Main Logo

Thursday 25 June 2015

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද නො වේ හෙට යන පාඨයෙන් හැඟෙන බාලගිරි දෝෂයට හසු වී ඇත. පාර්ලිමේන්තුවේ සිටින බොහෝ දෙනා වයසින් කෙසේ වෙතත් බාලයන් වන බැවින් බාලගිරි දෝෂයට ලක් වී ඇතැයි කීම පුදුමයක් නො වේ පාර්ලිමේන්තුව විසුරුවා නොහරින්නේ මහින්ද නිසා බව පැහැදිලි ය. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමෙන් සිදුවන්නේ මහින්ද තවත් බලවත් වීම ය.


ජනධිපතිවරණයේ දී මෛත්‍රිපාල රනිල් දුන් පොරොන්දුව අනුව පාර්ලදමේන්තුව විසුරුවා හැරිය යුතුව තිබුණේ පික්පොකට් ආණ්ඩුව පත් වී දින සියයකින් ය. එහෙත් මේ දිනය කුමක් දැයි නිශ්චිතව අර්ථදක්වා නො තිබිණි. ඒ මිනිස් දීන සියය ද, අඟහරු ලොව දින සියය ද, දිව්‍ය ලෝක දින සියය ද, පෙරේත ලෝක දින සියය ද, වෙනත් දින සියයක් ද යන්න නිභ්චිත ව කියා නො තිබිණි. දිව්‍ය ලෝක දින ගැන කතාකරන විට මෙලොව සියක් අවුරුදු එහි එක් දවස යනුවෙන් කීමට අප පුරුදු වී සිටියේ අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය ගැන දැනගැනීමට දින දහස් ගණනකට පෙර ය. පසු දිනෙක කාලය යනු පඤ්ඤත්තියක් බව බුද්ධඝෝෂ හිමියන්ගෙන් දැන ගතිමු. 

කාලය සාපේක්‍ෂ බව දන්නා සිංහල බෞද්ධයන්ට දින සියයෙන් පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීම එතරම් ප්‍රශ්නයක් නො වේ. මේ දින සියය පෙරේත ලෝකයේ දින බව ඔවුහු දැන් දනිති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තම ධුරයට ඇලුම් කරති. ඒ කුමක් වුවත් අද පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් සති කිහිපයක් ඇතුළත මහින්ද අගමැති වීම මෛත්‍රිපාලටවත්, රනිල්ටවත්, චම්පකටවත්, ප්රාජිතටවත් වැළැක්විය නො හැකි ය. 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල් යන්නේ මෛත්‍රිපාල කණ්ඩායමට හා ජාතික හෙළ උරුමයට ඡන්ද පොළේ (එනම් වෙළෙඳ පොළේ) අලෙවියක් නොමැති බැවිනි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල් දැමීමෙන් තමන්ට යම්කිසි විශ්මිත වැඩක් කර අලෙවිය වැඩි කරගත හැකි යැයි ඔවුහු සිතති. එහෙත් එන්න එන්න මහින්ද පිළේ බලය පාර්ලිමේන්තුව තුළ ද වැඩිවන බැවින් ඒ අපමණ අගයක් ඇති විශ්මිත වැඩය කර ගැනීමට නොහැකි වනු ඇත. මෛත්‍රි පිළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කොතරම් කල් දැම්මත් දින සියය කෙසේ මැන්නත් ඒ අවසානයේ දී ඔවුන්ට හිමිවනු ඇත්තේ ඉතිහාසයේ කුණු කූඩය පමණකි. 

මෛත්‍රිපාලට නම් දෝෂාභියෝගයකින් ගෙදර යෑමට සිදු නොවුණහොත් මිනිස් දිනවලින් තවත් අවුරුදු පහකට වැඩි කලක්  ජනාධිපති ලෙස කටයුතු කිරීමට හැකිවනු ඇත. ප්රාජිත ඇතුළු මෛත්‍රිපාල කණ්ඩායමට එ ජා පක්‍ෂයෙන් නාම යෝජනා නොලැබුණහොත් යන එන මං නැතිවනු ඇත. ඔවුන් කිහිප දෙනකු මහින්ද පිළට එකතු වීමට ද ඉඩ ඇත. ජාතික හෙළ උරුමය සුපුරුදු අවස්ථාවාදය අනුව මහින්ද පිළට හේත්තු වීමට උත්සාහ දරණු ඇත. 

හකීම් පසුගිය දා කුස්සි කැබිනට්ටුවක් ගැන කතා කෙළේ බිරියානි හා වටලප්පම් සෑදීමට නො වේ. ඔහු ප්‍රකාශ කර සිටියේ රනිල්ගේ ද අදහස් ය. එහෙත් අද ඔවුන් දුන් හැන්ද ඇත්තේ මෛත්‍රිපාල අතේ ය. අප්‍රේල් 23 ආසන්නයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නම් රනිල්ට නැවතත් අගමැති වීමට ඉඩක් තිබිණි. එහෙත් දැන් ඔහුට කළ හැක්කේ හකිම්ගේ හඬින් අඳෝනා කීම පමණකි.

නලින් ද සිල්වා

2015 ජූනි 25