුවේ ද රටේ ද එ ජා පක්‍ෂය දුර්වල වී ඇත. 


මහින්ද කන්ඩායම, මෛත්‍රී කණ්ඩායම හා එ ජා ප ගතහොත් අද වන විට වඩාත් ම දුර්වල මෛත්‍රී කණ්ඩායම ය. ඔවුන්ට සහායට සිටින්නේ ජාතික හෙළ උරුමය පමණකි. එ ජා පක්‍ෂයට සමහර දෙමළ හා මුස්ලිම් පක්‍ෂ ඇති අතර මහින්ද කණ්ඩායමට සංධානය ඇත. ඒ තත්ත්වය යටතේ මැතිවරණයකින් ජයගෙන ආණ්ඩුවක් පිහිටුවීමට මෛත්‍රී කණ්ඩායමට නො හැකි ය. ඔවුන්ට එ ජා ප සමග එකතු වීම ද පහසු වැඩක් නො වේ. ඒ නාම යෝජනා සම්බන්ධ ප්‍රශ්න ඇතිවන බැවිනි.

රටට ස්වාධීන පැවැත්මක් තිබිය හැක්කේ ශ්‍රී ල නි පක්‍ෂය බලවත් වීමෙනි. අද ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය අවශ්‍ය වෙයි. බටහිරයන් හා ඉන්දීයයන් ඊනියා මහින්ද රෙජිමය ගෙදර යැවීමට උත්සාහ කෙළේ රටෙහි ස්වාධීනත්වය අහෝසි කිරීමට ය. එහි දී ඔවුහු ඊනියා යහපාලනයක් ඉදිරියට ගෙන ආවෝ ය. එහෙත් යහපාලනය දැන් මළකඩ කෑ අවියක් බවට පත් වී ඇත. ඊනියා මහින්ද රෙජිමය ගෙදර යැවීමට නො හැකි විය. සිංහලයන්ගෙන් බහුතරය මහින්ද රාජපක්‍ෂ මහතා වටා එක් රොක් වූහ. ඒ රැල්ල තව තවත් වර්ධනය වෙයි. මෛත්‍රීපාල කණ්ඩායමට මෛත්‍රිපාල නැතිව වුව මහින්ද කණ්ඩායම සමග එක්වීමට බල කෙරී ඇත. ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති කවුරුන් වුව ද අද වන විට නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා ය. 

අපි පසුගිය අප්‍රේල් 12 වැනි දා කාලය වෙබ් අඩවියෙහි මෙසේ පැවසීමු. “ අද මෛත්‍රිපාල  සිරිසේන ද සිංහල ජාතිකත්වයට විරුද්ධ ය. ඔහුට පසුගිය දා ඉන්දියාවේ දී හා එංගලන්තයේ දීත් ඊට පෙර අමෙරිකාවේ දීත්  උගන්වා ඇත්තේ සිංහල විරෝධී වීමට ය. ඔහු ඉඳහිට කියන්නේ කල්පනාකාරීව වැඩ නොකළහොත් අපට භයානක අනතුරකට ඉදිරියේ දී මුහුණ පෑමට සිදුවන බව ය. ඔහු මේ නොකියා කියන්නේ අප දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීම් ඉටු නොකළහොත් රට භයානක අනතුරකට මුහුණ දෙනු ඇති බව ය. ඔහු අද සිංහල ජාතිකත්වයට කන්දීමට සූදානම් නැත. ඔහු අද  මතවාදී වශයෙන් ද  යැපෙන්නේ බටහිරයන්ගෙන් හා ඉන්දියානුවන්ගෙනි. ඔහු අද චන්ද්‍රිකා මෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ මූලික ජාතිකවාදී ප්‍රතිපත්තිවලට  විරුද්ධ ය.”

ඉන් පෙර මාර්තුවේ ම රනිල් මෛත්‍රිපාල ගැටුම ගැන කතා කෙළෙමු. අද රනිල් මෛත්‍රිපාල ගැටුම තවත් උග්‍ර වී ඇත. එහෙත් මහින්ද මෛත්‍රිපාල එකතුවක් ගැන දැන් කතා කෙරෙයි. දේශපාලනයෙහි යම් වෙනසක් සිදු වී ඇති බව පැහැදිලි ය. බටහිරයන් හා මෙරට විජාතික බලවේගවලට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වයෙන් ඉවත් කිරීම ය. ඔවුහු අනුවේ දශකයේ මුල ප්රාජිතලා, අයිවන්ලා සමග එකතු වී චන්ද්‍රිකා මගින් ඒ සාක්‍ෂාත් කිරීමට උත්සාහ කළහ. එහෙත් 2005 වන විට ඒ අසාර්ථක විය. අවුරුදු පහළොවකට ආසන්න කාලයක ක්‍රියාත්මක වූ ප්‍රබල ව්‍යාපෘතියක් පරාජය කිරීමට ජාතික ව්‍යාපාරයට හැකි විය. 

