Main Logo

Monday 1 June 2015

බටහිර විද්‍යාවේ දාසයන්ට දේශප්‍රේමීන් විය හැකි ද?

බටහිර විද්‍යාවේ දාසයන්ට දේශප්‍රේමීන් විය හැකි ද? 

බටහිර විද්‍යාවේ දාසයෝ වියරු වැටී සිටිති. ආණ්ඩුව ග්ලයිෆොසේට් වාචික ව තහනම් කෙළේ අප කී නිසා නො වේ. අප යනුවෙන් මෙහි දී කියැවෙන්නේ කැනඩාවේ සිටින ඊනියා බටහිර විද්‍යාඥයකු යැයි කියන චන්ද්‍රසිරි ධර්මවර්ධන විසින් හැඳින්වෙන ඊනියා කැලණිය කණ්ඩායමක් නො වේ. එවැනි කණ්ඩායමක් දැන් ක්‍රියාත්මක නො වේ. ග්ලයිෆොසේට් බහාලූම් පහළොවක් වරායෙන් පැන්නීමෙන් පසුව නව තත්ත්වය ඇති වී තිබෙන බව පැහැදිලි ය. රනිල් වික්‍රමසිංහගේ මාෆියා කොට්ඨාශය මේ පැන්නීම ගැන සොයා බලන්නේ නැද්ද?
 

බටහිර චින්තනය ම, එනම් යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ම ලෝකයට අහිතකර ය. අද ලෝකයේ ඊනියා සංවර්ධනය සිදුවන්නේ අපේ දරු මුණුබුරන්ගේ අනාගතය උගසට තබමිනි. බටහිරයෝ අද පරිසර දූෂණය ආසියා අප්‍රිකා රටවලට තල්ලු කරති. එමගින් ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කර ගනිති. ආසනික් පමණක් නොව ජංගම දුරකථන ද අපට අහිතකර ය. අපට ඒ සියල්ල ගැන ම මැදිහත් වීමට අවකාශයක් නැත. අනෙක් අතට ජංගම දුරකථන ප්‍රයෝජනයට නොගන්නා අයට ප්‍රශ්නයක් නැත. එහෙත් ආසනික් ග්ලයිෆොසේට් ආදිය ගොවීන් යොදාගන්නා විට ඒ පොදුවේ සමාජය බලපායි. අපි පොදුවේ සමාජයට බලපාන කරුණු ගැන වඩාත් විමසිලිමත් වෙමු. 

ඇතැමුන් කියන පරිදි නොව මම 1985න් පමණ පසුව බටහිර විද්‍යාඥයකු ලෙස හඳුනා නොගත්තෙමි. මම බටහිර විද්‍යාවෙන් කැඩුණු මිනිසෙක්මි. දැනට අවුරුදු පහක පමණ කාලයක මම බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් ලෙස හඳුන්වමි. මගේ මතය අනාථ කිරීමට අද දක්වා කිසිවකු සමත් වී නැත. ඒ මතයට විරුද්ධ නම් දැනට ලංකාවේ සිටින මණික් සිල්වා (සන්ඩේ අයිලන්ඩ් කතෘ) , සුසන්ත ගුණතිලක, අශෝක අමරතුංග, කාලෝ ෆොන්සේකා ආදීන් සමග ඕනෑම වෙලාවක, ඕනෑම තැනක සිංහලෙන් හෝ ඉංගිරිසියෙන් හෝ ප්‍රසිද්ධ වාචික විවාදයකට එළඹීමට මම සූදානමින් සිටිමි. රටේ වැඩි පිරිසකට තේරෙන්නේ සිංහල බැවින් මගේ ප්‍රමුඛතාව සිංහලට ය. අවශ්‍ය නම් ඔවුන්ට කණ්ඩායමක් ලෙස ඉදිරිපත් විය හැකි ය. මම තනිව ම ඉදිරිපත් වෙමි. 

අද දවසේ බටහිරයන් ලෝකය සූරාකන්නේ බටහිර විද්‍යාව ප්‍රමුඛ බටහිර දැනුම යොදා ගනිමිනි. ඉහත කණ්ඩායමේ ඊනියා දේශප්‍රේමීහු ද සිටිති. එහෙත් ඔවුහු ද බටහිර දැනුමේ දාසයෝ ය. ප්‍රභාකරන් පරාජය කිරීමට නොහැකි පුද්ගලයකු ය යන්න ද ඊනියා බටහිර සමාජයීය විද්‍යාවන්හි දැනුමක් විය. අපි එය පරාජය කෙළෙමු. දේශපාලනඥයන් ඒ ගැන උනන්දුවක් දැක්වීමට පටන් ගත්තේ පසු කලෙක බව අමතක නොකළ යුතු ය. අප එහි ගෞරවය ගැනීමට සැරසෙනවා නො වේ. එහෙත් බටහිර දැනුමේ ආධිපත්‍යය බිඳීම එහි දී ද අවශ්‍ය විය. 

