Main Logo

Saturday 6 June 2015

ගොවිකම හා වෙදකම

ගොවිකම හා වෙදකම

විස්ස හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද අපේ අවධානයට යොමු වී ඇතත් අපේ ප්‍රශ්නවලට විසඳුම් ඇත්තේ ඒ බටහිර සංකල්ප හා ආයතන ඔස්සේ නොව ගොවිකම හා වෙදකම මගිනි. ඒ පිළිබඳ දිර්ඝ විස්තරයක් කළ යුතු නමුත් මේ ඒ සඳහා අවස්ථාව නො වේ. මෙහි දී ගොවිකම හා වෙදකම යනුවෙන් හැඳින්වෙන්නේ විශ්වවිද්‍යාලවල බටහිර වෛද්‍ය හා බටහිර කෘෂිකර්ම පීඨවල ඉගැන්වෙන බටහිර ඇලොපති වෙදකම හා බටහිර ග්ලයිෆොසේට් කෘෂිකර්මය නො වේ. 


විභ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මා මාස පහක් පමණ සුළු කාලයක් සේවය කරන විට මා තේරුම් ගත් එක් කරුණක් වූයේ සිංහල හා දෙමළ ජනතාව අතර සම්බන්ධය (ඊනියා සංහිඳියාව නොව) වර්ධනය කළ හැක්කේ ද වෙදකම හා ගොවිකම මගින් බව ය. ඒ කෙටිකාලයෙහි ත්‍රිකුණාමල මණ්ඩපයෙහි සිද්ධ ඒකකය පීඨයක් බවට පත්කිරීමටත් යාපනය විශ්වවිද්‍යාලයෙහි සිද්ධ ඒකකය ස්වාධීන ආයතනයක් බවට පත්කිරීමටත් උත්සාහ ගත්තෙමි. එහි දී අදාළ ආචාර්යවරුන්ගෙන් පීඨාධිපතිවරුන්ගෙන් මණ්ඩපාධිපතිවරුන්ගෙන් හා උපකුලපතිවරුන්ගෙන් ලැබුණු සහයෝගය ඉමහත් ය. සිද්ධ වෙදකම බටහිර ඇලොපති වෙදකමේ ආධිපත්‍යයෙන් මිදීය යුතු ය යන්නට ඔවුහු ද එකඟ වූහ. එහෙත් අවාසනාවකට ඒ කාර්යය දිගට ම කරගෙන යෑමට මට නොහැකි වූයේ ජනවාරි නවවැනිදා ම මා ප්‍රතිපාදන කොමිෂමේ සාමාජිකත්වයෙන් අස් වූ බැවිනි.  

සිංහල පාරම්පරික වෙදකම , ආයුර්වේදය හා යුනානි වෙදකම ද වර්ධනය කළ යුතු ය. පළමු වතාවට ප්‍රතිපාදන කොමිෂමේ දේශීය  වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ස්ථාවර කමිටුවට පාරම්පරික වෙදමහත්වරුන් පත්කිරීමට කටයුතු කෙළෙමි. මේ සියළු වෙදකම් ඊනියා විකල්ප වෙදකම් නොව වෙදකම් ලෙස සැලකීමට පුරුදු විය යුතු ය. විකල්්ප වෙදකමක් යැයි කී විට ඉන් හැඟෙන්නේ ඒ බටහිර වෙදකමට විකල්ප වූවක් ලෙස ය. එවිට බටහිර වෙදකමේ ආධිපත්‍යය නොදැනුවත්ව ම අවධාරණය කෙරෙයි. 

1956න් අවුරුදු හැටකට පමණ කාලයකින් පසුව ද දේශීය වෙදකමට මෙන් ම දේශීය ගොවිකමට ද ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලටත් අඩු සැලකිල්ලකි. එයට ප්‍රධාන හේතුවක් වන්නේ බටහිර වෙදකම හා බටහිර ගොවිකම බටහිර ආර්ථිකය සමග සම්බන්ධවීමත් බටහිර සමාගම් මේ සියල්ල පාලනය කිරීමත් ය. අපේ ගොවිකම පාලනය කෙරෙන්නේ බටහිර දැනුම මගිනි. එය බටහිර රසායනික සමාගම් හා ඔවුන්ගේ මෙරට නියෝජිතයන් සමග බැඳී ඇත. අවාසනාවකට මෙරට හා පිටරට සිටින බොහෝ ඊනියා ලාංකික විද්‍යාඥයෝ ද ඔවුන් සමග අධ්‍යාපනයෙන් බැඳී සිටිති.

මෛත්‍රිපාල සිරිසේන ග්ලයිෆොසේට් තහනම් කෙළේ ය. එහෙත් ග්ලයිෆොසේට් අඩංගු බහාලුම් පහළොවක් රේගුවෙන් නිදහස් කෙරිණි. අද වන තුරුත් ග්ලයිෆොසේට් තහනම නිසි පරිදි ලිඛිතව කෙරී නැත. මා කැලණිය විශ්වවි්‍යාලයෙහි විද්‍යා පීඨාධිපති ව සිටිය දී ආසනික් සම්බන්ධයෙන් මෙරටට රසායන ද්‍රව්‍ය ගෙන්වන සමාගම් විවිධ බලපෑම් කළ ආකාරය දැකගත හැකි විය. ඒ සියළු තොරතුරු හෙළිකිරීම පසුවට කල් තබමි.  

1956 දී පංච මහා බලවේගය සඟ වෙද ගුරු ගොවි කම්කරු ලෙස හඳුනාගැණිනි. අද ඇත්තේ සඟ බලවේගය පමණකි. පංච මහා බලවේගය ඒක බලවේගයක් බවට පත් කෙරී ඇත. සඟ බලවේගයත් නැති කිරීමට සියුම් ව කටයුතු කෙරෙයි. එයට කලින් වෙද ගොවි බලවේගවත් නැවතත් නගා සිටුවීමට වහා පියවර ගත යුතු ය. එහෙත් අපට ඒ සියල්ල කිරීමට සිිදු වී ඇත්තේ සුද්දාගේ පාර්ලිමේන්තුව හා විස්ස හරහා ය.

නලින් ද සිල්වා

2015 ජූනි 06