2010න් පසුව විජාතික බලවේග ක්‍රියාත්මක වූයේ ඊනියා රාජපක්‍ෂ රෙජිමය දේශපාලන වශයෙන් අකර්මන්‍ය කර අවසානයේ දී එහි කිහිප දෙනකු දංගෙඩියට යැවීම ය. ඒ සඳහා බටහිරයෝ හා ඉන්දියානුවෝ ඊනියා සාධාරණ සමාජය, පිවිතුරු හෙටක් ආදී ව්‍යාපාර හා යහපාලන සංකල්පය යොදා ගත්හ. මෛත්‍රිපාල සිරිසේන ඒ ව්‍යාපෘතියෙහි සංකේතය විය. ඔහුගේ මනසට  බෙදුම්වාදී සංකල්ප ඇතුළත් කෙරිණි. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව චන්ද්‍රිකා කුමාරතුංග  ගිය පාරේ ම යෑම ආරම්භ කෙළේ ය. විජාතික බලවේග අපේක්‍ෂා කෙළේ මෛත්‍රිපාල රනිල් සංයෝගය මගින් සිංහල ජාතිකත්වයට පහර ගසා දෙමළ බෙදුම්වාදය හා දෙමල ජාතිවාදය ශක්තිමත් කිරීමත් මහින්ද රාජපක්‍ෂ දුර්වල කර ඊනියා රාජපක්‍ෂ රෙජිමයේ ඇතැම් සාමාජිකයන්ට දඬුවම් කිරීමත් ය. ඇතැමුන්ට විරුද්ධව නොයෙකුත් දූෂණ වංචා චෝදනා ගොනු කෙරුණා පමණක් නොව ඒ සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසමට අමතර ව පොලිස් මාෆියාවක් ද පිහිටුවනු ලැබිණි. 

එහෙත් විජාතික බලවේග බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ජනතාව මහින්ද රාජපක්‍ෂ වටා එක් රොක් වූහ. ඒ බලවේගය අන්කිසිවක් නොව දෙමළ ජාතිවාදයට හා යටත්විජිතවාදයට එරෙහි වූ පනස්හයේ දරුවන්ගේ බලවේගයක් විය. මෙරට සිංහල ජාතික බලවේගය ඇතැමුන් සිතනවාට වඩා ශක්තිමත් ය. ග්ලයිෆොසේට් තහනම ද පනස්හයේ දරුවන්ගේ බලවේගයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයකි. රාජ්‍ය නොවන සංවිධාවලට හෝ ඊනියා විද්‍යාඥයන්ට හෝ ග්ලයිෆොසේට් තහනමට විරුද්ධව ගොවි ජනතාව සංවිධානය කළ නො හැකි ය!

ජාතික බලවේගයේ ශක්තිය විසින් මෛත්‍රිපාල රනිල් සංයෝගය කඩා දමා මෛත්‍රිපාල සිරිසේනට මහින්ද රාජපක්‍ෂ සමග එක්වීමට බලකෙරෙයි. සති කිහිපයකට පෙර කෙසේ වුවත් අද මෛත්‍රිපාල සිරිසේනගේ පැවැත්මට තර්ජනයක් නොවී මහින්ද රාජපක්‍ෂ නොමැති ව සංධානයේ ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව වෙයි. දේශපාලන මෙහෙයුම් පෞද්ගලික ගනුදෙනුවලින් (අද භාෂාවෙන් ඩීල්වලින්) වියෝ නො වේ. එබැවින් ම මේ එකතුව ගැන අපි දැඩි අවධානයෙන් සිටිය යුතු වෙමු. මේ එකතුවෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ල නි පක්‍ෂය තව තවත් ජාතිකත්වය දෙසට නැඹුරු කරවීමටත් මෛත්‍රිපාලට  තම ප්‍රතිපත්ති වෙනස්කර මහින්ද නායකයා ලෙස පිළිගැනීමටත් ජාතික ව්‍යාපාරය ක්‍රියා කළ යුතු ය. විජාතික  බලවේගවලට අවශ්‍ය වනුයේ එහි අනෙක් පැත්ත ය. විජාතික බලවේගවලට අවශ්‍ය වනු ඇත්තේ එකතුව මගින් දෙමළ ජාතිවාදය ජයග්‍රහණය කරවීම ය. ජාතික ව්‍යාපාරය එයට ඉඩ නොතැබිය යුතු ය.  ්්්්්්්්්

