Main Logo

Monday 8 June 2015

මෙහෙමත් දේශපාලනයක්

මෙහෙමත් දේශපාලනයක්

තමා අගමැති වූයේ පස්සා දොරෙන් නොවන බවත් තමාට අගමැති වීම සඳහා ජනවරමක් ඇති බවත් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත. ජනවාරි 9 වැනි දා ඔහු දිවුරුම් දුන් විගස ඔහුට එවැනි ජනවරමක් නැති බවත් ඔහු පික්පොකට් අගමැති බවත් අපි සඳහන් කෙළෙමු. ඒ සම්බන්ධ ලිපි ගණනාවක් ම ලිවුවෙමු. සම්මන්ත්‍රණ පැවැත්වීමු. පුවත්පත් සාකච්ඡා පැවැත්වීමු. අවාසනාවකට විද්‍යුත් මාධ්‍යයෙන් ඒ කිසිවකටත් නිසි ප්‍රචාරයක් නො ලැබිණි.

අද පමා වී වුවත් ඔහුට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ඇත. මෙතෙක් කල් ඒ ගෙන ඒම පමා වූයේ මෛත්‍රිපාල හා නිමල් සිර්පාල දෙදෙනා (සිරිසේන හා සිරිපාල) ඔහු ආරක්‍ෂා කළ බැවිනි. ඇතැමුන් කියන අන්දමට ලංකාවේ නොව ලෝකයේ කිසිම තැනක අගමැතිවරයකුට විරුද්ධව මන්ත්‍රීවරුන්ගෙන් 50% ක් අත්සන් කරන ලද විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් නැත. 

එහෙත් ඒ යෝජනාව විවාදයට ගනීවි ද යන්න  පවා සැක සහිත ය. විජයදාස රාජපක්‍ෂ තම බලය පෙන්වමින් පැහැදිලි ව ප්‍රකාශ කෙළේ තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිවුවත් විවාදය පවත්වන්නේ ද නැද්ද යන්න තීරණය කරන්නේ තමන් බව ය. පැහැදිලි ව ම පක්‍ෂ නායක රැස්වීමේ දි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දිනයක් තීරණය නො කෙරෙනු ඇත. එක් පැත්තකින් එය මෛත්‍රිපාල විස්ස සම්මත කර ගැනීම සඳහා ඒ ජා පක්‍ෂයට දී ඇති එක් තෑග්ගකි! තවත් තෑග්ගක් වී ඇත්තේ මන්ත්‍රී සංඛ්‍යාව 225 ම තබා ගැනීම ය. 

ජාතික හෙළ උරුමයට හා වෙනත් සුළු පක්‍ෂවලට මන්ත්‍රී සංඛ්‍යාව විවිධ ක්‍රමවලින් වැඩි කිරීමට අවශ්‍ය වුවත් එ ජා පක්‍ෂය එයට මුල සිට ම විරුද්ධ විය. එ ජා පක්‍ෂය තමන්ට අවශ්‍ය දේ අවසානයේ දී කරගෙන ඇත. මෛත්‍රිපාලට විස්ස සම්මත කර ගැනීමට ඇති අවශ්‍යතාව නිසා ජාතික හෙළ උරුමය හා වෙනත් සුළු පක්‍ෂ පාවා දී ඇත. ඒ අතර එ ජා පක්‍ෂයට දී ඇති තවත් තෑග්ගක් වනුයේ නව ක්‍රමය මීළඟ මැතිවරණයේ දී යොදා නොගැනීමට දී ඇති පොරොන්දුව ය. 

එහෙත් මහින්ද පිළේ උදය ගම්මන්පිල විස්ස සම්මත කිරීමට විරුද්ධ ය. ඔහු කියන්නේ රටේ ආරක්‍ෂක තත්ත්වය හොඳ නැති බැවින් මීළඟ මැතිවරණයේ දී නව ආණ්ඩුවක් පිහිටුවා ඒ ආණ්ඩුව මගින් විස්ස සම්මත කර ගන්නා ලෙස ය. එයට ශ්‍රී ල නි ප මහින්ද පිළේ බොහෝ දෙනකු අකමැති වනු ඇත. අද එ ජා පක්‍ෂයට හා ඇතැම් සුළු පක්‍ෂවලට පමණක් විස්ස අවශ්‍ය නැත. එහෙත් එ ජා පක්‍ෂය දොළ පිදේනි කිහිපයක් ලබාගෙන විස්සට එකඟ වී ඇත. ඔවුන් සමහර විට බලාපොරොත්තු වනුයේ මීළඟ මැතිවරණයෙන් ජයග්‍රහණය කර විස්ස ඉවත් කිරීම ය.

කෙසේ වෙතත් දැන් තිබෙන තත්ත්වය අනුව විශ්වාසභංගයට පළමු එහෙත් විස්ස සම්මත කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇත. විස්ස සම්මත වන්නේ ද මෛත්‍රිපාලට අවශ්‍ය ආකාරයකට නො වේ. එහෙත් ඔහුට ද වෙන යමක් කළ නො හැකි ය. 

මේ සියල්ලෙන් පෙනී යන්නේ ඒ ඒ පක්‍ෂ ක්‍රියාකරන්නේ රටේ ප්‍රශ්නයක් විසඳීමට නොව පක්‍ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව අඩුකර ගැනීමට නොවන බව ය. විස්ස සම්මත වුව ද ඒ මීළඟ මැතිවරණයට බල නොපානු ඇත. අවසානයේ දී විශ්වාසභංග යෝජනාවත් නැත. විස්ස ක්‍රියාත්මක වන්නේත් නැත. නැටූ තොවිලයකුත් නැත. බෙරේ පලුවකුත් නැත.   

නලින් ද සිල්වා

2015 ජූනි 08