අද ඇතැමුන් පවසන්නේ ග්ලයිෆොසේට් පිළිබඳ ව අප ඊනියා විශේෂඥයන්ගේ හඬට කන්දිය යුතු බව ය. එය බටහිරයන්ට සවන් දීමකි. බටහිර විද්‍යාවේ ඔය කියන වාස්තවිකත්වයක් නැත.  මොවුන්ට තමන්ගේ ම වූ මතයක් තිබේ ද? ඔවුහු බටහිර තම ස්වාමිවරුන්ගේ මතය වමාරති. වමන ගඳ විශ්වවිද්‍යාලවල ද ඊනියා පර්යේෂණ ආයතනවල ද තදින් දැනෙයි. ඊනියා විශේ’ෂඥයෝ යනු දාසයෝ පමණක් ම වෙති. ඔවුහු ඇතැම් අවස්ථාවල රතු හා වෙනත් වර්ණවල ලෝගු ඇඳගෙන තම දාසභාවය ප්‍රදර්ශනය කරති. මේ එක් අයකුවත් බටහිර විද්‍යාවට හරිහමන් සංකල්පයක් ප්‍රවාදයක් එකතු කර තිබේ ද?  

සුසන්ත ගුණතිලක දෙවියන් නැතැයි කියයි. ඔහු ඒ බව දන්නේ කෙසේ ද? ඔහු, කාලෝ ෆොන්සේකා, අමරතුංග, චන්ද්‍රසිරි ධර්මවර්ධන ආදීන් කියන්නේ ගුරුත්වාකර්ෂණය තිබෙන බව ද? ඔවුන් කිසිවකුට මට ගුරුත්වාකර්ෂණය පෙන්විය හැකි ද? කිසිවකුට නො හැකි ය. ඒ ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත සංකල්පයක් පමණක් බැවිනි. මේ ලෝකය යනු පංචෙන්ද්‍රිය ගෝචර ලෝකය පමණක් යැයි සුසන්ත ගුණතිලකට හෝ වෙනත් අයකුට හෝ පෙන්ව්ිය හැකි ද? 

මේ දාසයෝ නව අදහස්වලට බය වෙති. ආසනික් හා නාථ දෙවියන් ගැන සඳහන් කළ වරදට ඔවුහු මට විරුද්ධව විද්‍යාභිවර්ධන සංගමයේ තහනම් නියෝගයක් පැනවූහ. හැකිනම් මා අස්කරන ලෙස මම ඔවුන්ට අභියෝග කෙළෙමි. ඔවුහු අභියෝගය නො පිළිගත්හ. දාසයන්ට කොන්දක් තිබුණේ කවදාද ? 

කෘෂි රසායනික වකුගඩු රෝගයට හේතුව ආසනික් වතුර (කිවුල) හා පස යැයි නාථ දෙවියෝ කීහ. අපි ඒ බව නිරතුරුව ම කීවෙමු. එහෙත් අද බෝධි ධනපාල කියන්නේ අප හැරෙන්නට අනෙක් අය ජලය සම්බන්ධයෙන් එක මතයක සිටින බව ය. කරුණු විකෘති කිරීම සඳහා නොබෙල් ත්‍යාගයක් දෙන්නේ නම් එය පළමු වසරේ ම බෝධි ධනපාලට දිය යුතු ය. ඔහු දන්නේ එලෙස කරුණු විකෘති කිරීමටත් ඔහුගේ ගුරු චන්ද්‍රසිරි ධර්මවර්ධන පිම්බීමටත් ය. එයත් (පිම්බීමත්) කරුණු විකෘති කිරීමකිි.

දාසයන්ට කෘෂි රසායනික වකුගඩු රෝගය ගැන පොදු මතයක් නැත. ඔවුහු විවිධ මත දෙසා බාති. ඔවුන්ට අනුව රෝගයට හේතුව තවමත් දන්නේ නැත. ඔවුන් දන්නේ පිරිසිදු ජලය බෙදා දීම පමණකි. ඒ අතර රෝගීහු මිය යති. දාසයන් හේතුව “සොයාගන්නා” තෙක්  රෝගීන් මිය යා යුතු ද? රෝගයට ප්‍රතිකාර දේශීය වෙදකමේ ඇත. අපට ඒ පිළිබඳ අත්දැකීම් ඇත. එහෙත් ආණ්ඩුව ඒ සඳහා දේශීය වෛද්‍යවරුන්ට නිසි ආධාර නො සපයයි. එයට ප්‍රධාන හේතුව බටහිර වෛද්‍ය විද්‍යාවේ ආධිපත්‍ය ය. 

අප කටයුතු කරන්නේ බටහිර දැනුමේ ආධිපත්‍යයෙන් මිදෙන්නට ය. දාසයෝ එයට විරුද්ධ වෙති. එයට හේතුව බටහිර දැනුමේ ආධිපත්‍යය බිඳ වැටුණු කල ඔවුන්ගේ ඊනියා සමාජ වැදගත්කම නැති වී රතු ලෝගු ගැලවී යැම ය. දාසයන්ට දේශප්‍රේමීන් විය නො හැකි ය.

නලින් ද සිල්වා

2015 ජූනි 01