මේ අතර විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නිවේදනයක් ලෙස නිකුත් කෙරී ඇත. දහනවවැනි සංශෝධනයට කලින් විසිවැනි සංශෝධනය ගත යුතු යැයි අපි එකල ම කීවෙමු. එහෙත් එ ජා පක්‍ෂයට විස්ස අවශ්‍ය වී නො තිබිණි. ඔවුන් ප්‍රමුඛතාව දුන්නේ ජනාධිපති සතු විධායක බලතලවලින් යම් කොටසක් අගමැතිට ලබා ගැනීමට ය. එහෙත් ඒ සාර්ථක නො විණි. දහනවය එ ජා පක්‍ෂයට අවශ්‍ය විය. එබැවින් ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කෙරිණි. එහෙත් විස්ස එ ජා පක්‍ෂයට අවශ්‍ය නො වේ. එ ජා පක්‍ෂයට අවශ්‍ය ඒ පරාජය කිරීමට ය. සංධානයට ඒ අවශ්‍ය ය. එහෙත් ඔවුන්ට ඒ සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් නැත. ජ වි පෙ එයට විරුද්ධ ය.  ඒ පක්‍ෂය එ ජා පක්‍ෂයේ ඊනියා තරුණ සංවිධානය පමණකි.

විස්සට බොහෝ සුලු පක්‍ෂ විරුද්ධ ය. ජනවාර්ගික නොවන සුලු පක්‍ෂවල අනාගතය අස්ථාවර ය. ජනවාර්ගික සුලු පක්‍ෂ ඇතැම් ප්‍රදේශවල මහා පක්‍ෂ ලෙස ක්‍රියා කරයි. ඔවුන්ට පමණක් විස්ස තරමක් හොඳ ය. ජාතික හෙළ උරුමය සුලු පක්‍ෂයක් වුවත් ඔවුන්ට මෛත්‍රිපාල කණ්ඩායමේ නාමයෝජනා පත්‍ර ලැබෙනු ඇත. එහෙත් මනාප නො ලැබෙනු ඇත. මනාප ලැබෙන්නට පළමුව මෛත්‍රිපාල. කණ්ඩායමට ඡන්ද ලැබිය යුතු ය. මෛත්‍රිපල කණ්ඩායම මහින්ද පිළ සමග එකතු නොවුනහොත් අවසාන වශයෙන් එහි ඉතිරිවනු ඇත්තේ රාජිත, එස් බී, හිරුණිකා, මල්ෂා කුමාරතුංග, සෝලංගආරච්චි ආදී පිරිසකි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා මල්ෂා කුමාරතුංග  දේශපාලන හා වෙනත් කරුණු අතින් චන්ද්‍රිකා කුමාරතුංග අනුගමනය කරති. 

ශ්‍රී ල නි ප බහුතරයට අවශ්‍ය මහින්ද - මෛත්‍රිපාල එකතුවනු  දැකීම ය. එහෙත් බටහිරයන් හා ඉන්දියානුවන් එයට  අකමැති ය. ජාතික හෙළ උරුමය ද එකතුවට අකමැති ය. ජාතික හෙළ උරුමයට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ  නැතිව මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වය යටතේ රාජපක්‍ෂ කෙනකු නොවන ශ්‍රී ල නි පක්‍ෂ අගමැතිවරයකු සමග සංධාන ආණ්ඩුවක් පිහිටුවා ඒ මගින් විස්ස සම්මත කර ගැනීම ය. 

එහෙත් මෛත්‍රිපාල සිරිසේන  ජනාධිපතිවරයා බවට පත් වූයේ ම රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමේ පොරෙන්දුව මත ය. ජනවාරි 9 වැනි දා කඩිමුඩියේ නීති විරෝධීව රනිල් වික්‍රමසිංහ පික්පොකට් අගමැති බවට පත් කෙරුණේ එබැවිනි. මෛත්‍රිපාල සිරිසේනගේ පොරෙන්දුව ඉදිරි මහාමැතිවරණයටත් වලංගු ය. මෛත්‍රිපාල සිරිසේනට මහින්ද රාජපක්‍ෂ අගමැති අපේක්‍ෂක ලෙස නම් කිරීමට කිසිසේත් ම නො හැකි ය. ජනතා බලපෑම හේතුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහින්ද රාජපක්‍ෂ මහතාට මැතිවරණ අපේක්‍ෂකත්වය පමණක් දීමට සූදානම් ය. එහෙත් පසුගිය දා පත්කරන ලද සය පුද්ගල කමිටුවට නිදහසේ තම කටයුතු කරගෙන යෑමට ඉඩ දීමට අකමැති ය. විස්සෙන් ද පිළිබිඹු වන්නේ ජාතික හා විජාතික බලවේග අතර සටනකි. රටේ බලය පාර්ලිමේන්තුවේ නියෝජනය නො වේ. ජාතික හෙළ උරුමය සුපුරුදු පරිදි සටන අවුල් කර විජාතික බලවේගවලට ආධාර කරයි. විස්ස ඇතිව හෝ නැතිව හෝ පාර්ලිමේන්තුව  විසුරුවා හැරිය යුතු ය. 

නලින් ද සිල්වා

2015 ජූනි 21